Sunday, October 16, 2016

පින . . .

පසුපස අතින් පිහිදමමින් ඇය ගල් පඩියෙන් සෙමින් නැගිට්ටාය.

"රෑ වුණා කෙල්ලනේ. ඉක්මන්කොරලා යමු. නැතිනම් කරුවලේ මට හැප්පි හැප්පි තමා යන්ට වෙන්නේ."

එතනා හාමි කියන හඬ කාන්තීටත් කෝකිලාටත් හොඳටම ඇසුනි.

"පෝය නිසා හඳ එළියට කරුවල මැකිලා අත්තම්මේ." කෝකිලා කාන්තිත් සමඟ බෝ මළුවෙන් එලියට එන ගමන් කීවාය.

"ඇහැ කණ පේන උඹලට හඳ එළියේ යන්න හැකි වුණාට සුදත් ඇවිත් බොඳවෙලා පේන අපිට හඳ එළිය එළියක් නෙවෙයි ළමයෝ. දවාලටත් යන්තමට අතපත ගාලා වැඩ ටික කරගන්නේ."

"හරි හරි අම්මේ, සුනංගු නොවී යමු. ඔතන ඔය පල්ලෙහා ත්‍රීවීල් එකක් දෙකක් ඇති තවම මයෙ හිතේ." කාන්ති අම්මාගේ අතින් අල්ලාගන්නා ගමන් කීවාය.

" ඔය ත්‍රීවීල් වලට නිකන් මොකටද ළමයෝ සල්ලි නාස්ති කරන්නේ. අපි ඔය ටික හෙමින් හෙමින් යමු." එතනා හාමි කීවාය.

" නෑ නෑ අත්තම්මේ. රුපියල් පනහේ, හැටේ දුරනේ. අපි යමු."

"ළමයෝ ඔය වයසට අරපරිස්සමෙන් වැඩකරන්න ඉගෙන ගන්න ඕන. අල්ලට කොල්ලට වියපැහැදම් කොරන්න ලෑස්ති වෙන්නේ නැතුව."

" හරි අත්තම්මේ අපි දැං යමුකෝ. මේ කරුවලේ පයින් යන්න නාකයි. සත්තු සර්පයොත් ඇති."

" ඒක හැබෑව." එතනා හාමි මුව වසාගෙන කාන්තිගේ අතේ වාරුවෙන් පන්සලේ පඩි පෙළ බැස්සාය.

ජීවකාරාමය පිහිටා තිබුනේ තරමක් කන්දට වෙන්ටය. පන්සලේ සිට පඩිපෙල බසින විට ඉදිරියේ රේල් පාරත්, මහවෙලත් ඊටත් උඩින් පායා හිනැහෙන පුන් සඳත් අපූර්ව සිත්තමක් මවා තිබුණි. පන්සල තුළ දී තිබුණු සැහැල්ලුව බිඳ බිඳ පන්සලේ පියගැටපෙල බහිනවාත් එක්කම පඩියෙන් පඩිය මැකීයනවාදෝ' යි කෝකිලා වරෙක සිතුවාය.

" ඇයි අත්තම්මේ අද සිල් ගත්තේ නැත්තේ."

" ඇහැක් හරියට පේන්නෙ නැතුව ඔතන ගිහින් තවකෙනෙකුට වදයක් වෙන්න බෑ ළමයෝ. දැන් මට බෑ ඉස්සර වගේ."

අත්තම්මා උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් කිසිම පෝයකට සිල් ගැනීම මඟහරින කෙනෙක් නෙවෙයි. නමුත් ඇහේ සුද මතුවීමත් එක්කම ඒ සියල්ල වෙනස් වී ඇත.

" ලිස්ට් එකට නම දාලා දැන් සෑහෙන කාලයක් නේද අත්තම්මේ ? "

" ඒ ලිස්ට් එක උඩට එන එකක් නෙමෙයි දරුවෝ . සමහරවිට මම මළාමතමයි ඇස් දෙක ඔය ඔපරේශන් එකට ගන්න දින ලැබෙන්නේ. ඒකට අන්න කුසුම් නෝනා. අද පන්සල් ඇවිත් හිටියෙත් නෑ මයේ හිතේ. තවම ගෙදරද කොහෙද. එයා නම් ගිහින් ඔපරේශන් කරගෙන තිබුණා මේ ඊයේ පෙරේදා. "

" කවුද අත්තම්මේ කුසුම් නෝනා ? "

" ඇයි අර හාල් මුදලාලිගේ නෝනා. ඒ මිනිස්සුන්ට සල්ලි වකාරේ නොවැ. ගියා .. සල්ලි ගෙවුවා .. නැවතුනා .. කොරගත්තා .. අපිට එහෙමද ඉතින් . " අත්තම්මා සැබවින්ම පසුවන්නේ කනස්සල්ලෙන්ය.

අත්තම්මාට ඔපරේශන් එක කර දීමට ඇත්නම් එය ලොකුම ලොකු පිනකි. ඒත් දැන් කෝකිලා සතුව එතරම් මුදලක් ඉතිරිව නැත. බ්ලොග් ගලෙන් යන්තම් බිත්ති හතර අටවා තිබූ ගෙය යම්තාක් දුරට පිලිසකර කරගත්තේ කෝකිලාගේ උත්සහයෙනි. තාත්තා උපයා ගන්නා මුදල ගෙදර වියදමට යන්තමට සෑහෙන මුත් ඊට වඩා යමක් කරන්නට අපහසුය. තාත්තාගේත් අම්මාගේත් පවුල්වල යමක් කමක් තිබුණද ඔවුන් දෙදෙනාම තමන්ගේ දේ කරගෙන තිබුනේ තම උත්සාහයෙන් විය. ඇතැම් විට ඒ උත්සාහවන්තකම නිතැතින්ම තමන්ටත් දායාද වන්නට ඇතැයි කෝකිලා සිතුවාය.

" ආ නැන්දලා පන්සල් ආවද . . .? "

" ආ මේ සමන් ළමයානේ. ඔවු පුතේ මේ දරුවත් ගෙදර ආපු වෙලේ පන්සල පැත්තට ඇවිත් යන්න ආවා. බෝධි පූජාවක් තියන්න. "

සමන් කෝකිලා දෙස හොඳින් බැලුවේය.

" දැන් කෝකිලා නංගි වැඩිය පේන්න නෑ නේද ? "

" ඔවු ළමයෝ කොළඹනේ රස්සාව කරන්නේ. නිවාඩුවට තමා ඉතින් ඇවිත් යන්නේ. ඔන්න ඔය අපිව ගෙදට්ට දාන්න ළමයෝ . "

" නගින්න නැන්දේ ."

සුරූපිනියක් නොවුනත් කෝකිලා ද යමෙකුට දෙවරක් හැරී බැලීමට සිත දෙන සුන්දරත්වයෙන් වූවාට සැක නැත. නිවසට යන අතරතුරත් සමන් විටින් විට කණ්නාඩියෙන් ඈ දෙස බැළුවේය.

" මාමා පෝයටත් වැඩද නැන්දේ. "

" ඔවුනේ ළමයෝ. අදත් වැඩ. "

" ඒක තමා. මම උදේ දැක්කා මාමා දුවගෙන ඇවිත් කෝච්චියට නගිනවා. "

" ඈ ළමයෝ. ඔය කෝංගහ ඉඩමත් හාල් මුදලාලි  අරගෙනයි කියන්නේ ඇත්තද. " අත්තම්මා ඇසුවේ උවමනාවෙන් එළිය බලාගෙනය.

" ඔවු ආච්චියේ. ඕක අර සිරිල් මාමාගේ ඉඩමනේ. හාල් මුදලාලි ලඟ තියලා ගණුදෙණුවක් කරගෙන තියෙනවා. පස්සේ සින්නවෙලා. "

" හ්ම්. . ඔය සිරිල්ගේ පවුල අසනීපවෙච්ච වෙලාවේ වෙන්න ඕනේ ඕක උකස් තියන්න ඇත්තේ. අන්තිමේට ගෑනි බේරගන්නත් බැරිවුණා. ඉඩම බේරගන්නත් බැරිවුණා. "

" ඔය හාල් මුදලාලි ලඟ උකස් තියපු ඉඩමක් කඩමක් කවදද බේරගත්තය කියලා අහන්න ලැබුනේ අම්මේ. " කාන්තිත් කතාවට වැටුනාය.

" පොලිය වැඩීනේ නැන්දේ. පොලී පිට පොලී වෙලා සින්න වෙනවා. ආරංචි විදියට පුතත් දැං ඔය ඡන්දෙට ඉදිරිපත් වෙන්න හදනවා කියන්නේ. "

" ඇත්තද . . . ඒ ළමයා උනත් කවදාවත් මූනට මුලිච්චි වුණත් මූනක් බලලා හිනාවෙන කෙනෙක් නෙමෙයිනේ. හරියට හිතට අරන් ඉන්නේ. මිනිස්සු ඡන්දේ දේවිද . . .? "

" සල්ලි වලට මොනවද කරන්න බැරි ආච්චියේ. උඩින් දිනයි . "

" ඔය මුදලාලි පෝයට එහෙම සිල් රෙදි හිටන් දෙනවා සිල් ඇත්තෝ හැමෝටම. ඒ වුණාට කරන්නේ අහින්සක මිනිස්සුන්ව හූරගෙන කන එකනේ. අනේ අනිච්චං. මොකටද හැබෑට ඔහොම පිං කොරලා. " එතනාහාමි කීවේ යලි පිලිතුරක් බලාපොරොත්තුව නොවීය.

" මයෙ හිතේ ඔය හන්දියේ බුකියත් ඔය මුදලාලිගේලු නේද. ? " කාන්තිද එකතුවූවාය.

" ඔවු නැන්දේ. මුන් මිනිස්සුන්ගෙන් හූරගෙන කනවා. අනික අපේ උන්ට ගහන්න ඕන ඔය රේස් ඔට්ටු දාන්න යනවට. "

සමන් සුද්දවන්තයෙක් වෙන්න වෙරදැරුවේය. ඒ හැමවිටකදීම ඔහු කණ්නාඩියෙන් කෝකිලා දෙස බලන්න අමතක නොකලේය.

" ආ ගේ ලඟටම ආවා. කතාවෙන් කතාවෙන් ගේ ලඟටම ආවා. කීයද ළමයෝ...? " කාන්ති කුලී රියෙන් බැස මුදල් ගෙවුවාය.

මග අතරමඟත් අම්මා මුදල් ගෙවන අතරතුරත් සමන්ගේ ඇස් දෙක තමන් ලඟ තිබූ බව කෝකිලා හොඳටම දුටුවාය. නමුත් ඒ ගැන වගකටවත් නොගත්තේ අනවශ්‍ය හිතවත්කම් ඇතිකරගන්න සැරසේ යැයි බියෙනි. තමන්ට කරන්න තවත් අපමන දේ තිබේ. ඒ අතරට නැති ප්‍රශ්ණ අවශ්‍ය නැත. ඈ සිතුවාය.

" තාත්තා ගෙදර ඇවිදින් වගේ . . . " කියමින් අම්මා ගෙට ගොඩ වුණාය.

" ආ දුව . කොයි වෙලාවෙද ගෙදර ආවේ. " නන්දසේන තුවායෙන් හිස පිහදමමින් ඉදිරියට ආවේය.

" තුනට තුනාමාරට විතර අප්පච්චි. අප්පච්චී දැන්ද ආවේ . . .? "

" ඔවු ළමයෝ ආපු ගමන් රෑවුණා කියලා බැළුවේ නෑ. නාගත්තා . " නන්දසේන තුවාය අතට ගනිමින් හාන්සි පුටුවේ ඉඳගත්තේය.

" ඈ ළමයෝ හරියට කෑමක් බීමක් ගන්නේ නැත්ද. නිකන් ඇදිලා ගිහින් වගේ. "

අප්පච්චීගේ කතාවට කෝකිලාට හිනා නැගිනි.

" මම ඇදිලා ගිහින් වෙන්නේ කොහොමද අප්පච්චී. කඩ කෑමම කාලා ටිකක් මහත්වෙලා. බරත් ටිකක් වැඩිවෙලා. " කෝකිලා හිනැහුනාය. "

හ්ම්ම්. . මට පේන හැටි වෙන්න ඇති එහෙනම්. "

තමන් දුක් විඳිනවායි කියා අප්පච්චී සිතනවාට සැකයක් නැත. එක අතකට පවු. දැන් වයසට යන්නත් අරගෙන. ඒත් තවමත් හිතේ සැනසීමක් නෑ. අප්පච්චිගේ දිනෙන් දින මතුවන සුදු කෙස් කෝකිලා දුටුවාය. කුඩා කළ පටන් තමන්ට කිසිදු අඩුපාඩුවක් දැනෙන්නට නොදී පාසල් යැවූ හැටි ඇයට සිහිවුනාය. උසස්පෙළ වාණිජ අංශයෙන් විශිෂ්ට සාමාර්ථ නොතිබුණත් ඇය පාස් වී තිබුණාය. අද කාලේ ඉස්කෝලෙ ගිය පමනින් විභාග පාස් කළ නොහැකිය. මන්ද යත් ඉස්කෝලේ දී පාඩමේ හැඳින්වීම කළත් ඉතිරිය උගන්වන්නේ ඒ ගුරුවරයාගේම ටියුශන් එකේ දී වීමය. එසේත් නැතිනම් පාසලේදී උගන්වන්නේ එහෙන් මෙහෙන් වීමය. නමුත් ඒ අතරට හොඳ ගුරුවරුද නැතුවාම නොවේ. කෝකිලාට පාසලේ ඉංග්‍රීසි ටීචර්ව සිහිවුණි. ඇය හැම අතින්ම කෝකිලාට සහයක් වුණු සැබෑවකි. කෙසේ වෙතත් තමන් ගැන කෝකිලාට වගේම තමන්ගේ පවුලේ අයගේත් සෑහීමක් තිබීම ඇයගේ ඉදිරි ගමනට සෑහෙන පිටිවහලක් විය. මෙනිසාම රජයේ ආයතනයක රැකියාවක් නොලැබුණත් පුද්ගලික අංශයේ උකස් ගන්නා ආයතනයක රැකියාවක් ලැබීම මහත් සැනසීමක් විය.

කෝකිලා දිනකට පවුම් ගනනින් රන් අතපත ගාන නමුත් ඇයගේ ගෙලේ තවමත් සිහින් රන් දම්වැලක්වත් නොවූවාය. ඒ ගැන ඇලීමක් නොතිබුණත් පුංචි පුංචි ආසාවල් නොතිබුණාමත් නොවේ. නමුත් ඕ සැමවිටම තම වගකීම් වලට මුල් තැන දුන්නාය. මෙනිසාමදෝ ආයතනය තුළ වුවත් ඇයට සෑහෙන පිලිගැනීමක් විය.

සල්ලි වල හොඳ නරක කියා වෙන් කර නැත. නෝට්ටුවේ එසේ මුද්‍රනය කොට තිබුණානම් සිදුවන්නේ මහත් විපතකි. එසේ වී නම් හොඳ මුදල් නැත්තටම නැතිවී යනු ඇත. කෝකිලාට නැවතත් හාල් මුදලාලිව සිහියට නැගුනි. මුදලාලි දන් දෙන්නේ කොහෙන් හරි කොහොමහරි  සල්ලි ලැබෙන නිසානේ. ප්‍රසිද්දියට හරි ඔය කරන වැඩ වලින් එක අතකට තව මිනිහෙකුට හොඳක් නොවැ වෙන්නේ. පිං කරන්නත් සල්ලි ඕනේ. කෝකිලා සුසුමක් හෙළුවාය. ඇඳ සිටි ඇදුම් උනා නිදන ඇඳුමක් ලා ගත් ඇය ඇඳට වැටුනාය.

" මොනාද දරුවෝ කල්පනා කරන්නේ. " ලයිට් එකත් දාගෙන ඇඳේ උඩ බලාගෙන සිටින කෝකිලා ලඟ හිඳගනිමින් එතනාහාමි ඇසුවාය.

" අපි පවු කළාට ආයෙම පිනක් කරනකොට කලින් කරපු පවු මැකෙනවද අත්තම්මේ ? "

"මොන අපබ්‍රන්ස කතාවක්ද ළමයෝ ඒ ඇහුවේ "

" නෑ ඉතින් අර මිනිස්සු සිල් රෙදි එහෙම දෙන්නේ මිනිස්සුන්ගෙන් හූරගෙන කාපු සල්ලි වලින් නේ. ඒකයි ඇහුවේ. "

" ඒ මිනිස්සු කරගන්න පවු මොන පින කරත් මැකෙන්නේ නෑ ළමයෝ. මිනිස්සු කී දෙනෙක් නම් සාප කරනවා ඇතිද. තමන්ගේ ගේ දොර මංකොල්ලා කාගත්තම. ඕවා කවදා හරි පල දෙනවා. "

"හ්ම් . . . "

" දැං ඔය විකාර නොහිතා නිදාගන්න ළමයෝ. " එතනාහාමි නැගිට ගොස් ලයිට් එක නිවා දමා කාමරයෙන් පිටවුනි.

සෑහෙන වෙලාවක් යනතුරුම කෝකිලාට නින්ද නොආවාය. බෝඩිමේදී පාරේ යන වාහන වල හඬ මුල් කාලයේදී අපහසුවක් වුවත් දැන් එයට හුරුවී ඇත. එනිසාම එහෙදී නම් ඇඳට වැටුනු පමාවෙන් නින්ද එයි. නමුත් දැන් රැහැයි හඬත් එක්ක එන නිහැඬියාව ඇයට මත් කන්කරච්චලයක් වී ඇත. නින්ද අහලකට නො එයි. ඇඳේ එහෙට මෙහෙට පෙරලි පෙරලි සිටි ඇයට නින්ද ආවේ පාන්දර ජාමේය.




*    *    *    *    *    *    *    *    *    *

" හොඳයි මම එහෙනම් ගිහින් එන්නම්. නෝනලා මහත්තයලා දුවත් එක්කත් කතාබහ කරලා තීරණයක් ගන්නකෝ. හැබැයි ඉතින් ඉක්මන් කලෝතින් හොඳයි. මොකද ගියපාර මේ ළමයා ගමේ ආපු වෙලේ තමයි මේ ළමයව ලොකු මහත්තයා දැකලා පුංචි මහත්තයාගෙනුත් අහලා තියෙන්නේ. මේ ළමයාගෙත් වෙලාවට පුංචි මහත්තයත් එකපයින් කැමති වෙලා. එදාම තමා මට කතා කරලා කිව්වේ මේ ගැන විස්තර හොයලා බලලා කියන්ඩය කියලා. මම සේරම විස්තර කියලා තියෙන්නේ. ලේසියෙන් ලන්වෙන්න බැරි පවුලක් ඉතින්. ඔය මහත්තයලගෙත් පින. කෙල්ලගෙත් පින. ඉතින් එහෙනම් මට ඔය නොම්බරේට කතාකොරලා කියන්නකෝ ඉක්මනින් පණිවිඩයක්. මම ගොහින් එන්නම්. " ඔහු නැගිට පුටු ඇන්දට හේත්තු කර තිබුණු කුඩය අතට ගත්තේය.


" අනික විය හියදම් ගැන කිසිමදේකට කලබල වෙන්න ඕන නෑ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ගුණ යහපත් කම විතරයි. බලන්නකෝ එහෙනම් . එන්නම් මහත්තයා. එන්නම් නෝනා. " ඔහු යන ගමනුත් කීවේය.

උදේ දහය ලෙස ඔරලෝසුවේ සටහන්වී තිබුණි. ආ තැනැත්තා කවුද , කතාකළේ කුමක්ද යන්නගැන කෝකිලාට හරි අවබෝදයක් නැත. එහෙන් මෙහෙන් ඇහිච්ච දේවල්වල හැටියට තමන්වත් කතාවට සම්භන්ද බවක් ඇයට සිතුණි. ඇඳෙන් බැස කුස්සියට ගිය ඇය වතුර වීදුරුවක් කලෙන් නවාගෙන කටසෝදා ඉවතට විසිකළාය. නැවතත් කේතලයෙන් උණු වතුර වීදුරුවට වත්කළගත් ඇය සෙමෙන් ඉස්තෝප්පුව දෙසට ගියාය.

"කවුද අම්මා ආවේ ? "

කෝකිලාගේ හඬින් පාර දෙස බලාගෙන සිටි තිදෙනාම ගැස්සී ගියාය.

" කපු මහත්තයා. " අම්මා කටට දිවට  නොදැනෙන්න කීවාය.

" ඒ මොකටද අම්මා කපු මහත්තයා මෙහේ. "

" වෙන මොකටද ඉතින් , යෝජනාවක් අරන් ඇවිල්ලා. "

" කාටද , මටද ? " කෝකිලා ඇසුවාය.

" හ්ම් . . ."

" අනේ මට නම් ඕවා දැන්ම ඕන නෑ අම්මා. ඕවට තව කල් තියෙනවා. අනික තව කොයි තරම් දේවල් තියෙනවද කරන්න. "

" එහෙම කියලා හරියනවද ළමයෝ. හොඳ යෝජනාවක් ඇවිත් තියෙන්නේ. හීනෙකින්වත් හිතන්න බැරි තැනකින්. හොඳ සල්ලි කාරයෝ. අනික පිනට දහමට වුණත් ඇඹරෙන මිනිස්සු නෙවෙයි." අත්තම්මාද වචන දුන්නාය.

" නැත්තං . . ඔය මිනිස්සු වුණත් නිකන්ද කියන්නේ, අස්සයා පනින්න කලින් ඉස්තාලේ වහගත්ත මිනිස්සු කියලා. ඔය තාත්තා වහල දාන්න ගිය පොඩි මෝලෙන් නේ ඔය මිනිස්සු දියුණුවුනේ. හොඳට දියුණුවෙනවා. අනික ඒ ළමයා වුණත් ගමේ රටේ කිසි කතාවක් අහගත්ත ළමයෙක් නෙවීනේ. හොඳට හැදිලා තියෙනවා. පාරක තොටක ගියත් බිම බලාගෙන බොහොම සාන්තව තමා ගමන. අනික ඒ දරුවගේ අම්මා තාත්තා වුණත් මේ ගමේ උන්ගේ නැති බැරි කම් වලදී කොයි තරම් පිහිටවෙලා තියෙනවද."

තාත්තාද මේතරම් කියන්නේ හොඳට දන්න කියන පවුලක් ගැන වියයුතුය. කෝකිලා සිතුවාය.

" ඔහොම දෙයක් ලබන්නත් පින තියෙන්න ඕනේ . . ."

" හරි දැන් කවුද දැන් ඔය. කාගෙන්ද යෝජනාව. "

" වෙන කාගෙන්වත් නෙවෙයි. අර දහම් ළමයගෙන්. පන්සලේදි තමයි දුවව දැකලා කැමති වෙලා තියෙන්නේ."

කෝකිලා තක්බීරිවූවාය.

"දහම් "

"හ්ම්ම්. දුව මොකද කියන්නේ. අපේ නම් අකමැත්තක් නෑ. "  කාන්ති කීවාය

"දහම් . .  හාල් මුදලාලිගේ පුතා. " කෝකිලා නැවතත් ඇගෙන් පිළිතුරක් බලාපොරොත්තුව බලා සිටින තිදෙනාගෙන් විමසුවාය.



නිමි


( සියලු නම් ගම් මනක්කල්පිතයි . . . )





Thursday, October 6, 2016

වලවුකාරයෝ . . .

බොහෝම ඉස්සර දවසක මාව කැන්දලියද්ද වලවුවට එක්කගෙන එනවා මට අද වගේම මතකයි. ඒ බොහොම පුංචි සන්දියේ. ඒත් මාව අරං ආවේ කොහේ ඉඳලද කියන එක අදටත් මට හරි හැටි නිච්චියක් නෑ. කොහොම වෙතත් එදා ඉඳලා කැන්දලියද්ද වලවුව මගෙත් ගෙදර වුණා.

වලවු පැලැන්තියේ වංශක්කාරයෝ ගැන මට ඒ කාලේ ඒහැටි තේරුමක් තිබුනේ නෑ. ඒත් වලවුවේ හැදෙන වැඩෙනකොට මමත් ඉබේටම වලවුකාරයෙක් වුණාදෝයි හිතුන වෙලාවල් නොතිබුණාමත් නෙමෙයි. සමහරු මම දිහා බැලුවෙත් මට සැලකුවෙත් වලවුකාරයෙක්ට හා සමානවමයි.

මට හිටපු හොඳම යාළුවට හැමෝම වගේ කිව්වේ, කතාකරේ පුංචි හාමු කියලයි. ඒත් බංඩාරයි මමයි අතරේ කවදාවත්ම උස් පහත්කමක් තිබුනේ වත් දැනුනේ වත් නෑ.

අපි දෙන්නම එදා හති වැටෙනකන් සෙල්ලම් කළා. දන්නේම නැතුව අපි එහා වත්තටත් පැනලා. ඒ වෙලාවේ නම් අපිට නිකන්වත් ගිරිගෝරිස් මාමව මතකයට ආවේ නෑ.

"මොකද මොකද ඔය කොරාන්නේ පුංචි හාමු" ගිරිගෝරිස් මාමා ඇහුවේ ටිකක් තදින්.

අපි දෙන්නටම නොතේරී මාමගේ කොරටුව සම්පූර්ණයෙන්ම වගේ විනාස වෙලා. ඒක දැක්කම මට නම් ගොඩාක් බය හිතුණා. මට හිතුණා පුංචි හාමුගේ ඇඟත් හීතල්වෙලා යන්නැති එවෙලේ. මගේ පපුවේ ගැස්මත් එළියටත් ඇහෙන්නා වගේ තිබුණා.

"හා යන්නයි කිව්වේ දෙන්නම ආපහු වලවුවට. " ගිරිගෝරිස් මාමා රවාගෙන උන්නා.

මාමා ඒ වචන ටික කිව්වෙ තරහින් බව අපි දෙන්නටම හොඳටම තේරුණා. අපි දෙන්නම පස්ස බලන්නේ නැතුව වලවුවට දිවුවා. ගිරිගෝරිස් මාමාගේ ගොරක මද වගේ දිලිහුණු ඇස් ගෙඩි දෙක ඒ හතරැස් මූණත් එක්ක අපි පස්සෙන්ම එනවා වගේ දැණුනා. අපි දෙන්නම බයේ උන්නේ ගෙදරින් අපිට කෝටු පාර කන්න වෙයි කියලා. ඒත් මාමා ඒ කිසි වගක් වලවුවේ කාටවත්ම කියලා තිවුනේ නෑ.

ඔහොම ටික කාලයක් ගෙවුණා. බංඩාරගේ ඉගෙණුමට කියලා ටවුමේ ලොකු ඉස්කෝලෙකට ගියා. ගිහිං නැවතුණා එහෙම. මම මෙහෙ තනිවුණා. මුලදි මුලදි මගේ හිතටත් සාංකාවක් වගේ දැණුනා. අම්මපා මම කීප දොහක්ම කටහරියකට මෙලෝ දෙයක් ගත්තෙත් නෑ. කිසි පිරියක් තිබ්බෙ නෑ. ඒත් ටික කාලයක් යනකොට මම ඒ දැණුන තනිකමට හුරුවුණා. අවුරුදු ගානක් යනකන් මම බංඩාරව දැක්කේ නෑ. ඒත් හදිස්සියේම දවසක් බංඩාරට වලවුවට එන්න සිද්දවුණා. ඒ ලොකු අප්පොගේ මරනෙට. එදා මම හොඳටම ඇඬුවා. මම දැක්කා බංඩාර එහෙන් මෙහෙන් යනකොට එයාගේ ඇස්වලත් කඳුලු පුරෝලා තිබුණා.

බංඩාර අඳුරගන්න බැරි තරමට වෙනස් වෙලා උන්නා. ලොකු ඉලංදාරියෙක් වෙලා. මම බලං උන්නා නිකමට හරි බංඩාර මාත් එක්ක කතාකරයි කියලා. මගේ පොඩි කාලේ යාළුවා. ඒත් නිකමට එක වචනයක් වත් මාත් එක්ක කතා කරන්න ආවේ නෑ. බංඩාරටත් මාව අමතකයි එහෙනම්. මට ඉබේටම සුසුමක් හෙලුණා. සමහර විට මට ඕනවුණා වෙන්න ඕනෙ ඒ වෙලාවෙ හැටියට දුක බෙදාගන්න. ඒත් අවසන් කටයුතු කළ දාට පහුවෙනිදා උදේම බංඩාර ආපහු කොළඹ ගිහින් තිබුණා.

සතියකට විතර පස්සේ කට්ටියක් ආවා අපේ වලවුවට. ඒ අය වලවුවට හිතෙන හිතෙන දේවල් කළා. තීන්ත ගෑවා, වත්ත හැදුවා. අනේ මංදා සමහර දේවල් නම් මහා විපරියාස. මගේ පරන බක්කි කරත්තය උස්සං ගිහින් මුං ටික තිබ්බේ  ඉස්තෝප්පුවේ. අයිංකරලා තිබුණු රෝදෙකුත් ගෙනිහිං සාලෙං තිබ්බා. වෙලාවකට හිනහත් යනවා. අන්තිමේට වලවුවේ ඉතුරුවුණේ මම විතරයි. පස්සෙයි දන්නේ, බංඩාර ලොකු අප්පොගේ මිනියේ උනුහුම යන්නත් කලියෙන්ම වලවුව කාටදෝ විකුණලාය කියලා.

මට යන්න වෙන තැනක් තිබුණේ නෑ. මම ඔහේ කරබාගෙන උන්නු තැනම ලගින්න හිත හදාගත්තා. දැනුයි මට තේරෙන්නේ වලවුවේ උන්නට මම වලවුකාරයෙක් නොවන වග. දැං ඉඳලා හිටලාවත් කාටහරි මාව මතක් වෙනවනම් ඒ කාගේ හරි මගුලක් තියෙන දාට බක්කි කරත්තෙ ඇදගෙන යන්නයි.

ඒත් ඉඳලා හිටලා හවහට ගිරිගෝරිස් මාමා යංතං මොනවාහරි තොලගාගෙන ඇවිත් මගේ ඔලුව අතගගා මොනවදෝ කියලා යනවා. උන්දැත් දැං හරි වයසයි. උන්දැ කියන ඒවා මට තේරෙන්නේ නෑ. හැබැයි ඒ හැම වෙලාවකම උන්දැගේ ඇහෙත් අගට වෙන්න යන්තං තෙතමනයක් තිවුණා මම දැක්කා. සමහරවිට උන්දැත් මං වගේම මේ කැන්දලියද්ද වලවුවත් එක්ක මොකක්දෝ කියාගන්න බැරි බැඳීමකින් බැඳිලා ඇති.