Followers

Sunday, July 31, 2011

පියාපත් ලැබී . . . 06

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

. . . හයවැනි කොටස . . .



" පිස්සුද අසිතයා . මොන පාටිද අතේ සල්ලිත් නෑ බං . "



" ඔන්න ඕකනේ ඉතිං . අපි පාටියක් ඉල්ලුවොත් තමයි උඹලගේ බැරියාව . හරි හරි අපි බලමුකෝ . "


අසිත වැඩි පෙරත්ත කිරීමකට නොපෙලඹුනේ මිතුරා ගැන  හොඳහැටි දන්නා නිසාවෙනි . නැතිනම් අසිතගෙන් කිසිකෙනෙකුට මෙතෙක් බේරීමක් ලැබී නැති බැව් නොදන්නා කෙනෙක් නැත . ඒ වෙන දෙයක් නිසාවෙන් නොව බොහොම සැහැල්ලු සෙල්ලක්කාර ජීවිතයකට අසා කළ ඔහු තැනක් නොතැනක් නැතිව කාගෙන් වුවද උපරිම වින්දනයක් ලබන නිසාවෙනි . එමෙන්ම කවුරුන්ව වුවද සතුටින් තබන්න ඔහු නිතරම උත්සාහදරයි . නාරද එසේ නොවෙයි . නිහඬ , අහිංසක චරිතයකි . කාගේත් ආදරයට ලක්වන මොහු නිතර සේවකයන්ගේ පවා සුවදුක් සොයා බලයි . සේවකයන් වුව කාර්යාලයේ කාටත් වඩා නාරදගේ වචනයකට ඉහලින් යන්න හෝ නොසලකාහරින්න මැලිවෙයි . ඒ ඔහුගේ ලොකුකමක් නිසාවෙන් නොවේ . ආයතනයට සම්භන්දව වැඩිකාලයක් නොවුනත් ඔහුගේ කැපවීම සහ නිහතමානිත්වය මෙන්ම ඕනෑම දෙයකට නොබියව අතගැසීමට මෙන්ම හැම කෙනෙකුවම බේරාගෙන වැඩකරන්න ඔහු උපන් හපන්කම් ඇති අයෙක් බැවිනි . කෙමෙන් තම තත්වය උසස්වන විට අනිත් අයව පාගාගේන තව තවත් උඩට යන්න දගලන අනිත් උන් අතරේ මොහු කැපීපෙනුනි .

ඔය කිව්වට තව ප්‍රමෝශන් හම්බුනේ නෑනේ . නිකන් හරි ඕක හම්බුනේ නැත්නම් විලිලැජ්ජාව වෙන්නේ . පස්සේ කට්ටියට මොනවා හරි ගෙනල්ලා පොඩි පාටියක් දෙන්න බැරියැ . අනික මේ වෙලාවෙ එහෙම දේකට වියදම් කලොත් නංගිට පංති සල්ලි දෙන්න බැරිවෙනවා . නාරදට සිතුනි .




෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

" පාරමී . . . පාරමී . . .  නැගිටින්න ළමයෝ .  "

" ම්හ් . . තව චුට්ටක් ඉඳපන් චාමි . . . "

" හරි ශෝක් මාව පැයකින් ඇහැරවන්නම් කියපු කෙනා තවම නිදි . "

" ම්ම්ම්ම් . . . වෙලාව කීයද දැං . . . "

" නැගිටපං , තව පැය එකහමාරකින් එයාපෝට් එකේ ඉන්න ඕනේ . "

" මයි ගෝඩ් . පරක්ක් වුණා නේ . .  ඉදපං මම ටස් ගාලා ලෑස්ති වෙන්නම් . "

" ආආආ . .  දැංද පරක්කුවුනේ . . ."

" නෑ බං ඊයේ රෑ අරෝශ් කතා කළා . නිදාගනිත්දි ටිකක් රෑ වුණා . වෙලාවට සේරම ලෑස්ති කරලා තිබ්බේ . "

" උඹ මෙච්චර මේ යන්න තියාගෙන නිදාගන්නේ නැතිව මල් කැඩුවද පාරමී . "

" මල් කැඩුවා නෙමෙයි බං . අරෝශ් තේරුම් ගන්නේ නෑ මම කොච්චර තේරුම් කළත් .  මම එයාට කැමති නෑ චාමි . අරෝශ්ට හැමතැනම කෙල්ලෝ . තාත්තගේ හිතේ මිනිහා බෝදිසත්වයා කියලා . අපිනේ දන්නේ ඇත්ත මොකද්ද කියලා . "

" අරෝශ්ට කිව්වද දැං උඹ ලංකාවට එනවා කියලා . "

" නෑ නෑ මම කිව්වේ නෑ . "

" ඒක හොඳයි . . . "

" දැං ඇඳගනින් ඉක්මනට . . . තවත් තැග්ගැහෙන්නේ නැතිව . "


. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පියාපත් ලැබී 07 කියවන්න මෙතන click කරන්න .

Thursday, July 21, 2011

අවසන් පැය . . .


මුහුණු පොතේ සැරිසරද්දී අහම්බෙන් ගෲපියක තිබී ඇස ගැටුනු පුංචි කතාවක් හැමෝගේම රසවින්දනය වෙනුවෙන් පලකරන්න හිතුවා . මේක දාලා තිබුනේ පියාපත් කියලා ගෲප් එකක . පල කරලා තිබුනේ සුරේශ් චතුරංග කියන හාදයා . ඔහු උපුටා ගත්තේ කොහෙන්ද කියලා නම් දාලා තිබ්බේ නෑ . පුංචි පුංචි දේවල් වලින් මම නම් ලොකු රසවින්දනයක් ලබනවා එහෙම කෙනෙකුට රසවින්දනය සඳහා මේ පුංචි කතාව . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



දෙන්නා දෙමාල්ලන් විවාහ දිවියේ රිදී ජුබ්ලිය සමරමින් බොහොමත්ම සතුටින් හිඳි වෙලාවක බිරිද සිය ස්වාමියගෙන් මෙසේ ඇසීය

"රත්නේ , ඔයාට මතකද ඩාලිං අපි බදිමුද කියලා ඔයා මගෙන් අහපු දවස . . . ? "

" ඉතිං , දැං ඒකත් වැරදී කියන්නද යන්නේ . . . "

" නෑ . . නෑ . .  , ඔයාට මතකද මට සතුට වැඩි කමට දාරාගන්න බැරුව පැයක් විතර කතා කරගන්න බැරිව හිටියා  . . . "

" මට ඒක කොහොම අමතක වෙන්නද කුසුමා . . . "

" ඔය ඇත්තමද රත්නේ . . . "

" අපොයි , මම මොකටද ඔයාට බොරු කියන්නේ කුසුමෝ . . . මට ඒ මොහොත මගේ ජීවිතේට කවදාවත්ම අමතක නොවන මොහොතක් . "

" ඒ ඇයි රත්නේ . . ."
 
"ඒ තමයි මම මගේ ජිවිතේ නිස්කලන්කව ගතකරපු අන්තිම පැය."

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


උපුටා ගත්තක් වුවද වාර්ථාවක් පරිද්දෙන් සකස් වී තිබූ කතාවට අලංකාර එබ්බවීම ගැන කාගේවත් අකමැත්තක් නැතයි සිතමි .

Wednesday, July 20, 2011

පියාපත් ලැබී . . . 05

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

. . . පස්වැනි කොටස . . .



දිසානායක යලිත් කල්පනාවට වැටුනේ එසේ නොමවීම වැලැක්විය නොහැකි නිසාවෙනි . තම එකම දියනිය වන පාරමී වැඩි දුර අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්කර හැරියේද තමන්ට අත්කරගත නොහැකිවූ අධ්‍යාපනය මෙන්ම සියළු දේ ඇයට ලබාදීමේ අරමුන සහ ආශාව නිසාය . අනෝමා නැතිවෙත්දී පාරමීට හරියටම අවුරුදු හතර ලබා සති දෙකක් නැතිනම් තුනක් වෙන්නට ඇත . ජීවිතයේදී ආ සියළු ගැටලු නිරාකරමය කරගැනීමටත් හිතේ ශක්තියෙන්  මුහුණ දීමටත් ලැබුනේ අනෝමාට පිංසිද්ධ වන්නටය . අනුන්ටම කඹුරමින් සිටි අවදියක තමන්ගේම කියා ව්‍යාපාරයක් ගොඩනඟා ගෙන දියුණුව සලසා ගැනීම අනෝමාගේ එකම අභිලාශය වීපැවතිණි . එහෙත් කෙමෙන් කෙමෙන් දියුණුවේ මං පෙත් කරා එළඹෙද්දී අනෝමා මා අතැර මෙලොවින් සමුගත්තේ හිතේ රැඳි සියළුම ශක්තියත් අතුගාගෙනය . ඇය සෙම්ප්‍රතිශ්‍යාවක්වත් වැලඳෙන අයෙකු නොවූවාය . ඇයට හදිසියේම ඇතිවූ පපුවේ කැක්කුමට ප්‍රතිකාර ගැනීමට පරීක්ශන කරීමට පටන් ගනිත්දී ඇගේ සිරුර වසා ගත් පිලිකාව ඒ වනවිටත් උඩුදුවා තිබින . සති තුනක පමණ කාලයක් රෝහලේ ගතකල ඇය හදිසියේම මියගිය පුවත දැනගන්නට ලැබුණු අවස්ථාවද අදටත් දැන් වූවාක් මෙන් සිහියට නැඟේ . හදිසියේම ඇතිවූ සෝචනීය තත්වය හේතුවෙන් තම ජීවිතය අන්සභාග රෝගියෙකුගේ තත්වය හා සමාන වූ අයුරු මැවි මැවී දැනුදු පෙනේ . තම දියනිය නිසා නොවෙන්න ත්මන් අද මේ තත්වයේ නොව ඉබාගාතේ යන උන්මත්තකයෙකු වන්නට තිබුණායැයි මෙලෙස සිහිපත්වන අනන්තවාරයක සිහියට නැඟේ . 



ඇයගේ මව මෙන්ම පාරමීද උත්සාහ වන්ත කෙනෙක් වූවාය . කුඩාකල පටන්ම තම වැඩකටුයුත් තමන්ම කරගන්න පුරුදුවූ ඇය කිසිම වෙලාවක කිසිම දෙයක් නැතැයි කනස්සලු නොවූවාය . ලද දෙයින් උපරිම සතුටක් විදීමටත් ඇති සැටියෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමටත් පුරුදු වූ ඇය කුඩාකළ තමන්ටද දැනමුතුකම් දුන් අවස්ථාවන් සිහියට නැගෙත්ම සිනාවක් නැගිනි . " මගේ පැහිච්ච කෙල්ල ." දසනායකගේ මුවින් ඉබේටම මිමිනින . මීට අවුරුදු තුනකට පෙර ලංකාවෙන් පිටත්වුණු ඇයව දැකීමේ ආශාවෙන් හිත පිරී ඇතැයි හැඟේ .දුරකතනය අතට ගත් දසනායක අසිතට කතාකිරීමට කෙටි අංකය එබුවේය .


" අසිත මම ටිකක් එලියට යනව වැඩකට . පොඩ්ඩක් වැඩ ටික බලන්න . මොනව හරි තිබුනොත් මට call එකක් දෙන්න . "


" OK සර් . "


ආයතනය ආරම්භයේ සිට හිඳින විස්වාසවන්ත සේවකයෙක් ලෙස අසිත හිත දිනාගෙන තිබුණි . කලකට ඉහත මොනම හෝ රැකියාවක් සොයා තමා හමුවට පැමිනි අසිත ඇරඹුවේ නුපුහුණු තත්ව පරීක්ශකයෙකු ලෙසයි . අද වනවිට ඔහු පැමිණ ඇති තැන ගැන හිතෙන විට දසනායකට ඉමහත් සතුටක් දැනේ . තමන් ඔහුව පුහුණු කටයුතු සඳහා ජර්මනියට පවා යැවූ අයුරු සිහිවුණි . වෙනත් අය නම් ගතයුත්ත ගෙන මාරුවෙන්නට තැත් කරත්දී අසිත තව තවත් ආයතනයේ කටයුතු පුළුල් කිරීමට මග සෙව්වේය . මෙනිසාම තම ව්‍යාපාරික කටයුතුවලදී අසිත බෙහෙවින්ම ලඟින් හිඳින පුද්ගලයෙකු ලෙස තබාගැනීමට දසනායක උත්සුකවූයේය .



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

" Hello නාරද . . . "

" කියපං . . "

" ලොක්කා ගියා . මොකද කියන්නේ . පොඩි පාටියක් දාමුද . . . ? "

. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පියාපත් ලැබී 06 කියවන්න මෙතන click කරන්න .

Friday, July 15, 2011

පියාපත් ලැබී . . . 04


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

. . . හතරවැනි කොටස . . .


කර්කශව 
ඉබාගාතේ ඇදුණු
ජීවිත සිහිනයන්
බලාපොරොත්තුවේ වැසි පොදින්
තෙමී පන ලැබ
ටික ටික දළුලන්න
තනනවා නොවෙද
දෑස් දල්වාන
බලාන ඉමි එනතුරා
වසන්තයේ හෙට දවස




නිකමට වගේ හිස් කඩදාසියේ ලියැවුණේ සිතේ පැතිරුණු අපමණ සතුට නිසාමැයි නාරදට සිතුනි .


" වෙලාව බලාගනින් . . . "


තම කනට ලංකර උස් හඬින් අසිත එලෙස පැවසත්ම නාරදට උඩ විසිවුණා යැයි හැඟිනි .


" මොකද බං උඹට වෙලා තියෙන්නේ . කෙල්ලෙක් වත් සෙට්වුණාද . තනියම හිනාවෙනවා . මුමුණනවා . ඕවට නම් බේත් නෑ රජෝ . . . ඇත්ත කියපං . . .? "


" උඹ කොයි වෙලේද මෙතන්ට පාත්වුනේ . මම දැක්කේ නෑ නේ උඹ එනවා . "


" උඹ කොහෙ දකින්නද . තනිකර මනෝ පාරක් දාගෙනනේ හිටියේ . මම දැන් මෙතනට ඇවිත් විනාඩි දහයක් විතර . කියපං කියපං . . . කවුද කෙල්ල . මේ ඔෆිස් එකේ එකක් නම් වෙන්න බෑ . කවුද කියපංකෝ . . . "


" මට මොන කෙල්ලොද බං . අපිට කැමතිවෙන කෙල්ලො ඉන්නවනම් මොනවා කරන්න බැරිද . . .  "


" ඕං ඕං අපිට කොලේ වහනවා . අනේ පලයං නාරද . මම බලාගෙන අර කමනිත් උඹට ඇහැදාගෙන ඉන්නේ . වරදක් නම් නෑ . හැබැයි ඉතින් වියදම සැරයි පුතේ . උඹට සැලූන් වලටම පඩිය වියදම් කරන්න වෙයි . "


හිනාවෙමින් අතොරක් නැතිව කියවන අසිතට හසුවුනොත් ගැලවෙන්නට පැයක්වත් දැඟලියයුතු බව නාරද හොඳාකාරවම දනී . කොළඹ ආ පසු තමන්ට සිටින එකම හිතවතා අසිතය . ආ මුල් කාලයේ පටන් අසිත තමන්ට බෙහෙවින්ම සහෝදරත්වයෙන් සැලකීම නාරදට දැණුනේ මහමෙරක් ලෙසය . දන්නා හඳුනන කිසිවෙකුත් නොමැතිව තනිපන්ගලමේ වෙසෙනවාට වඩා මෙවන් මිතුරෙකුවත් සිටීම නිසා හිතට තරමක් දුරට සැහැල්ලුවක් දැනිනි .


" පිස්සු නැතුව ඉඳින් අසිත . මම දැක්කා ගිය සෙනසුරාදත් කමනි කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා යනවා අපූරුවට . ඕවා නෙමෙයි බං . දසනායක කතා කළා . "


" මල කෙලියයි . ඉතින් . . . මොකද්ද දසයා ඇදපු කොක්ක මේපාර . "


"කොක්කක් නම් නෙමෙයි . පොඩි සතුටු දායක දෙයක් කියන්න කතා කලේ . "


" අම්මපා . . . බොරු . යකෝ මම මෙහෙට ඇවිත් දැන් අවුරුදු දෙකහමාරක් වෙනවා. මෙහෙ වැඩ කරන එකෙක් දසයා සතුටු දායක දෙයක් කියන්න කතා කළා කියලා කියනවා ඇහුවාමයි . හරි කියපන් බලන්න මොකද්ද කියලා උඹට කියපු සතුටු දායක කතාව . "


" මට පොඩි ප්‍රොමෝශන් පාරක් සෙට් වුණා අසිතයා . "


" බොරූ .. . . ! ! ඒ ඇත්තමද කියන්නේ . මොකද්ද බ්‍රාන්ච් එක . දුරද . . . "


" නෑ බං වෙන කොහෙවත් නෙමෙයි . මෙහෙම තමයි . Assistant printing manager විදියට . "


" හෙහ් හේ . . . මරුනේ යකෝ . කවද්ද කිව්වේ . උඹ මටවත් කිව්වේ නෑ නේද බං . . . "


" අනේ නෑ බං . අද උදේ තමයි කතා කරලා කිව්වේ . "


" එල එල .  congratulations සහෝදරයා . "


" thank you අසිත . thank you very much . . "


" මේ මේ . දීපං අපිට party එකක් හොඳේ . නැත්නම් ඉතින් දන්නවානේ . "


" හරි හරි . හම්බෙනකන් ඉඳපං ඉස්සෙල්ලා . නොදී ඉන්ඩ පුළුවනෑ උඹලා එක්ක . "


" හෙහ් හේ . .  අපි එහෙමයි . මේ , ඒක නෙවෙයි නාරද . හැබැයි පොඩි කැපිල්ලක් නම් යයි උඹට . "


" ඒ ඇයි බං . "


" ඔය පෝස්ට් එකට අර වජිරයා ඇහැදාගෙන හිටියේ සෑහෙන කල් ඉඳලා . ඒ වුණාට ඌ card එක කුඩු කරගත්තනේ අර Unilever's එකේ order එක වරද්දලා  ප්‍රින්ට්කරලා ඒ ටික හොරෙන් ආයේ ගහලා . හැබැයි පොරට මේක ආරංචි වුණාම උඹත් එක්ක අවුල යයි . "


" ඉතිං බං මම ඉල්ලලා ගත්ත් එකක්යැ . අඬගහලා දුන්න එකක්නේ . "


" හරි හරි උඹ ඕවා හිතන්න එපා . අපිත් මේවෑ ඉන්නවානේ . යමං කැන්ටිම පැත්තට ගිහින් එන්න . ප්ලේන්ටියක්වත් ගහන්න . "




෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

" Hello . .  "

" තාත්තා මම කතා කරන්නේ . මම තාත්තගේ mobile එකට ගත්තා ආන්සර් කරන්නේ නෑ . ඒකයි Office එකට ගත්තේ . "

" ආ , මම mobile එක vehicle එකේ දාලා ඇවිත් පුතේ . ඉතිං කොහොමද . මොනවද තොරතුරු . මගේ පුතා හොඳින් නේද . "

" ඔව් තාත්තේ . මම හොඳින් . මම මේ තාත්තට හදිස්සියේම ගත්තේ තව දවස් දෙකකින් ලංකාවට එනවා කියන්න . අපිට නිවාඩු දුන්නා . "

" අනේ කොයිතරම් දෙයක්ද පුතේ . මට flit එක බලලා  කියන්න . මම driver කෙනෙක්ව එවන්නම් airport එකට ඔයාව ගන්න . "

" හරි තාත්තා . මගේ යාලුවෙකුත් එනවා . එයාවත් ඩ්‍රොප් කරන්න පුළුවං නේද තාත්තා . නැත්නම් මම cab එකක් අරන් එයාවත් ඩ්‍රොප් කරලා එන්නම් . "

" නෑ පුතේ මම සිරිපාලව එවන්නම් . එයාවත් බස්සගෙන එන්නකෝ . "

" හරි තාත්තේ . මම එහෙනම් තියන්නම් . බුදුසරණයි . තාත්තා පරිස්සමින් ඉන්න . "

" බුදුසරණයි පුතේ . මගේ කෙල්ලත් පරිස්සමින් , කල්පනාවෙන් ඉන්න . ok . "

" හරි තාත්තා . Bye . . "

" Bye පුතේ . . "

. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


පියාපත් ලැබී 05 කියවන්න මෙතන click කරන්න .


Sunday, July 10, 2011

පියාපත් ලැබී . . . 03


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . මතකයි නේ කලින් පෝස්ට් එකේදී නාරදට උසස්වීමක් ගැන දසනායක කියනවා . ඔන්න එතන ඉදන් තමයි දැන් කතාව පටන්ගන්න යන්නේ . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට . . .



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

. . . තුන්වැනි කොටස . . .



" මොකද නාරද බය වෙලා වගේ . මොකක් හරි ප්‍රශ්ණයක්ද . . . ?  මම කතා කළාට නාරද ඇහුම්කන් දීලා නැති පාටයි . "


" අනේ නෑ සර් , අහගෙන හිටියේ . මට ඇත්තටම ලොකු සතුටක් දැනුනා . මම දුප්පත් කොල්ලෙක් සර් . මට කරගන්න අතක් නැතිව ඉන්නකොට මට ජොබ් එක දීලා ඔබතුමා මට ලොකු උපකාරයක් කළේ . අනික ආරියදාස අංකල්ව අමතක නොකරම බෑ . එයා දන්නවා හොඳට මගේ විස්තර . මම බොරු කියලා , හොර කරලා කවදාවත් රස්සාවට වංචා කරලා නෑ සර් . කරන්නෙත් නෑ . එහෙම වෙන්න ඉඩ තියන්නෙත් නෑ . "


" මම දන්නවා නාරද . අනික මට ආරියදාස හැම විස්තරයක්ම කියලා තියෙන්නේ . මම නාරදව මෙතනට ඇත්තටම ගත්තේ ආරියදාසගේ කීම අහක දාන්න බැරිකම නිසා . අනික මම හිතුවෙත් නෑ නාරද මෙච්චර කාලයක් රැඳෙයි කියලත් . මම මෙහෙම කාටවත් කියලා නෑ නාරද . මේ ආයතනයේ කිසිම සේවකයෙකුට මෙහෙම කියලා නෑ . කොයිතරම් හොඳ වුණත් . නාරදව මේ කම්පැනි එකට ගොඩාක් වටිනවා . මම නාරදගේ ගොඩාක්ම කැමතිවුණු දේ බොරුව නැති එක . හොඳට වැඩ ටික කරගෙන යන්න පුතා . best of  luck . . . "


"thank you සර් . thank you very much . . . " 


" නාරද මම කියපුවා ගැන වැඩිය හිතට ගන්න ඕනේ නෑ . මොකද මම එහෙම කිව්වා , මෙහෙම කිව්වා කියලා ඉදිමෙන්න ගියොත් නම් වැඩ කරගෙන යන්න අපහසුවක් වෙයි . "


දසනායක මහතා මද සිනහවකින් යුතුව එලෙස පැවසුවද . එය පෙරලා සිනා සිය නොහැකි තරම් බරපතල ලෙසක් දැනුනි .


" අනේ නෑ සර් , එහෙම වෙන්නේ නෑ . "


" හොඳයි , එහෙනම් බොහොම ස්තූතියි නාරද කාලය වැය කළාට . මට අර යවන්න තියෙන color ranges ටික double check කරලා ගෙනත් දෙන්න . අදම ඒක ඉවර කරන්න  ඕනේ .  එහෙම වුනොත් අපිට ලබන සතිය වෙද්දි ඕඩර් එක ගන්න පුළුවන් වේවි . "


" OK සර් . . . "



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



නාරද තම කාමරයෙන් නික්ම ගිය පසු දසනායකට සිතිවිලි අතර තනිවීම , නොකළ හැකි දෙයක් නොවිනි . මුලින්ම තමන් රස්සාවල් සොයමින් කොළඹ ඇවිදපු හැටි ඔහුගේ සිහියට නැඟිනි . අන්ත අසරණ දුප්පත් තත්වයේ සිට මේ වනතෙක් සිදුවූ සියල්ල එක පෙලට ගලා ආවේය . නාරද හොඳ අනාගතයක් තියෙන , අවංක , මුල මතක තියෙන කොල්ලෙක් . එහෙමයි කියලා අද කාලේ මිනිසුන්ව විස්වාස කරන්නත් අමාරුයි . නෑ නාරද එහෙම මනුස්සයෙක් නෙවෙයි . දසනායක තමා ඉක්මන්වූවා වැඩිදැයි සිතුනත් එය යටපත් කරගත්තේ තමන්ට අවංකව වසරක කාලයක් සේවය කළ පුද්ගලයාව අවිස්වාස කිරීමට ඇති අකමැත්ත නිසාමය . දසනායක තම සිතුවිලි දාමයෙන් මිදුනේ දුරකතනය   හඬගාන්න වූයෙනි . . .

" yes කමනි . . . "


. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


පියාපත් ලැබී 04 කියවන්න මෙතන click කරන්න

Saturday, July 9, 2011

පියාපත් ලැබී . . . 02


මතක ඇති නෙවැ " පියාපත් ලැබී " ඇරඹුවා අපි . ඉතින් මෙන්න හා හා පුරා කියලා කතාවේ දෙවැනි කොටස . ඇරඹුම කියවපු නැති කෙනෙක් හෝ මතකය ටිකක් අලුත් කරගන්න ඕන නම් මෙතන ක්ලික් කරලා කියවලාම එන්නකෝ . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

. . . දෙවැනි කොටස . . .




දසනායක මහතාගේ කාර්යාල කමරය තුළ AC යන්ත්‍රයක් ක්‍රියාත්මක වුවත් තම සිරුරෙන් දහඩිය බිඳු නැගෙන්නාක් මෙන් දැනිනි .


" කොහොමද නාරද වැඩ ටික . මේ වේ වෙනකං අවුලක් නෑ නේද . "


" නෑ සර් . අලුතින් ආපු Project එකේ Proof එකකුත් කළා . color approvals වලට යවන්න ඕනේ . මගේ උපරිමයෙන්ම වැඩ ටික බලනවා සර් . "


හිතේ තියෙන ගැස්ම එළියට පෙනේ යැයි බියෙන් ආරූඩකරගත්ත ශක්තියකින් මම දසනායකගේ මුහුණ දෙස එක එල්ලේම බලාගෙන පැවසීමි .


මේසයට දබරැඟිල්ලෙන් තට්ටු කරමින් නාරදට සවන් දුන් දසනායක අසුනෙන් නැගී හිඳ ජනෙල් වීදුරුවෙන් එපිට  මුද්‍රණාලය දෙස නෙත්යොමාන කතාව ඇරඹීය .


" එහෙම නෙමෙයි නාරද . මට පුළුවං උපරිමයෙන් වැඩ කරලා වැඩක් නෑ . මට ඕනේ තමන්ගේ උපරිමයටත් වඩා වැඩියෙන් තමන්ගේ වැඩ කටයුතු වලට සාධාරණයක් කරන අයවයි . තේරුනාද . .  මොකද ඒක ආයතනයේ දියුණුවට වගේම තමන්ගේ දියුණුවටත් ගොඩාක් වැදගත් . එහෙම නේද නාරද . . . "


" ඔව් සර් . . . "


මොනවායින් මොනවා වෙන්න යනවාදැයි හිතාගන්න බැරිය . උල්පතකින් වතුර උනන්නාක් මෙන් ඉනූ සිහින් ඩා බිඳු එක්ව මහ වැස්සකට හසුවූ පරිද්දෙන් මුළු ඇඟම තෙත්කරවනු දැනින .


" සර් , මගෙන් මොකවත් mistake එකක් වෙලාද . "


මම දෙගිඩියාවෙන් යුතුව බිම බලාගෙන ඇසීමි .සමහරවිට දසනායකටද මා බියවී ඇතැයි හැඟෙන්නට ඇත .


" මොකද නාරද බයවෙලා වගේ . . . ? " සිහින් මදහසකින් යුතුව ඇසීය .


" නෑ සර් , එහෙම දෙයක් නෑ . . . "


" බයවෙන්න එපා . වරදක් නම් වෙලා නැ . හැබැයි වරදක් වෙන්න ඉඩ තියන්නත් එපා ඉස්සරහටත් . තේරුනාද . . . ? "


මම පාසල් සිසුවෙකු ගුරුතුමාට වරදක් කර හසුවූ පරිද්දෙන් හිස සෙලවීමි .



" මම මේ නාරදට හදිස්සියේම කතාකලේ වැදගත් කාරනයක් කියන්නයි . තව දවස් දෙකකින් හරියටම නාරද මේ company එකට join වෙලා අවුරුද්දක් වෙනවා . ඉතින් මම හිතුවා නාරදගේ වැඩ කටයුතු ගැනත් බලලා asst printing manager විදියට level up කරන්න . හැබැයි ඉතින් වෙනදටත් වඩා හොඳට මහන්සිවෙන්න වෙයි . මම අදිකාරිත් එක්කත් කතා කළා . අදිකාරිත් කැමතියි නාරදට මේ post එක දෙනවට . මොකද අදිකාරි තව මේ company එකේ ඉන්නේ මාස 6ක විතර කාලයක් විතරයි . ඒ කාලය ඇතුලත සේරම වැඩ ටික අල්ල ගන්න පුළුවන් නේ නාරදට . "


" ඔව් සර් . . "


" හරි මම documents ලැස්ති කරලා නාරදට කියන්නම් . අනික , මම නාරදගේ salary එකට 5000 add කරන්න තීරනය කළා . එහෙම හොඳයිද එහෙම නැත්නම් වෙන අදහසක් තියෙනවද . . . ? "


" එහෙම හොඳයි සර් . . . " 
මා එසේ කියුවා නොව ඉබේටම කියැවුණා යි සිතේ . මාතුළ ඇත්තේ සතුටක්ද බයක්ද යැයි වෙන් වෙන් වශයෙන් තෝරා බේරාගැනීමට මා අපොහොසත්වීමි . එහෙම අවශ්‍යතාවයක් ගැන සිතීමට තරම් ද සිතේ අවසරයක් නැතුවායි හැඟේ . 




. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


පියාපත් ලැබී 03 කියවන්න මෙතන click කරන්න .

Thursday, July 7, 2011

පියාපත් ලැබී . . . 01



හිත හතරවට තිබුණු සේරම ශක්තිය එකතු කරලා ආසාවෙන් බලං උන්නු වැඩේට පය තිබ්බා . අද මම දාන පෝස්ට් එකේ ඉඳලා " පියාපත් ලැබී " කියලා නම තියලා කොටස් වශයෙන් මේ කතාන්දරය ඔබට ගෙන එන්නයි බලාපොරොත්තුව . මට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්ද , මම කොයිතරම් දුරට සාර්ථකද කියන තැන ඉඳන් කතාව කියවන්න එහෙමත් නැත්නම් විඳින්න සහෲද ඔබට බාරයි .



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . ඇරඹුමක් පමණයි . . .

රැකියාවට පිවිස වසරක් පිරීමට ඇත්තේ තව දින කිහිපයකි . නාරදට රැකියාවට යාමට ලැනුනේ පියාගේ හොඳම යහළුවෙකු වූ ආරියදාස මහතාට පිං සිදුවන්නටය . පියාගේ හදිසි වියෝවෙන් පසු නැගනියගේත් මල්ලිගේත් වගකීම් තමගේ කරපිටට වැටින . විශ්වවිද්‍යාලයට තේරීමට තරම් ලකුණු ලබා සිටියද තම සිහිනය බිඳ වැටුනේ එතරම් පිම්මක් පනින්න තරම් පවුලේ ආර්ථිකය හොඳ තත්වයක නොතිබූ බැවිනි . දැන් අම්මාට නංගීට සහ මල්ලීට එකම පිහිට තමන් බව මේවනවිට හොඳාකාරවම වැටහී තිබිණි .වැස්සක් නොව්ටුනත් බීරිම තවමත් පහව නැත . නිවාඩුවක් දාන්න සිතුනත් නැවතත් ඇඳෙන් බැස මූණ සෝදන්න ගියේ දෙගිඩියාවෙන්මය . බෝඩිමට වී සිටියත් කරන්න තරම් දෙයක් සිහියට නොනැඟුනෙන් නාරද කාර්යාලය වෙත යාමට සිතාගත්තේය .







කරුමෙක මහත . එලියට බහිනකන්ම ඉඳලා වැස්ස පටන්ගත්තානේ . නාරද කාර්යාලය වෙත කිට්ටුවෙත්ම වැස්ස බෙහෙවින් තද කර තිබිණ . බිම බලාගෙන කාර්යාල භූමියට පිවිසියත් වීදුරු ජනේලයෙන් තමන් දෙස බලා සිටින දසනායක මහතාගේ රුව ඇස් කොනින් මැවීපෙනිනි . " අද හරි " තමන්ටම කියාගත්තේ වෙලාව පිලිබඳ හරියාකර අවබෝදයක් නොමැතිවීමෙන් දැන් 8 : 00 පසුව ඇතැයි යන නිගමනයෙන් යුතුවය . කාර්යාලයට පිවිස පැමිණීම ලකුණු කරද්දී යන්තම් ඇඟට ලේ ටිකක් ඉනීය . අද 7 : 30 ටත් කලින් මොකද ලොක්ක ඇවිත් . ලෙඩක්ද දන්නෙ නෑ . . .


මෙසේ හිත මුමුණනා දහසකුත් එකක් දේවල් මැද්දේ තම කුඩා කාමරයේ අසුන්ගත්තේ කළයුතුව ඇති රාජකාරි පිළිබඳ සිහිකරමිනි . නොබෝ වේලාවකින් කමනිගෙන් ඇමතුමක් ලැබුනේ තමන් පැමිනෙනතෙක් ආයතනයේ හිමිකරු වන දසනායක මහතා බලා සිටින බවයි . බාරදියයුතු ලිපිගොණු සියල්ල හරියාකාරව ඇත්දැයි බලා අතට ගත්තේ දසනායක මහතා හමුවීමටය . ඔහු මැදිවියේ පුද්ගලයෙකි . තරමක් නිහඬ චරිතයක් වූ ඔහු කාර්යාලය සුද්ද පවිත්‍ර කරන්නාගේ පටන් කටයුතු වලට ඇඟිලිගසා ඉතාමත් සූක්ශම ලෙස සොයා බලයි . මෙනිසාමදෝ කොහෙද " දසයා " යන නම කාර්යාලය තුළ පමණක් නොව මේ කාර්යාලය හා ගැටෙන වෙනත් කාර්යාලයන්හී පවා ඔහුට පටබැඳුනකි . නාරද ඔහුවෙත ඇදුනේ හිතේ තරමක ගැස්මක්ද පවතිද්දීය .


good morning sir . . .

good morning නාරද

take a sit . . .


. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


පියාපත් ලැබී  02 කොටස  කියවන්න මෙතන click කරන්න 



Monday, July 4, 2011

අමුත්තෝ හිඟයි . . .




නාගරික මිනිසෙකු වරක් ඉතා නොදියුණු ගම් පෙදෙසක් නැරඹීමට යාමට සිතීය . ඔහුට සිතූ පරිදිම එවැනි ග්‍රාමයක් හමුවිය . සිත්සේ නැරඹීම් කළ ඔහු දැඩි පිපාසයක් දැනී තේ කඩ පොඩ්ඩකට ගොඩවූයේය . 
තැඹිලි ගෙඩියක් බී විඩා සිඳුවාගත් ඔහුට තැඹිලි ගෙඩියට අයකළ මුදල දැක නැවතත් දැඩි පිපාසයක් ඇතිවිය .

අමුත්තා  :  " ඇයි මුදලාලි මේ පළාතේ මෙච්චර ගස් තියෙද්දිත් තැඹිලි වලට ගිණි ගණං ගන්නේ . . . ? "

මුදලාලි  :  " අනේ මහත්තයෝ ගස් නං තියෙනවා තමයි . ඒත් ඉතිං මේ පළාතට ඒ තරං අමුත්තෝ නේන එක තමයි වැරැද්ද . . . "

ඕං ඒකෙත් හැටි . නේද . . . 

උපුටා ගැන්ම : ප්‍රදීපා සගරාවෙනි ( 1984 පෙබරවාරි )

මගුල . . .


කරෝලිස් ඉහ පැහෙන තරම් වයසේ කෙනෙක් . මෙහෙම කිව්වම " දැන් නම් ඉහ පැහෙන එක ඇටෙං පොත්තෙන් එළියට එන එකාටත් වෙනවනේ " කියලා කෙනෙකුට කියන්න පුළුවන් තමයි . . . :) ඒ වුනාට මම මේ කිව්වේ මේ මනුස්සයා සාමාන්‍යයෙන් මැදිවිය ඉක්මවූ කෙනෙක් කියලයි . අනුන්ගේ දේ ගැන අනෙක් අයට වඩා මදක් වැඩියෙන් විමසිලිමත් වන කෙනෙකු ලෙස මෙයා කා අතරත් ප්‍රසිද්ධයි . ඒ කියන්නේ ඉතිං අපේ භාසාවෙන් කිව්වොත්  අබිලිං කෙනෙක් . 



ඔය අබිලිං කියන නම අපේ පොඩි එකාට පටං හොඳට හුරු නමක් නොවැ නේද . ඒකත් අර ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය නිසා වෙන්න ඕනෙ. අහ් . කතාව පිට ගියා නේද . . . :P ඔන්න ආයෙත් කතාවට . . . :D


දවසක් ටවුමට ගිය කරෝලිස්ට කාලෙකට ඉස්සර ගමේ ඉස්කෝලෙට ඉගැන්වීමට ආපු පියදාස ඉස්කෝලේ මහත්තයා බස් බැවතුමේ ඉන්නවා දකින්න ලැබුණා . ඒ සැනින්ම ඔළුවට ආවේ පියදාස ටවුමේ ලමාතැනී කෙනෙකු එක්ක ඇතිකරගෙන තිබ්බ සම්භන්ධයයි . අඩියට දෙකට බස් නැවතුමට ලංවුනේ ඒ සම්භන්දය ගැන දැනගන්න යටි අදහසකුත් හිතේ හංගගෙනයි .


කරෝලිස්  :   ආ පියදාස ඉස්කෝලෙ මහත්තයා . බැහැරක් වගේ .


පියදාස      :   ආහ් . . . නෑ මම මේ ගෙදර යන ගමන් .


කරෝලිස් : ම්ම්ම්ම්ම් . . . ඒක නෙවෙයි මහත්තයෝ . අර නෝනා එහෙම හොඳින් ඉන්නවැයි .


පියදාස      : අපොයි ඔව් . . . අපිට දැන් පොඩි බබෙකුත් ඉන්නවා .


කරෝලිස් : හැබෑට . අනේ සතුටුයි මහත්තයෝ . . . කවදැයි මගුල් කෑවේ . ආරන්චියක්වත් ආවෙ නෑ නොවැ . මොකැ මහත්තය ඒ දවස්වල අපේ උන්ට කළ උදවු වල හැටියට අපේ ගමේ උන් පෝලිමේ නොවැ එන්නේ එහෙව් දෙයක් දැනගත්තනං .


පියදාස : ආ ඒවට නම් කරදර වෙන්නේ මොකටද කරෝලිස් . අපි පොඩි එකාගේ ඉඳුල් කටගෑමත් එක්ක අපේ මගුලත් ජයටම ගන්නයි හිතන් ඉන්නේ . මම නිකමට වගේ දන්වන්නම්කෝ .


මෙහෙම කියපු පියදාස ඉගිලගෙන ආපු බසයට ගොඩවුනේ " යන්නම් කරෝලි " කියාගෙනයි .


ඔන්න ඔහොමයි සිද්දිය . කස්ටියට හිනාවෙන්නත් එක්ක කියලා ලිව්වට ඉතින් " හිනා වෙන්න නං ඉතිං කිචිකවාගන්න ඕනෙ " කියලා ඔයාට හිතෙනවද . . . :P . හෙහ් හේ . . . 

Sunday, July 3, 2011

මහපාර මැද . . .




මහපාර මැදදී දෙපසකින් ආ මෝටර් රථ දෙකක් මුහුණට මුහුණලා නැවතුනි . එක් රියදුරෙකු සිය රථයෙන් ඔළුව එළියට දමා මෙසේ කීවේය . . .

: " කාර් එකක් එළවන්න දන්නේ නැති මෝඩ තකතීරුවෙකුට මං කවදාවත් පාර ඉඩදෙන්නේ නෑ . . . "

එවිට අනෙකා . . .


: " අනේ , මං නම් ඕන වෙලාවක ඉඩදෙනවා . . . "

මෙන්න මෙහෙම කියලා රථය හරවගෙන අනෙකාට ඉඩ දුන්නේය . . .


෴ 


උපුටාගැන්ම : ප්‍රදීපා සඟරාවෙනි ( 1984 පෙබරවාරි )

අහම්බෙන් ඇසගැසුනු මේ කථාව අපේ කට්ටියට කියන්න හිතුනා . මට හිතුණා කාට කාටත් හිතන්න දෙයක් ඒකේ තියෙනවා කියලා .

Saturday, July 2, 2011

පළමු පියවර . . .


කතා හදන අපේ උන්දැලා අතරේ මට නම් හරි හරියට පෑහෙන්න පුළුවන් වේවිද මන්දා . කතා හදන කිව්වේ අනේ ඒක එක්කෙනාට කතා හදන කියන අදහසින් නම් නෙමෙයි ඕං . හොඳද . . . :) 

කොහොම වෙතත් පන්හිඳේ අකුරු අමුණපු මම " ගැලපිල්ල " කියලා අලුතින් බ්ලොගයකට පය තිබ්බා පුංචි පුංචි කතා ගලපන්න . කොහොම වේවිද දන්නේ නෑ ඉතින් . එන විදියකට මූණ දෙන්න හිතාගෙන ඔන්න දෙයියනේ කියලා මම මගේ අලුත් බ්ලොගය ඇරඹුවා .