ඒක මහ පාලු මූසල ගඳ ගහන තැනක් . මම කාටවත්ම දොස් කියන්නේ නෑ මේ තැන මට උරුම වුණු එක ගැන .අපේ අම්මා හරි අහිංසකයි . හිත හොද ගෑනි හැමදාම බඩින් කියන කතාවට මම එකඟ වුණේ ඒ නිසාම නම් නෙවෙයි . මොකද ඒක අම්මගේ වරදක්ම නොවුන නිසා . එතනදි අම්මාගේ වරද වුණේ ගැහැනියක් වීම විතරයි කියලයි මට හිතුනේ . මගේ තාත්තව මම කොයිතරම් දැකගන්න ආසවුණත් ඇහැටවත් දැකලා තිබුණේ නෑ . මට මතකයි පුංචි කාලේ මම අම්මගෙන් තණේ එල්ලිලා කිරි බොනගමන් අහනවා " අම්මේ කෝ තාත්තා " කියලා . ඒ අහන ගමන් මම ඇස් දෙක උස්සගෙන බලන් ඉන්නවා දැං කියයි දැං කියයි කියලා . ඒත් හැමදාම එයා මාව ඉඹලා ඔළුව පැත්තකට හරවගන්නවා . කවදාවත් මට ඒකට උත්තර හම්බුනේ නෑ . සමහර විට එයාටත් මතක නැතුව ඇති . මට කවදාවත් ඔය ප්‍රශ්නෙන් මිදෙන්න බැරිවුණා . මම කලේ ඔය ප්‍රශ්නෙන් හැංගෙන එක .
පොඩිකාලේ ඉඳලම හැමෝගෙන්ම අඩන්තේට්ටම් වෙන්න වුණු නිසා මම හිටියේ ඒ හැමෝගෙන්ම ඈත්වෙලා . මට මතකයි කිරිබොන්න ගියත් නැමෝම මාව පෙරලගෙන ගිහින් කිරිබොනවා . ටික ටික මට හැමදෙයක් ගැනම තිබ්බ ආසාව නැතිවුණා . හැමෝම කාල බීලා ඉවරවෙනකන් ඉන්න මම අන්තිමට ඉතුරුවෙලා තියෙන මොනවා හරි කාල බඩ පුරෝගන්නවා . අපේ පවුලේ මම බාලයලු . හැමෝම මට එහෙමයි සැලකුවේ . සමහරවිට මම ටිකක් ඔතෑනි නිසාත් ඇඟපතින් වැඩි උස මහතක් නැතිනිසාත් වෙන්න ඇති . සමහරු මාව නෝන්ජලයෙක් කියලා පැත්තකට කළා .
ඔය අතරේ දවසක් මම අපේ ලොකු අයියගේ බත් එකෙන් බත් චුට්ටක් කන්න ගියා කියලා එයාට හොඳටෝම තරහගියා . මාත් එක්ක රංඩු ඇල්ලුවා . හැමෝම එක පැත්තකට වුණා . මම තනිවුණා .මාව මගේම උන් පෙරලගෙන කන්න ගත්තා . මම බේරෙන්න එහේ මෙහේ හැමතැනකම දිවුවා . හුන්ඩුවක් වගේ මිදුලේ මට දුවාගන්න බැරිවුණා . අන්තිමට අපිව නවත්තන්න අපිව බලාගත්ත මාමට බට්ටෝ දාන්න සිද්ද වුණා . බට්ටෝ සද්දෙට හැමෝම සීසීකඩ දිවුවා . ඒ වෙනකොට මගේ කකුල දරුණු විදියට තුවාල වෙලා . මට නැගිට ගන්නවත් බැරි තරම් තදට දත් පාර වැදිලා තිබුණා . ඒක අපේ ලොකු අයියගේ කියලා මම හොඳටම දන්නවා . මම යාන්තන් අද්ද අද්ද නැගිටින්න හදනකොට අපිව බලාගත්ත මාම ඇවිත් මාව උස්සලා වාහනේකට දාගත්තා .
ඒකට කියන්නේ ත්‍රීවීල් එකලු . මට වටින් ගොඩින් කතාවෙන් තේරුනේ . මම ඒකේ බිම දිගාවෙලා හිටියේ . හයියෙන් එහෙමෙහෙ යන දේවල් දිහා මම හරි බයෙන් බලාගෙන හිටියා . ඒ හැමදේකම මට ලොකු අමුත්තක් දැනුනා . ඒ එකකටවත් කියන්නේ මොකද්ද කියලා මම දැනගෙන හිටියේ නෑ . මම ඔහේ බලාගෙන හිටියා . මම තුවාලෙන් දැනුන වේදනාවටත් වඩා ඒ දේවල් වලට බයවෙලා හිටියේ . ටිකකින් අපි ගිය වාහනේ නැවැත්තුවා . ඒක අපේ ගේ වගේ නෙවෙයි . හරි විසාල තැනක් .
අපේ ජාතියේ අය ගොඩක් ලස්සන ලස්සන පටි දාගෙන ඉන්නවා මම දැක්කා . ලස්සන ලස්සන කොන්ඩ දාපු ගෑනු ළමයිනුත් ඉන්නවා දැක්කා . හැරිලා බලන්න කොයිතරම් හිත කිව්වත් ගතේ ඒහැටි වාරුවක් තිබුනේ නෑ . ඒකලු මෙහේ තියෙන හොඳම ඉස්පිරිතාලේ . ඒක මම දන්නේ පස්සේ . මාව අරන් ගිහින් තිබ්බා ඇඳක් උඩ .
" කෝ ඔය රෙද්දක් දාලා තියන්න . ඕගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනෙද . . . ? "
මිසී කෙනෙක් මහ හයියෙන් කෑගැහුවා . කොයිතරන් අමාරුවක් , හදිස්සියක් උනත් ඒගොල්ලෝ ඉතින් නීතියටනේ වැඩ . මාව ආයෙමත් උස්සලා ඇඳට රෙද්දක් දාලා ආපහු ඒකෙන් තිබ්බා . කෑගහලා කියන්න හිතුනා අනේ දෙයියනේ මට රිදෙනවා කියලා . ඒත් කටින් ඒ වචන පිටවුනේ නෑ . කොයිතරම් රිදුම් දුන්නත් මම කරන්න දෙයක් නැතිකමට ඉවසගෙන හිටියා . ඒ අතරේ මට දැනුනා කවුදෝ කෙනෙක් හරි හදිස්සියෙන් මොනවදෝ කරනවා . මම හැරිලා බලන්න හදත්දි එතන හිටපු මිසී මාව හයියෙන් ඇඳට තියලා තද කළා . ඒක මට තුවාලෙට වඩා රිදුනා . කටුවක් කකුල ඇතුලටම කිඳාබහිනවා දැනුනා . හැමදේම කැරකෙන්න ගත්තා . නිලංකාරවුණා . හැමදේම ඉවරයි . මට දැනුනා . . . මට මතක එච්චරයි .
ටිකවෙලාවකින් බලද්දි මාව එක්කන් ආපු මාමා මගේ ඔළුව අතගගා හිටියා . එතකොටයි මට තේරුම්ගියේ මම මෙච්චරවෙලා සිහිනැතිකරලා ඉඳලා තියෙන්නේ කියලා . මගේ ඇඟට මොකද්දෝ කට්ටක් ගහලා තිබුණා . ඒකෙන් මොනවදෝ වතුරක් බින්දු බින්දු මගේ ඇඟට කාන්දුවුණා . ලොකු සුදු ඇඳුමක් දාගත්ත කෙනෙක් මගේ ලඟට ඇවිත් මා දිහා බලලා " දැන් හොඳයි , ඉක්මනට ගෙදර ගියෑකි " කියලා කිව්වා . මට ඒ නෝනට ස්තූති කරන්න ඕනේ වුණා . ඒත් එක වචනයක් පිට කරන්නත් කලියෙන් මාව එක්කන් ආපු මාමා බොහොම ස්තූතියි ඩොක්ටර් කිව්වා . මට ඕනේ වුනේ එහෙම නෙවෙයි . මං වෙනුවෙන් කරපු උපකාරේට කඳුළු පුරෝගෙන පිංදෙන්නයි මට ඕනේ වුනේ . මම හිටියේ ඒතරමට කියාගන්න බැරිතරම් වේදනාවකින් . ඒ වේදනාව නැතිකරපු දොස්තර නෝනව මට පෙනුනේ දෙවිකෙනෙක් වගෙයි . මගේ කකුල තදට වෙලලා තිබුණා . මම නැගිටින්න හැදුවට තවමත් මට වාරුවක් නෑ . ඇඟට පන නැ . තොල කට වේලිලා තිබුණා . අමාරුවෙන් කට ඇරලා දිව එලියට දාපුවහම ඒ දැකලා ඒ දොස්තර නෝනා මොකද්ද බටේකින් මගේ කටට වතුර වගයක් විද්දා . හරි තිත්තයි . ඒත් මොනවා කරන්නද . පිපාසෙට මම සේරම බිව්වා .
අපි ගෙදර එනකොට හොඳටම ඇඳිරි වැටිලා . මට හිතුනා මගේ ජීවිතෙත් මොනතරම් අඳුරුවෙලාද කියලා . මාව උස්සගෙන ගිහින් කෙලවරේම තිබුණු කාමරයකින් තිබ්බා . මට ඇහුනා එක එක්කෙනා එක එක කතා කියනවා . මට ඒ එකකටවත් උත්තර දෙන්න කිසිම වුවමනාවක් තිබ්බේ නැ . ලොකු අයියා මාව දැකලා බිම බලාගත්තා මිසක් මා දිහා බැලුවේවත් නෑ . මම එතනින් එහාට හිතන්න ගියේ නැ . රිදෙන හිත වාකුල් කරගෙන මම නිහඬවම පැත්තකට වුණා . ඇඟේ අමාරුවටද කොහෙද මට වැටිච්ච තැන එහෙම්මම නින්ද ගියා . මම හීනෙන් එක එක දේවල් දැක්කා . මම ඇහැරෙද්දි දැක්කා අම්මා මම දිහා බලාන ඉඳලා යන්න හදනවා . මට කියන්න හිතුනා අම්මේ පොඩ්ඩක් මගේ ලඟට වෙලා ඉන්න කියලා . ඒත් මම එයාගේ අලුත් ස්වාමිපුර්ශයාව දැක්ක හැටියම ඒ වචන ටික ආපහු ගිලගත්තා .
ඔහොම ටික කාලෙකින් මගේ කකුල හොඳවුණා . ඒත් තුවාල වුණු කකුල අනිත් ඒවට වඩා ටිකක් කොටයි කියලා මට ඇවිදිද්දි තේරුණා . මම ඒ ගැන හිතන්න ගියේ නෑ . මම හැමෝගෙන්ම ඈත්වුණා . ඔහොම කලක් යනකොට අපේ පවුලෙන් ඉතුරුවෙලා හිටියේ මමයි අම්මයි විතරයි . අනිත් හැමෝවම එක එක්කෙනා හදාගන්න අරන් ගිහින්ලු . මට තවත් මහා පාලුවක් දැනුන . මම අම්මා දිහා සමහරදාට ඔහේ බලන් ඉන්නවා . ඒත් කවදාවත් එයා මා එක්ක වචනයක්වත් කතාකලේ නෑ .
දවසක් අපිව බලාගත්ත මාමා අපි හිටපු තැනට ගැටිස්සියෙක් ගෙනල්ල තිබුණා . ඇත්ත , මමත් හොරෙන් වරු ගනන් බලාන උන්නා . මාමා මට එයා ඉන්න පැත්තපලාතට යන්න දුන්නේ නෑ . දවසක් දෙකක් මාව ගැටගහලත් තිබ්බා . මට ලොකු දුකක් දැනුනා . මම ආයේ එයා දිහා බලන්න ගියේ නෑ . ටික දවසක් යද්දි අම්මා පේන්න හිටියේ නෑ . මට පස්සේ තේරුනේ අම්මගේ තැන පුරවන්න තමයි ඒ ගැටිස්සි ඇවිත් තියෙන්නේ කියලා . මම අම්මව හැමතැනම පිස්සු හැදුනු ගානට හෙව්වා . මම අම්මේ කියලා කෑ ගහලා අඬගැහුවා . ඒත් එයා ආවේ නෑ . මම දවස් ගානක් හැමතැනම කෑගගහ හෙවුවා . මම අම්මව බැලුවේ නෑ නේද කියලා මගේ හිතට ලොකු පසුතැවීමක් දැනෙන්න ගත්තා .
" මූ නිකන් කකා බිබී ඉන්නවා මෙලෝ වැඩකට ඇති එකෙක් නෙවෙයි . අඩුම තරමේ රෑට නිදියන එක නිදියන්න දීපන් . ඒත් නෑ. වදකාරයා . "
දවසක් රෑ මාමා මම කෑගහන සද්දෙට මට හොඳටෝම ගහලා ගේට්ටුවෙන් එළියට දැම්මා . මම නොදුටු නුපුරුදු ලෝකෙක තනිවුණා . සමහරදේට මම ගොඩාක් බයවුණා. නොදන්න පාරවල් දිගේ මම ඔහේ ඇවිදගෙන ගියා . සමහරුන්ව දකිද්දි මම ගොඩාක් ඈතින් ගියේ . ඒ අය මාව දකින්න , මම එනවට අකමැතියි කියලා මට දැනුනා . සමහරු නම් මට ගොඩාක් අනුකම්පා කළා . තවත් සමහරු මාව දැක්ක තැන එලෝගත්තා . මම ඉබාගාතේ ඔහොම යනකොට හදිසියේම දැක්කා කවුදෝ පාරේ වැටිලා ඉන්නවා . කාටමුත් කරදරයක් නේද කියලා මම කොරගගහා දුවගෙන ගියා . ටික ටික ලංවෙනකොට මම දැක්ක දෙයින් මට ඇස් අදහාගන්න බැරිවුණා . දෙයියනේ අම්මා නේද . මගේ ඇස්වලට කඳුළු පිරුණා . අම්මගේ හෝපොතුගැහුණු බඩ දිහා මම බලාගෙන හිටියා . කඳුළු දෝරේගියා . මට කෑගැහුන . මම අම්මව ඉඹගෙන ඉඹගෙන ගියා . වැඩිවෙලාවක් ඉන්න හම්බුනේ නෑ . මගේ බෙල්ලට තොන්ඩුවක් වැටුණා. මම බේරෙන්න දැඟලුවා . ඒ තොන්ඩුව මගේ කටත් වහගෙනයි වැටිලා තිබුනේ . උදවු ඉල්ලන්න කෑගැහුවත් එකවචනයක්වත් පිටවුනේ නෑ . ඒ එක්කම කට්ටක් මගේ ඇඟට කිඳාබැස්සා මට තේරුණා . ටික ටික මගේ බෙල්ලට තදවුණු පටිය ලිහිල්වුනා . ඈතට දුවල හැංගෙන්න ඕනේ වුණත් දුවගන්න බැරිවුණා . හැමදේම කැරකෙන්න පටන් ගත්තා . බොඳවෙලා ගියා . වාකුල් නැති කකුල් මාව අම්මා ලඟම ඇද්ගෙන වැට්ටුවා . මම අම්මා දිහා ඔහේ බලාගෙන හිටියා . " මේ ලෝකේ අපේ නෙමේ අම්මේ . අපි ගොඩක් පවු කරලා ඇති . " මම ලොකු හුස්මකින් මගේ කතාව අහසට පාකළා . මම හිතුවේ නෑ හීනෙකින්වත් ඒ හුස්ම මගේ අවසන් හුස්ම වෙයි කියලා . . .
බොහොම සංවේදී භාෂා විලාශයකින් හා චිත්තරූප මැවෙන ආකාරයේ ගලායාමේ ක්‍රමවේදයක් භාවිතාකරමින් සරල හා නිර්ව්‍යාජ සිතුවිල්ලකින් ලියලා තියනවා..අගය කරනවා මේ ප්‍රයාමය..බොහොම ලස්සනයි..
ReplyDeleteඅග හරියට යනකම් ම කතාවෙ උත්ප්‍රාසය රැක ගැනීම ම අගය කළ යුතු කාර්යයක්.. අපූරුයි. භාෂා විලාශයත්, ඉදිරිපත් කිරීමේ රටාවත් අපූරුයි. ඒ වගේ ම නැවුම්...!!
ReplyDelete@ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර & Indranatha Thenuwara :
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ඔබ දෙපලටම . . .