Followers

Saturday, July 30, 2016

පියාපත් ලැබී . . . 10

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

. . . දසවෙනි කොටස . . .

       දසනායක මහතාගේ නිවසින් රිය මහමඟට ගත්වෙලේ පටන් නාරද අසුරු වේගයකින් ගුවන්තොටුපල වෙත දාවනය කළේය.පාරේ එතරම් වාහන නොතිබුනත් ඔහු ඉතා සීරුවෙන් කල්පනාවෙන් පසුවූවේය.

"මොනවා වුණත් අනුන්ගේ වාහනයක්නේ. නිකන් හරි කොහේහරි ගෑවුනොත් පරක්කුවෙච්ච කතන්දර නෑ." නාරද තමාටම කියාගත්තේය.

තම හැදුනුම්පත පරික්ශා කිරීමෙන් අනතුරුව ඔහු රතය මගීන් පිටවන දොරටුව ආසන්නයට සෙමෙන් දාවනය කළේය. දසනායකගේ දුවව කිසිදිනක තමන් දැක නැතිබව හොඳින් දන්නා නාරද එළියට ඇදෙන සෙනඟ අතර ඇයව සෙවීමට උත්සාහ කළේය.


සෙමෙන් ඉදිරියට එන වාහනය දෙස දෙදෙනෙකු බලන අයුරු දුටු නාරද සෙමෙන් ඉඩ ඇති තැනෙක වාහනය නතර කලේය. දොර හැරගෙන එළියට බැස්ස නාරදට ඔවුන් දෙදෙනාගෙන් දසනායක මහතාගේ දුව කවුද යනවග වටහාගත නොහැකි විය.

         ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


"මොකද මනුස්සයෝ කරන්නේ. කරත්තෙන්ද ආවේ. දහපාරක් ගෙදර යන්න වෙලානේ. තවත් බලාන ඉන්නේ නැතුව අපේ බෑග්ස් ටික දාන්න වාහනේට."

චාමි එකපාරටම නාරදගේ ඇඟට කඩන් පැන්නාය. නාරදට උන්හිටිතැන් අමතක විය. ඔහු කිසිවක් නොකියා කරබාගෙන ගොස් බෑග් වාහනයට පටවන්න විය.


"ඒ පාරමී, කොහොමද මගේ ඇක්ශන්." චාමි හිනැහුනාය.

"පවු බං. අහිංසක කොල්ලෙක්. උඹට එහෙම නොකර ඉන්න තිබුනේ. මොනවා හිතුවද දන්නේ නෑ."

" හරි හරි උඹ ඉඳපන්කො. පොඩි විහිළුවක්නේ කරන්නේ. මම බහිනකොට කියන්නම් විහිළුවට කරපු කියපුව ගනන්ගන්න එපා කියලා. එතකොට හරිනේ. එතකන් පොඩ්ඩක් ඉඳපන්. බයිටක් දෙමු."


හැමදෙයක් දෙසම සැහැල්ලුවෙන් දඟකාර කමින් බලන චාමිට මෙය එතරම් දෙයක් නොවේ.ඒත් ඒ ඇස්වල මොකක්දෝ නොතේරෙන අහිංසක කමක් ගැබ්ව ඇතැයි ඔහුව දුටු වෙලේ පටන් පාරමීට දැනෙන්න වූවාය.

"අපි දන්නෙ නෑනෙ බං මේ මනුස්සයව. අදමයි දැක්කෙත්. උඹ ඒ මනුස්සයව කලබල කරලා ඊට පස්සෙ කොහේහරි ගිහින් ඇනගත්තම මොකද කරන්නේ. දැං බයිට් කරන්න යන්න එපා. සද්ද නැතුව යමං."

හරි හරි ඒකත් ඇත්ත . හාපැටියෙක් වගේ ඉන්න එකේ බයවෙයි තමා. ඇත්තට දසනායක අංකල් කොහෙන්ද බං මේ වගේ මොඩ්ල් හොයාගන්නේ. කවදා හරි මම උඹලගේ තාත්තට කියලා තමා මනමාලයෙක් හොයාගන්නේ." චාමි මහ හයියෙන් හිනැහුනාය.

නාරදට එකපාරට පිටුපස බැළුනි.

"කෑ ගහන්න එපා බං. ඒ මනුස්සයා හිතයි අපි එයාට හිනාවෙනවා කියලා." පාරමී  චාමිගේ අත කෙනිත්තුවාය.

"ඌයි . . රිදුනා බං. මේ අහපං පාරමී, මම නම් පොඩ්ඩක්වත් මේ යන ගමනට කැමති නෑ. පොඩි දුරක් නෙමෙයිනේ බං. උඹ මාව දාල ආයෙ එන්න ඕනෙ තනියම. අනික මූව හරියට දන්නෙත් නෑ. අනේ මංදා . . ."

උඹ බයනැතිව ඉඳින්. මට මුකුත් වෙන්නේ නෑ. දැං පිස්සු නැතුව යමං. මටත් ආසයි ටිකක් වට පිට බලාගන්න. සෑහෙන කාලෙකින් ලංකාවට ආවේ. හැම තප්පරේකින්ම ප්‍රයෝජනයක් ගන්න ඔනේ. උඹලගේ ගෙදරින් තමයි පටන්ගන්නේ මගේ රට වටේ යන ට්‍රිප් එක."

පාරමී පොඩි එකියක් වගේ චාමිගේ අත ගෙන හිනැහුනාය.


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මම හිතන්නෙ මේ උස සැර මිස් වෙන්න ඕනෙ මිස්ටර් දසනායකගෙ දුව. අනිත් මිස් නම් බෝනික්කෙක් වගේ. අහිංසක පාටයි. ලස්සන ඇස්. . .

නාරද බෑග් පසුපසට පැටවීමෙන් පසු සෙමෙන් ගොස් රියදුරු අසුනට බරවුනේය. දැං කෙලින්ම කොහේටද දන්නේ නෑ යන්න ඕනේ. ඕක අහලා ආයේ බැනුම් අහන්න වෙයිද දන්නේ නෑ. කරන්න දෙයක් නෑ. අහමු . . . නාරද පසුපසට හැරුනේය.

"අපි ඉස්සෙල්ලාම කොහෙටද මිස් යන්නේ ?" නාරද පාරමී යයි සිතා චාමි දෙස බලාගෙන ඇසුවේය.

නාරදගේ ඉරියවු වලින් යමක් අවබෝද කරගත් චාමි,
"අපි මේ මිස්ව ගෙදරට බස්සලා එන්න යමු. කුරුණෑගලට."

"මිස් කුරුණෑගලට . . ." නාරද යලිත් ඇසුවේය.

"ඔවු . . ."

නාරද සෙමෙන් ඉදිරිපස දෙස බලා වාහනය මහමඟට ගත්තේය.

"කුරුණැගල යන්න දන්නවද දන්නේ නෑ නේද බං." චාමිගෙන් සෙමෙන් පාරමී ඇසුවාය.

"අනේමංදා බං. ගිහිංම බලමු . . ."


. . . මතු සම්බන්ධයි . . .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴