Saturday, January 21, 2017

පියාපත් ලැබී . . . 26


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිහයවෙනි කොටස . . .

" අපි යමු නේද ? මේරි අම්මා බයවෙලත් ඇති. " නාරද කිව්වේය.

" මේරි අම්මා නෙමේ මෙයා බයවෙලා වගේ ඔක්කෝටම වැඩිය. " පාරමී සිතුවා මිස නොකීවාය.

" යමු . . . ඒත් ඔහොමද නිදාගන්න හදන්නේ. "

" හෙට උදේ යන්නත් බලාගෙන ඇඳගත්තේ තව පැය කීයද තියෙන්නේ. මෙහෙම යමු. " නාරද කීවේය.

" හ්ම් . . . "

නාරද ඇනෙක්ස් එකේ ලයිට් සියල්ල නිව්වේය. ඉන් පසු දොර ලොක්කර වාහනයට නැග්ගේය. කාරියවසම් පෙනෙන්නට නැත. යලි කතාවට හසුවුනොතින් ගැලවීමක් නැතිවෙයි. නාරද ඉක්මනින් වාහනය එළියට ගත්තේය.

" තාත්තට දැන් මොකද දන්නේ නෑ නේද නාරද ? "

දැන් හොඳට නිදි ඇති. ඩොක්ටර් කිව්වනේ නින්ද යන්න බේත් දෙනවා කියලා. "

" මට තාත්තා ගැන පවු කියලා හිතෙනවා නාරද. එයා මම වෙනුවෙන් තමයි එයාගේ හැමදේම කැපකළේ. අම්මා නැතිවුණ දා ඉදලා මට එයා අම්මයි තාත්තයි දෙන්නම වුණා. කවදාවත් මට බැනලා නෑ. මම ඉල්ලපු හැමදේම මට දුන්නා. දැන් මට ඕන තාත්තා සතුටින් ඉන්න එක විතරයි. " පාරමී කියාගෙන ගියාය. 


" මටත් එහෙම තමයි. මගේ පවුල අන්ත අසරණ තත්වෙට ඇද වැටිලා ඉන්නකොට ඔයාගේ තාත්තා තමයි මට රස්සාව දීලා අද මේ තත්වෙට එනකන් මාව ගොඩනැගුවේ. එයා මට රස්සාව නොදුන්නනම් සමහරවිට මම කොහේ හරි කුලී රස්සාවක් කරනවා වෙන්න පුළුවං. ඔයාගේ තාත්තට මම ණය ගැතියි. ඒ වෙනුවෙන් මට එයා ඉල්ලන ඕනම කැපවිමක් කරන්න පුළුවන්. "

නාරද සියල්ල එකතුකර කීවේය. ඉන් කියවෙන සියල්ලම දෙදෙනාම තේරුම් ගත්තෝය. දැන් තමන්ට වඩා තම වගකිම්වලට වැදගත් තැනක් දියයුතුව ඇති බව දෙදෙනාම වටහාගත්තෝය.
නිවසට වාහනය පැමිනෙන විට මේරි අම්මා දොරකඩට වී හිඳගෙන උන්නාය.

" මොකද පුංචි බේබි වුනේ. කෝ ලොකු මහත්තයා " මේරි අම්මාගේ දෙනෙත් කඳුලින් බොඳවි තිබුනේය. ඒ අසත්ම පාරමීගේ ද නෙත් තෙත්වන්නට ඇත.

" දැන්නම් අමාරුවක් නෑ කිව්වා මේරි අම්මේ. උදේට බලන්න එන්න කිව්වා. දැං නින්දයන්න බේත් දීලලු තියෙන්නේ. " පාරමී තතු පැවසුවාය.

" දෙයියනේ කුරා කූඹියෙකුටවත් වරදක් කරන්න නොහිතන අපේ මහත්තයටම මේ දේවල් වෙන්නේ මොකද මන්දා. " මේරි අම්මා විස්සෝප වුණාය. නාරද හෙමින් සැරේ ඩ්‍රයිවින් සීට් එක නවාගත්තේය. එකවරම නාරදගේ දොර හැරුනි.

" ඇයි මේ බහින්නේ නැත්තේ. එන්න ගෙට . . " පාරමී නාරදට කතාකළාය.

" නෑ මම මෙහෙම ඉන්නම්. ඔයා ගිහින් නිදාගන්න. " පාරමී මුහුණ බේරිකරගත්තාය. 

" මාව තවත් අඬවන්නද ඕන ඔයාට. අනේ ප්ලිස් එන්න ගෙට. " නාරද ඈ දිහා බලාගෙන උන්නේය.

" ප්ලීස් . . " ඈ තවත් වරක් කීවාය.

නාරදට අවනත වනු මිස කිරිමට කිසිවක් නොතිබුණි.

" එහෙනම් මම පුටුවකට වෙලා ඉන්නම්. දැන් ගිහින් නිදාගන්නකෝ. " නාරද සුදු මුහුනෙන් ඇස් ඉවතට ගන්න ලෝබකමේ කීවේය. 

" නෑ එහෙම බෑ . . " මේරි අම්මා මේ මහත්තයට විසිටර්ස් රූම් එක ලෑස්ති කරලා දෙන්න ඉක්මනට. "

" අනේ එහෙම ඕන නෑ මේරි අම්මා. තව පැය කීයද තියෙන්නේ. මම මේ පුටුවට වෙලා ඉන්නම්. "

" ඒ වුනාට ඔහොම හිටියහැකියැ මහත්තයා. මහත්තයටත් මහන්සි නැතෑ. "

" මේරි අම්මා මම කියන දේ අහන්නකෝ. ගිහින් හදන්න. " පාරමී එසේ කියාගෙන උඩට තරප්පු පෙල දීගේ දිවගියාය.

" අපේ පුංචි බේබිට එහායින් ලොකු මහත්තයාවත් යන්නේ නෑ. " මේරි අම්මා සිනාසි සාලයේ පැත්තට ගියාය. උඩට ගිය පාරමී ටික වෙලාවකින් පහලට ආවේ යමක් අතේ ඇතිවය.

" ආ . . . මේක ඇඳගෙන නිදාගන්න. මේක අලුත් එකක්. බය නැතිව අදින්න. " ඇය සිනාසෙමින් කීවාය.

" ඕන නෑ. මෙහෙම ඉන්නම්. "

" කියන දේ අහන්නකෝ ඉතින්. මේරි අම්මා . . . . මේරි අම්මා . . . හරිද . . . "

" හරි බේබි. "

" එන්න යමු . . . " පාරමී ඉස්සර වුණාය. 

එය කුඩා නැති විශාලත් නැති හුරුබුහුටි කාමරයකි. ඇතුල්වූ පසු හිතට සෞම්‍යයක් දැණුනි.

" ලස්සන කාමරයක් " නාරද කීවේය. 

" හ්ම් . . " මමත් මගේ කාමරයට පස්සේ වැඩියම ආස මේ කාමරේට. හරි සැහැල්ලුවක් දැනෙනවා. " නාරද සිනාසුනේය.

" එහෙනම් නිදාගන්න. " තුරුළුකරගෙන හුන් සරම නාරද අතට දෙමින් පාරමී කීවාය. පාරමීත් මේරි අම්මාත් කාමරයෙන් පිටවුනෝය.




. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Saturday, January 14, 2017

පියාපත් ලැබී . . . 25


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිපස්වෙනි කොටස . . .


" ඔයා තවත් මට මිස් මිස් ගානවනේ. " පාරමී දුකෙන් මෙන් නාරද දෙස බැලුවාය.

" හ්ම්. කියා සුසුමක් හෙලු නාරද නිහඬ වුනේය. ඉන් පසු දෙදෙනා අතර වැඩි කතාවක් ඇති නොවුනි.

" ඔයා කාලද ඉන්නේ. " නාරද පාරමීගෙන් ඇසුවේය.

" කන්න බෑ. එතකොට ඔයා. "

" මටත් බඩගින්නක් නෑ. "

" එහෙම කරන්නෙපා. අපි දෙන්නම මොනවාහරි කාලා යමු එහෙනම්. "

" මොනවද කන්නේ . . ? "

" අපි ආප්ප කමු . . "

නාරද කන්න පිරියක් නොතිබුනත් ඇයට එකග වූයේ පෙරදාක සිදුවූ සිදුවිම මෙනෙහි කරමිනි. පාර අසල රෑ කඩයක් ඉදිරියේ නැවත්තු නාරද පාරමී දෙස බැලුවේය.

" මෙතන ඉදගෙන කනවද. ගිහින් කනවද ? " පාරමී මදක් සිතුවාය.

" ම් . . . අපි නාරදගේ බෝඩිමට යනවා නේද ? එහෙ ගිහිං කමු . . " නාරද කිසිවක් නොකීවේය. බිත්තර ආප්ප දෙකකුත් ප්ලේන් ආප්ප පහකුත් ගත් නාරද නිකමට වාහනය දෙස බැලුවේය. පාරමී වීදුරුවට මුහුණ තබාගෙන තමන්දෙසම බලා සිටින අයුරු නාරද දුටුවේය. ආප්ප වලට මුදල් ගෙවූ නාරද යලි වාහනය වෙත ගියේය.

" ඔයා පවු නාරද. අපි හින්දා නිකන් මහන්සි වෙනවා. "

" මොන මහන්සියක්ද. මට මහන්සි නෑ. නාරද හිනැහෙමින් පැවසුවේය.

" ඔයාට ඊට පස්සේ ප්‍රශ්නයක් වෙයිද දන්නේ නෑ මන් එක්ක ගිහිං.

" ඇයි මට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද . . ? "

" නෑ ඉතින් ඔයාගේ ගර්ල් කවුද අර කමනි දැනගත්තොත් ඔයාට බනීනේ. "

" මට ඇති ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ. " නාරද කිව්වේය. එහෙනම් මෙයා මේක තමයි මේච්චර වෙලා කල්පනා කරන්න ඇත්තේ. නාරද හිනැහුනාය.

" ඇයි හිනාවෙන්නේ. එහෙනම් අර අසිත කිව්වේ. "

" ඌට පිස්සුනේ. " නාරදට යලිත් හිනා ආවේය.

" හ්ම් එයා මාව ජෝක් එකට අරන්නේ. " පාරමී නාරදටත් රැව්වාය.

" ඇයි මොකටද ජෝක් එකට ගන්නේ. " නාරද යලිත් ඇසුවේය. 

" නෑ. නෑ. මුකුත් නෑ. " පාරමි කතාව නවතා බිම බලාගත්තාය. හ්ම් අසිතයාගේ කතාව හොඳට වැදිලා වගේ. පව්, නාරදට සිනා නැගුනි. පාරමී හොරැහෙන් නාරද දෙස බලා උන්නාය. බොරුද කොහෙද මෙයාගේ. ශූවර් එකට අර කෙල්ලත් එක්ක අෆෙයාර් එකක් ඇති. එක්කෝ ඒ කෙල්ල මෙයාගේ පස්සෙන් හරි එනවා ඇති.

" ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑනේ. " පාරමී සෙමෙන් කිව්වාය. නාරදගේ සිනහව තවත් පලල් වුණි.

" මේ එන්න එපා මාව විහිළුවට ගන්න. " පාරමී නාරද දෙස බලාගෙන කීවාය. ඒ ඇස්වල කඳුළුය. 

" සමාවෙන්න. ඇයි මේ අඬන්නේ. මම ඇත්තමයි කිව්වේ. ඒක ගැන හිතන්න එපා. බුදුන් පල්ලා මගෙ එහෙම සම්භන්ධයක් නෑ. " නාරද අවංකවම කීවේය. පාරමීගෙ සිතට ඉන් සහනයක් දණුනි.

" ඉතින් මට මොකද ? කෙල්ලෙක් හිටියයි නැතැයි කියලා මොකද අපිට වාසියක් වෙනවායෑ. " පාරමී ජනෙල් වීදුරුවෙන් එළිය බලාගෙන හොරෙන් හිනැහුනාය.

" හ්ම් . . . " නාරද කිසිවක් නොකියා ඉදිරිපස බලාගෙන වාහනය පැදවුවේය. සැරයක් දෙසැරයක් පාරමී දෙස බැලුවද ඈ ඉවත බලාගෙනම උන්නාය. මට මොකද අහක බලාගෙනම උන්නාවේ. නාරද සිතින් තමන්ටම කියාගත්තේය. කිහිපවරක් නාරද තමන් දෙස බලනු කණ්නාඩියෙන් දුටුවත් ඔහු දෙස බලන්න පාරමීගේ හිතට ධෙයිර්යයක් නොවීය. විටෙක තමන්ට පිස්සු හැදීගෙන එනවාදැයි දෙදෙනාම සිතුවෝය. තම තමන්ගේ තරාතිරම් සහා නොගැලපීම් වුනත් හොඳින් වටහාගත්තෝය. නමුත් සියල්ල කාලයට ඉඩදී බලාසිටීමට දෙදෙනාම සිතුවෝය.

    
" මිස් පාරමී , නිදාගන්න එහෙම එපා ඇඟිලි උර උර. මට අදත් උස්සගෙන තමයි යන්න වෙන්නේ. "


" එන්න එපා ඕවට. හරි නරකයි. පාරමී නාරද දෙස බලා අත එසවුවාය. " නාරද සිනාසෙමින් ඇගේ පහරින් බේරුනේය. .

" මම නිදියන්නෙ නෑ. කෝ ඔයාගේ ගෙදර තව දුරද ? " 

" නෑ දැන් ලඟයි. ඒක මගේ කිව්වට පොඩි ඇනෙක්ස් එකක්. " නාරද කිව්වේය.

පාරමී කිසිවක් නොකීවාය. නාරද ගේට්ටුව ඉදිරිපස රථය නවතා ඉන් බැස ගේට්ටුව හැරියේය. ඉන්පසු වාහනය වත්ත තුළට ගත්තේය. වාහනයේ සද්දයට නිවසේ හිමිකරු වන කාරියවසම් ඔහුගේ නිවසේ දොර හැරගෙන පැමිණියේය.

" ආ මම මේ බැලුවා කවුද කියලා. " කාරියවසම් නාරද දෙසත් වාහනය දෙසත් පාරමී දෙසත් බලමින් පැවසුවේය.

" මේ අපේ නෑදෑ කෙනෙක්. මෙයාගේ තාත්තට සනිප නැතුව ඉස්පිරිතාලේ නතරකළා. මම මේ ඇදුමක් දාගෙන යන්න ආවා. ලඟ නවතින්න. " නාරද බොරුවක් ගෙතුවේය. 

" ඒක මිසක් එතකොට මේ දැරිවි. " කාරියවසම් පාරමීගේ උඩසිට පහලටම බැලුවේය. ගෙදරට හුන් කොටකලිසම පිටින්ම පාරමී හුන් නිසාවෙන් කාරියවසම්ගේ ඇස්දෙක දහදොලිස් වතාවක්ම පාරමී වටේ රීටුවේය.

" මගේ නංගි කෙනෙක්. වොශ් රූම් යන්න ඕනේ කියලා ආවේ. දැං යනවා. " නාරද පිළිතුරු දෙමින් ඇනෙක්ස් එකේ දොර හැරියේය.

" එන්න නංගි. වැඩි සැප පහසුකම් නම් නෑ ඔයාලට වගේ. " නාරද කාරියවසම්ට ඇසෙන සේ කියාගෙන නිවස තුළට පැමිණ පාරමීවත් ඇතුලට ගෙන දොර වැසුවේය.

" ඔය මනුස්සයා හෙන චීත්තයක් ඉන්න මම ටක්ගාලා වෝශ් එකක් දාගෙන එන්නම්. " 

පාරමී කාමරයේ තිබු පුටුවක හිඳගත්තාය. නාරද තම අඩුම කුඩුම සේරම එකවර ගෙන නානකාමරයට ගියේ එකවර ඇඳගෙනම එන්න සිතාගෙනයි. කාමරය පිරිසිදුව පිළිවෙලට තබාගෙන ඇත. පාරමී කාමරයේත් කුඩා කුස්සියේත් ඇවිද බැලුවාය.

" නෝනා මහත්තයා චෙක් කරනවද . . . නාරද පසුපසින් පැමිණ ඇසුවේය.

" මම මේ වතුර ටිකක් බොන්න බැලුවේ. " පාරමී ගොත ගසමින් කීවාය.

" ඉන්න මම ගේන්නම්. ආප්පටික නිවිලද දන්නේත් නෑ. "

නාරද වතුර බෝතලයකුත් විදුරුවකුත් ආප්පත් ගෙනැවිත් මේසය මත තැබුවේය. 

" එන්න කමු. " නාරද පාරමීට කතා කලේය.


" ඔයා උයාගෙනද කන්නේ. " පාරමී කුඩා කුස්සිය දෙස බලමින් ඇසුවාය.

" ඉඳලා හිටලා නිවාඩුවක් ලැබුනොත් උයනවා. "

නාරදත් පාරමීත් දෙදෙනාම ආප්ප සියල්ලම ගිලදැමුහ. පාරමී රතුවී දාඩිය දමමින් සිටියාය.

" ඒ කියන්නේ රහට උයන්න පුළුවන් ඇති නේද ? "

" එච්චරටම බෑ. යන්තම් ගහගන්න දන්නවා . . "

නාරද ෆෑන් එක ඔන් කර පාරමී දෙසට හැරවූවේය. 

" වතුර . . . " පාරමී ඇස් උඩතියාගෙන කියුවාය.

" ඉන්න මම දාලා දෙන්නම්. " කෙහෙද ලුණූ මිරිස් ටික සේරම කෑවනේ.

" ම් . .  දැවිල්ලයි. සීනි ටිකක් . . "

නාරද සිනාසුනේය. පොඩි කෙල්ලෙක් වගේ. නාරදගේ සිතට පාරමී ගැන ආදරය වැඩියෙන් දැනෙන්න වුවේය. නමුත් ඔහු සිත පාලනය කරගැනීමට වගබලාගත්තේය. නාරද සිනී ටිකක් ගෙන පාරමීගේ කට තුළට දැම්මේය.


" අම්මෝ නිවන් ගියා වගේ . . . " පාරමී හතිදැම්මාය.






. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Friday, January 13, 2017

නසරූදින්ගේ කවට . . .



නසරූදින්ගේ කවට . . .


නසරුදින් බොහෝ කලකට පෙර මැද පෙරදිග වසන ලැදැයි සැලකෙන පුද්ගලයෙකි. ඔහු මෙළොව එළිය දුටුවේ තුර්කියෙහි එස්කිෂර් නැමති ග්‍රාමයේ යැයි ප්‍රකටය. මුස්ලිම් පූජකයන් අතර උපදේශ කතාවන් ලෙසින් මේ කවටයාගේ කියුම් අදටත් භාවිතාවේ.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

කථා . . .


දිනක් නසරුදීන්ගේ නිවසෙහි සාදයක් තිබුණා. එදා කෑමට ඔහු සිය බිරිඳ අතට මස් තොගයක් ගෙනත් දුන්නා. ඉවුවට පස්සේ මස් වලින් මොන තරම් රස පුසුඹක් හැමුවද කිව්වොත් නසරුදීන්ගේ බිරිඳ මස් හට්ටියම ගිල්ලා. මස් ටික බළලා ගිල දමලා කියලා ඈ නසරුදීන්ට ඇඟෙවුවා.

ගෙනාපු මස්වල බරට පඩියක් තරාදියට දාපු නසරුදීන් අනෙක් පැත්තට පූසව තියලා උගේ බර බැලුවා. දෙපැත්තේම බර එක සමාන විත්තිය දැක්ක නසරුදීන් ගෑනිගෙන් මෙහෙම ඇහුවා.


" මේ අහපන් යෝදියේ ! මූ බළලා නං කෝ මස් ? මූ මස් නං කෝ බළලා. "




෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


නසරුදීන්ගෙන් දවසක් මිතුරෙකු වයස විමසුවා.


" හතළිහයි "


" ඇයි ඕයි. මීට අවුරුදු දෙකකට ඉස්සරදීත් තමුසෙට හතළිහයිනේ ? "


" ඔවු , ඔවු . .  මගේ නෑනේ ඔය වචන දෙකක් . . "





෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



" දවසක් මම කාන්තාරේදී මිනී මස් කන මහ නපුරු මිනිස්සු රංචුවකට දුවන්න වැඩක් දුන්නා . . " යි, නසරුදීන් පාරම් බෑවේය.

" ඇත්ත කියනවා නසරුදීන්. තමුසේ කොහොමද එච්චර වැඩක් කළේ. "


" මුලින්ම මම දුවන්න පටන් ගත්තා. ඒක දැක්ක උන් මං පස්සේ පන්නන්න පටන්ගත්තා. "



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



" අහසේ හඳ තිබුණේ නැතිනම් අපි ඉඳලා ඉවරයි. "

" ඒ මොකද නසරුදීන් . . ? "


" ඇයි මෝඩයෝ. දවාලට කොච්චර එළිය තිබුණත් හඳ නැති දාට රෑ පාරක් තොටක් හොයාගන්නවත් පුළුවන්ද . . . ? "




උපුටා ගැන්ම - ප්‍රදීපා සඟරාව ( 1984 - පෙබරවාරි )

Thursday, January 12, 2017

පියාපත් ලැබී . . . 24


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිහතරවෙනි කොටස . . .

" අපි යමු අසිත. " නාරද යලිත් කීවේය.

"  පුංචි බේබී . . . අනේ මහත්තයා. අනේ පුංචි බේබී . . . ඉක්මනට එන්න . . . " ගෙතුලින් මහත් හඬින් මේරි අම්මා කෑගැසුවාය.

" ඇයි මේරි අම්මා ඇයි . . . . " පාරමී දුව ගියාය.

" අනේ පුංචි බේබි, ලොකු මහත්තයා මම එනකොට පඩිපෙළ ලඟ වැටිලා හිටියා. "

" තාත්තා. තාත්තා . . . . " පාරමීද මහ හඬින් කෑගැසුවාය.

" ඇයි මේ ඇයි . .  සර් කතාකරන්න සර් " නාරදත් අසිතත් ඔසවාගෙන පැමිණ දසනායකව සෙටියක් උඩින් තැබුවේය.

" ටක් ගාලා වතුර එකක් ගේන්න අසිත. " ගෙතුළට දිවගිය අසිත විගසින් වතුර වීදුරුවක් ගෙනාවේය. වතුර බිඳු මුහුණට ඉස්සත් දසනායකගෙන් ප්‍රතිචාරයක් නැත.

" නාරද අපි හොස්පිටල් අරන් යමු. " 

" අනේ මගේ තාත්තට මොකද නාරද " පාරමී කදුළු පුරෝගෙන ඇසුවාය.

" අපි හොස්පිටල් අරන්යමු. අසිත වෙහිකල් එක ගන්න මම සර්ව උස්සගෙන එන්නම්. " නාරද දසනායකව දෝතින්ම ඔසවා ගත්තේය. ඔසවාගෙනවිත් පසුපස අසුනේ සෙමෙන් ඔහුව තැබුවේය. 

"මේරි අම්මයි පාරමී මිසුයි ගෙදර ඉන්න අපි ගිහින් එනකන්. "

" බෑ බෑ මාත් එනවා . . " පාරමීත් පසුපස අසුනට ගොඩවුණාය. නාරද දසනායකගේ හිස ඔඩොක්කුවේ තබාගත්තේය. අසුනේම අයිනක පාරමීත් හඬමින් උන්නාය.

" අපි ඉක්මනට යමු අසිත අයියේ. අනේ මගේ තාත්තා . . . එයා කාටවත් වරදක් කරලා නෑ. අනේ තාත්තේ කතාකරන්නකෝ. අනේ නාරද ඇයි තාත්තා කතා කරන්නේ නැත්තේ . . "

නාරද පාරමීගේ අතින් අල්ලාගත්තේය.

" බය නැතිව ඉන්න. තාත්තට මුකුත් වෙන්නේ නෑ. " නාරද පාරමී අස්වැස්සුවාය.

" අපි කොහෙටද යන්නේ නාරද " අසිත ඇසුවේය.

" අපි යමු ඩොක්ටර් වික්‍රමසිංහ ලඟට. පාරමී ඩොක්ටට කතාකරන්න. " ඔයා ලඟ නම්බර් එක තියෙනවා නේද ? "

ඔවු කියූ පාරමී දුරකතනය නාරද අත තැබුවේය.

" හෙලෝ ඩොක්ටර් වික්‍රමසිංහ. මම කතාකරන්නේ අර දවල් ඩොක්ටර් හම්බවෙන්න ආවේ මිස්ටර් දසනායකත් එක්ක ආපු නාරද. මිස්ටර් දසනායකට පොඩ්ඩක් අමාරු වුණා. ඩොක්ටර් ඉන්නවා නේද ? "

" ඔවු, ඔවු. ඉන්නවා. පුළුවන් ඉක්මනට ලෙඩා අරන් එන්න. "

" හරි ඩොක්ටර් හරි. අපි මග ඉන්නේ. ඉක්මනින් එන්නම්. "

අසිත වාහනය හැකිතරම් වේගයෙන් පැදවූයේය. ඩොක්ටර් වික්‍රමසිංහගේ පෞද්ගලික රෝහලවෙත යනවිට ඔහු සියල්ල ලකලෑස්ති කොට තිබුණි. රෝහලේ කාර්යමණ්ඩලය රෝහලේ දොරකඩදීම රෝගීයාට ප්‍රතිකාර කිරිමට පටන්ගත්තේය. ඩොක්ටර් වික්‍රමසිංහ ලෙඩාගේ තත්වය පරික්ෂා කරමින් අවශ්‍ය නියෝග දෙමින් ශල්‍යගාරය වෙත රෝගියාව රැගෙන ගියේය.

" ඕගොල්ල ඔතනින් නවතින්න. " නර්ස් කෙනෙක් කාරුණිකව පැවසුවාය.

" බයවෙන්න එපා මිස් පේශන් ගැන සේරම අපි බලනවානේ. මිස් බයනැතිව ටිකක් රිලැක්ස් වෙන්නකෝ. "

පාරමී නාරදගේ අතේ එල්ලීගෙන දසනායකව රැගෙන ඇතුළුවුණු කාමරය දෙසම බලාසිටියාය. ඇයට ඉකිබිඳුනි. නාරදගේ මුළු හිතම කඩාවැටී තිබුණි. අඬන්නෙපා කියා තුරුළුකර සනසවන්න සිතුනත් නාරද තම හැඟීම් පාලනය කරගත්තේය.

" අනේ නාරද " පාරමී ඉකිගැසුවාය.

" අඬන්න එපා. ඔයාගේ තාත්තට මුකුත් වෙන්නේ නෑ. බයනැතිව ඉන්න. නාරද පාරමීගේ අත මිරිකමින් කීවේය. " පාරමී තම ඇඟට වාරුවී හඬමින් සිටියි. අසිත වාහනය පාක්කර පැමිණියේය.

" මොකද නාරද වූනේ. . . "

" ඇතුලට ගත්තා. තාම මුකුත් කිව්වේ නෑ. " 

" නාරදගේ අත බදාගෙන හඬන පාරමී දුටු අසිතට කුමක් කියා සනසවන්න දැයි සිතාගත නොහැකි වුණි. නාරද හෙමින්සැරේ පාරමීව ලඟතිබූ පුටුවක ඉන්දවුවේය. ඉන්පසු දෙදෙනාම පාරමීගෙන් මදක් එහාට විත් කාතා කළේය.

" මොකද බං එකපාරටම මිස්ටර් දසානායකට වුනේ. " අසිත ඇසුවේය. 

නාරද ඩොක්ටර් වික්‍රමසිංහව හමුවුණු තැන පටන් සියලු තතු අසිතට කීවේය.

" හත් ඉලව්වයි. දැං අපි මොකද කරන්නේ. " අසිත ඇසුවේය.

" මචං මෙයාලගේ ෆැමිලි එකේ කියන්න ඕන කවුරුහරි ඉන්නවද දන්නේ නෑ නේද ? "

" ඒක නේන්නම්. අපි කාවවත් දන්නෙත් නෑ . . " සුසුමක් හෙලු නාරද හෙමින් හෙමින් පාරමීට කිට්ටුකලේය. ඇය හිස ඔඩොක්කුවේ ගසාගෙන හඬමින් සිටියි. 

" පාරමී මිස්. " නාරද සෙමෙන් කතාකළේය.

" පාරමී . . . " නාරද යලිත් කතා කළේය. පාරමී ඔළුව උස්සා ඉකිගසමින් නාරද දෙස බැලුවාය. 

" මේ වෙලාවේ ඔයා ඔහොම දුර්වල වෙලා හරියන්නේ නෑ. බය නැතිව ඉන්න. ඩොක්ටර්ස්ලා ඉන්නවනේ. " නාරද පාරමීව අස්වසන්න වෙරදැරුවේය. නමුත් පාරමීගේ හැඬිම තවටිකක් වැඩිවුණා මිස අඩුවීමක් නොවුණි.

" අපිට තාත්තා ගැන කියන්න කවුරු හරි නෑදෑ කෙනෙක් එහෙම ඉන්නවද ? නැත්නම් කිව්වේ නෑ කියලා ප්‍රශ්ණයක් වේවිනේ. "

" නෑ නාරද. කවුරුත් නෑ. තාත්තගේ නෑවෙන කාවවත්ම මම ගොඩකාලෙකින් දැකලවත් ආශ්‍රයකරලාවත් නෑ. "

" එතකොට අම්මගේ . . " නාරද ඇසුවේය.

" එයාලා අපි එක්ක තරහයි. අම්මා නැතිවුනේ තාත්තව බැන්ද නිසා කියලා ඒ අය අපිත් එක්ක තරහකින් ඉන්නේ. "

" හ්ම්. එහෙනම් අපි තාත්තව බලාගමු. "

පාරමී කදුළු පිරුණු දෑසින් නාරද දෙස බැලුවාය.

" ඔයාලට ගොඩාක් පිං . . . " පාරමී දෑත් එක්කොටගෙන නාරදත් අසිතත් දෙදෙනා දෙසම බලාගෙන ඉකිගැසුවාය.

" මිස්ටර් නාරද . . " ඩොක්ටර් වික්‍රමසිංහ ලඟට විත් කතාකළේය.

" මට කියනවද මිස්ටර් දසනායකට මොකද වුණේ කියලා. "

" දන්නේ නෑ ඩොක්ටර් හදිස්සියේම වැඩට ඉන්න මනුස්සයා කෑ ගහන සද්දෙට ගිහින් බැලුවම මිස්ටර් දසනායක පඩිපෙළ ලඟ වැටිලා හිටියා. එච්චරයි අපි දන්නේ. "

" හ්ම් . . වෙලාවට ඔළුව කොහෙවත් වැදිලා නෑ. එයාට ශොක් එකක් දැනෙන්න විදියක් නෑ නේද පාරමී මිස්. " ඩොක්ටර් වික්‍රමසිංහ නාරදත් පාරමීත් දෙස මාරුවෙන් මාරුවට බලමින් ඇසුවේය. 

" එහෙම දෙයක් නම් වෙන්න විදියක් නෑ ඩොක්ටර් තාත්තා අපි තුන්දෙනාම එක්කම කතා කර කර ඉඳලයි ගේ ඇතුලට ගියේ. "

" හ්ම්. ලෙඩාට ෆස්ට් ඇටෑක් එක ඇවිත් තියෙන්නේ. ඔයාලා මේ පේශන්ව ගේන්න තව ටිකක් වෙලා ගියානම් සමහරවිට ටිකක් බරපතල වෙන්න ඉඩතිබුණා. බට්, දැන් සේරම නෝමල්. තව පැයබාගයක් පැයක් යනකොට ලෙඩාව රූම් එකට දාන්න පුළුවන්. කවුරු හරි ඇවිත් ලෙඩාගේ ෆෝම්ස් ටික පුරවලා දෙන්න. " ඩොක්ටර් වික්‍රමසිංහ කීවේය.

" තැන්ක් යූ ඩොක්ටර්. " පාරමී ගෞරව පුර්වකව කීවාය.

" ඔයාලට පුළුවන් ඕනනම් ගෙදර ගිහිල්ලා උදේට එන්න. මොකද කොහොමත් රූම් එකට දැම්මත් මිස්ටර් දසනායක නිදාගනියි. එයාට නින්ද යන්න බේත් දීලා තියෙන්නේ. "

" හොඳයි ඩොක්ටර් අසිත පැවසුවේය.

ඩොක්ටර් වික්‍රමසිංහ නලාවත් කරේ දමාගෙන කොරිඩෝව දිගේ ඇවිදගොස් නොපෙනී ගියේය.

" අපි ගෙදර ගිහින් උදේට එමු නේද පාරමී මිස්. " නාරද ඇසුවේය.

" බෑ නාරද මට තාත්තව බලන්න ඕන. " පාරමී කීවාය.

" කියනදේ අහන්නකෝ. අපි දැන් යමු. ගිහින් උදේම මම ඔයාව එක්කන් එන්නම්. "

" බෑ නාරද තාත්තා තනියම මෙතන. මම ඉන්නම් ලඟට වෙලා. පාරමී අයදිමින් කීවාය. "

" මම කියනදේ අහන්නකෝ. මෙහෙ තාත්තගේ හැමදෙයක්ම බලාගන්න ඩොක්ටර්ස්ලා ඉන්නවා. බයවෙන්න දෙයක් නෑනේ. ඔයා දැන් නිදිමරලා හෙට උදේට ඇස් රතු කරගෙන මූණ මලානික කරගෙන  ඉන්නකොට තාත්තට දුක හිතෙයි නේද මිස්. ඒ හින්දා අපි ගිහින් උදේට එමු. හොඳ ළමයා වගේ අපි යමු. ගිහින් එමු "
පාරමීට නාරදට අවනත නොවී සිටිය නොහැකිවිය.

" අපි යමු අසිත " නාරද පැවසුවේය.

" යමු. "

වාහනය වෙත යන අතර තිදෙන අතර කතාබහක් නොවුනි. තිදෙනාම තම තමන්ගේ සිතුවිලි අතර සිරවී සිටියෝය. වාහනය අසලට පැමිණිපසු අසිත කටහඬ අවදිකලේය.

" නාරද පාරමී මිස්ව අද ගෙදර තනියම තියන්න බෑ නේද ? "

" ඒකමයි මේ මාත් හිතුවේ අසිත. මට නවතින්න බැරිකමක් නෑ. ඒත් හෙට වැඩටික සේරම මම අරගෙන ආවේ. ඉතින් ඒටික අඩුපාඩු බලලා අරගෙන යන්න වෙනවා. නැත්නම් ගැටළුවක් නෑ. "

" ඕන නෑ. ඕන නෑ. ඔයාලා මේ කරදර වුණා හොඳටම ඇති. අපිට තනියක් නෑ. මේරි අම්මටයි මටයි හිටියහැකි. " 

" නෑ කමක් නෑ. මම ඉන්නම් අසිත. මම උඹව ගෙදරින් දාගෙන යන්නම්. "

" මම එහෙනම් උදේට ඔෆිස් එකට ගිහින් හොස්පිටල් එකට එන්නම්. නාරද ඩ්‍රයිව් කරන්න. මම පස්සට යන්නම්. මම මගින් බහිනවනේ. එන්න මිස් නගින්න ඉස්සරහින්. " යතුර නාරද අතට විසිකළ අසිත පාරමීව ඉදිරි අසුනට නැග්ගුවේය. පාරමීට ඉඳහිට ඉකිගැසුනත් එය සගවාගන්න ඈ වෙර දැරුවාය. නමුත් පාරමී ලඟින්ම හුන් නාරදගෙන් එය සඟවා ගැනීමට ඕ අපොහොසත් විය. නාරද හෙමින් සිරුවේ වාහනය මහ මගට ගෙන නාවල දෙසට දාවනය කළේය. අසිතගේ නවාතැන්පළවෙත පැමිනෙන අතර සැවොම නිහඬව පසුවුවෝය. නාරදගේ ගතට වඩා සිතට අපමණ වෙහෙසක් දැණුනි. කිසිදාක යුවතියක් තමන් ලඟ මේතරම් අසරණව හිඳ නැත. " පවු තවත් ඉකිගහනවා. නාරද සිතුවේය.

" මාව ඔතනින් දාපන් නාරද. " අසිත තම නිවසට හැරෙන පාර ලංවෙත්ම කීවේය.

" එපා එපා මඟ දාන්න. අපි ගෙදරටම බස්සලා යමු. " පාරමී කීවාය. 

" නෑ එපා ඔතනින් දැම්මහම ඇති මිස්. ඇතුළට දාලා ආයෙත් හරවගන්න දඟලන්න එපෑ. මට මෙතන ඉඳන් පොඩ්ඩ දුරයි. " වාහනය නැවතූ පසු අසිත කීවේය.

" ඔයාට ගොඩක් පිං අසිත අයියා. අපිට මේ කරපු උදව්වට. "

" ඒවා ගැන හිතන්න එපා මිස් අපි අද මෙහෙම ඉන්නේ මිස්ටර් දසනායක නිසා. මිස්ටර් දසනායක වෙනුවෙන් අපි ඕන දෙයක් කරනවා. " අසිත පාරමීට පැවසුවේය.


" තෑන්ක්ස් අයියා. "   

" නාරද හෙමින් ඩ්‍රයිව් කරපන්. මොකද අපේ පාරමී මිස්ගෙන් කම්ප්ලේන්ස් හොඳද . . " පාරමී සිනාසුනාය.

" නෑ .. නෑ මම විහිලුවට කිව්වේ අසිත අයියා. නාරද එදා මාව පරිස්සමින් එක්කගෙන ආවා. " පාරමී නාරදගේ දෑස් දෙස එබී බැලුවාය.

" හරි. හරි .. දෙන්නම පරිස්සමින් ගිහින් එන්න. හැබැයි මේරි අම්මත් බයවෙලා ඇති දැන්. කල්පනාවෙන්, ඉක්මනට යන්න. හොඳේ . . . "


" හරි බං. " නාරද සිනාසෙමින් හිස වැනුවේය.

" පාරමී මිස්, ඔය නාරදගේ අත බලාගෙන. එහෙමෙහෙ කරන්න බැරි නෑ. . .  "

අසිත කියන කතා වලට පාරමී හිනැහුනාය. එහෙත් නාරදගේ හිතට අපමන ලැජ්ජාවක් දැනුනි.

" බැහැපං. බැහැපං. . . විකාර කියවනවා. " නාරද අසිතට එරෙවුවේය. මේයකා මොන මගුලක් කියවනවද මන්දා. නාරද හිතින් අසිතට නෑදෑ පරපුරම සිහිකොට තබාගෙන ඇමතුවේය.

පාරමී හිනැහුනා මිස කිසිවක් නොකීවේ සතාගේ හැටි හොඳහැටි දන්නා නිසාය. කියන වචනයක් වත් වැරදුනොත් වසලා හමාර බව ඈ දනී. ඒ අසිතගේ හැටිය. අසිතව බැස්සූ පසු නාරද තම බෝඩිම බලා වාහනය පැදවූවේය.

" පුදුම පිස්සෙක් මූ . . " නාරද සෙමෙන් ඇසෙන නෑසෙන ගානට කීවේය.

" කවුද දන්නේ, ඇත්තද කියලා  කියපුවා. අපි දන්නේ නෑනේ. " පාරමී බිම බලාගෙන හිනැහුනාය.

" අනේ මම එහෙම නෑ මිස්. "

නාරද අහිංසක ලෙස පාරමී දෙස බලා සිටියේය.





. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Tuesday, January 10, 2017

පියාපත් ලැබී . . . 23


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිතුන්වෙනි කොටස . . .


" යමං ප්ලේන්ටියක් ගහලා එන්න. " 

අසිතත් නාරදත් කිසිවිටක කම්පැනියෙන් පිළියෙල කර දෙනු ලබන තේ නොබීවෝය. එත් එහි කිසිදු වරදක් හෝ වෙනත් හේතුවක් නිසා නොව , කාර්යාලයේ පවතින පිඩනයෙන් මදක් මිදීමට මගක් කැන්ටිමට ඇවිද ගොස් ප්ලේන්ටියක් බී පැමිනෙත්දී දැනෙන නිසාය.

සිය වැඩකටයුතු හමාර කරන විට රාත්‍රි 7 ට ආසන්න විය. දසනායක මහතාට කතාකොට වාහනයට කුමක් කළ යුතුදැයි අසා එයද ඉවරයක් කර ගෙදර යා යුතුය. දුරකතනය ගෙන දසනායකගේ නොම්බරය සටහන්කර ඇමතුම ගත් නාරද එයට ප්‍රතිචාර දක්වනතුරු මදක් රැඳි සිටියේය. ෆෝන් එක උස්සන පාටක් නෑ වගේ. නාරද තමන්ටම කියාගත්තේය.

" හෙලෝ . . . " අනෙක් පසින් ඇසුනේ ගැහැණු කටහඬකි. මේ කටහඬේ අයිතිකරු කවරෙක් දැයි නාරද දනී. එකවරක් "   හෙලෝ " කී පසු යලි වචනයක්වත් අනෙක් පසින් ඇසුනේ නැත. දැන් තමා ප්‍රතිචාර දක්වන තෙක් බලා ඉන්න බව නාරද දනී. නාරදගේ හිත ගැස්සුනි. කුමක්දෝ නුහුරු බියක් සිතට දැණුනි. නාරදට නොදැනුවත්ම දුරකතනය නාරද අතින් විසන්දි වන්නට ඇත. වැඩි වෙලාවක් ගතවුනේ නැත. තම දුරකතනය නාද වුණි. ඒ දසනායක මහතාගේ දුරකතනයෙන්ය. නාරද තම දුරකතනය ගෙන ඇමතුම සම්බන්ද කරගත්තේය.

" හෙලෝ . . . . " නාරද ඇමතුවේය. 

" මම කතාකළ නිසාද ඔයා ෆෝන් එක කට් කලේ. " ඒ පාරමීය. ඇයට කුමක් කිවයුතු දැයි සිතාගත නොහැක.

" නෑ . . . මේ මම . . "

" ඉන්න මම තාත්තට දෙන්නම්. " පාරමී දුරකතනය ගෙන පියා සොයා ගියාය. ඔහු බැල්කනියට වී පත්තරයක් කියවමින් සිටියේය. දුරකතනය පියාට දීමට ප්‍රථමව නාරදගේ දුරකතන අංකය පාරමී තම දුරකතනයේ සටහන්කර ගත්තාය.

" තාත්තා . . "

" කියන්න පුතේ . ."

" මේ තාත්තට කෝල් එකක් . .

" කවුද පුතේ . . . "

" මිස්ටර් නාරද. පාරමී පැවසුවේය. ඇගේ හඬේහි ගැබ්ව තිබෙන හැඟිම තෝරාබේරා ගැනීමට දසනායක අපොහොසත් විය. දුරකතනය පියාට දුන් පාරමී තම කාමරය වෙත පියමැන්නාය.

ඇයි එයා මගේ කටහඬ අහන්නවත් කැමති නැතිවද. පාරමීගේ සිත දුකින් පිරී ගියේය. අඩුම තරමේ මගේ හිත හැදෙන්නවත් තාත්තට දෙන්න කියලාවත් කිව්වානම් මොකද ? තාත්තට හොරෙන් එයාගේ ෆෝන් නම්බර් එක මගේ ලඟ තියාගෙන මම කොයිතරම් වෙලා බලා උන්නද. ඇයි දෙයියනේ මේ මගේ හිතට මොනවා වෙලාද මට තේරෙන්නේ නෑ. නාරදව මට වෙලාවකට තේරුම් ගන්න බෑ. එයා හිතේ ගොඩාක් දේවල් පුරෝගෙන ඉන්නවා කියලා දැනෙනවා. සමහර විට ගොඩක් ප්‍රශ්න ඇති. පවු. ඇයි ඔයාගේ ඇස්දෙක ඔයතරමට අසිංසක පාරමී කොට්ටයේ මුහුණ ඔබාගත්තාය.

" ඔවු කියන්න නාරද . . "

" සර්. සර්ගේ වාහනයට මොකද කරන්නේ. " 

" ආ නාරද ඒක අපේ ගෙදරට ගෙනත් දාන්න. නාරද මෙහේ තියෙන කාර් එක අරන්යන්න. "

" ඕකේ සර්. "

දැන් යලිත් දසනායක මහතාගේ නිවසට යායුතුව තිබේ. නාරද ෆයිල් ටික සකසා මේසය උඩ තැබුවේය. ගතටද සිතටද තෙහෙට්ටුය. නාරද තම කාමරයේ දොර වසා දමා තරප්පු පෙල දිගේ පහලට බැස්සේ අසිත හමුවෙන අදහසිනි. අසිතගේ කාමරයට යනවිට ඔහු කුමක් හෝ කියවමින් සිටියේය.

" ආ වරෙන් . . . ඉඳගනින් "

" ඉඳගන්න නෙමේ යන්නේ නැත්ද . . ? "

" යන්නත් ඕන බං. හිටහන්කෝ ටිකක්. "

"උඹ වැඩටික ඉවර කරන් වරෙන්. මම යන්නම් "

" කියන දේ අහලා ඉඳින්කෝ. මට උඹට කියන්න දෙයක් තියෙනවා. "

නාරද අසිත ඉදිරියේ අසුනකට බර වුනේය. අසිත පුටුවේ පස්සට ගොස් නාරද දෙස හොඳින් බැලුවේය.

" මට ඇත්තම කියපන් නාරද. උඹ පාරමී ගැන මොකද හිතන්නේ " අසිත ඇසුවේය.

" මම මොනවා හිතන්නද බං ඇයි උඹට පාරමී මිස් ගැන හිතක් පහල වෙලාද " නාරද අහක බලාගෙන කතා කළේය. අසිත දිගටම නාරද දෙස බලාගෙන සිටියේය.   

" ඇයි අසිත කන්න වගේ බලාගෙන ඉන්නේ. "

" කන්න. කන්න නෙමේ උඹට . . . මම ඉතින් කිව්වා කියලා හිතාගනින්කෝ. "

නාරද හිනැහුනේය.

" ඇයි උඹට තද වුනේ. "

" තද වෙන්නේ නැද්ද. මේ අහපං නාරද. මම දැං කිව්වා කියලා මතක තියාගනින් උඹ හැමදාම උගුරට හොරා බේත් බොන්න බෑ. "

" මට තේරෙන්නේ නෑ අසිත උඹ මොනවා කියනවද කියලා. "

" ඔවු ඔවු උඹට තේරෙන්නේ නෑ. උඹ බබා. මට ඇත්ත කියපං උඹ ඒ කෙල්ලට කැමතියි නේද ? "

" අසියා උඹ දන්නවනේ මම මොනතරම් ප්‍රශ්ණ ගොඩක ද ඉන්නේ කියලා. එහෙව් මම උඹ ඔය කියන දේවල් හිත හිත ඉන්නවා කියලද හිතන්නේ. මට ආදරයක් ගැන දැන්ම හිතන්න පුළුවන් කමක් නෑ. "

" ඒ කියන්නේ උඹ කැමතියි. ප්‍රශ්ණ නිසා අකමැතියි. "

" පොඩ්ඩක් හිතපන් අසිතයා. උඹ මම ඔය කතාකරන්නේ අපි දෙන්නගෙම බොස්ගේ දුව ගැන. මේ බිත්තිවලටත් කන් තියෙනවා. අන්න ඒක මතක තියාගනින්. නිකන් හරි ඕවා කාගේහරි කණකට ගියොත් උඹත් ගෙදර , මාත් ගෙදර. අනික අන්තිම පාරටත් අහගනින්. මගේ හිතේ පාරමී මිස් ගැන එහෙම අදහසක් නෑ. "

" හරි හරි අපි දැන් ඔය කතාව නවත්තමු. ඒත් මේකත් කියලම නවත්තන්නම්. ඔතන මොකක් හරි දෙයක් බොහොම ඉක්මනින් වෙන පාටයි. "

" මළ විකාර. " නාරද කැබිනයෙන් පිටවුයේ තරහෙනි. හැමදෙයක්ම විහිළුවකට ගන්න එක මුගේ තියෙන ලොකුම අවුල. නාරද සිතුවේය.

" මස්සිනා. මම විහිළු කළා කියලා හිතන්න එපා. මේවා විහිළුවට කියන ඒවා නෙවෙයි. "අසිත  නාරදට කෑගැසුවේ තවත් අවුස්සන අටියෙනි. අසිත නාරද පසුපස දිවගියේය.

" මොකද බං උඹේ අවුලක් නැත්නම් ඔච්චර ඕවට තරහාගන්නේ. " 

" මේ අසිත මගුල් නැතුව වරෙන් ගමනක් යන්න. "

" කොහෙද ? "

" මිස්ටර් දසනායකලගේ ගෙදර "

" ඒ මොන ඉලව්වකට ද මේ රෑ ජාමේ එහෙ යන්නේ. උඹ පාරමීව බලන්න යන්න ද හදන්නේ මාවත් එකතුකරගෙනද ? අනේ මහත්තයෝ මට බෑ. "

" මේ මේ උඹේ කාර් එක තියලා නැගපන් මේකට. මට තනියෙන් යන්න බෑ. මේක දිලා එමු බං. මම උඹව ගෙදරට දාන්නම්. "

" අඩෝ උඹ මාර කපටියා. කොහොම හරි කෙල්ලව බලන්න යන්න පොටක් පාද ගන්නවා. නේද ? " අසිතද වාහනයට ගොඩ වුනේය. 

" මගුල . . . අර සිරිපාලයව ඉක්මනට ගෙන්නුවේ නැත්නම් මට ඩ්‍රයිවින් ජොබ් එකත් භාරගන්න වෙනවා. "

" මේ නමටත් බෙදන්න කිව්වලු. ඔය පනින්නේ අයිඩියාස්. මම හෙටම සිරිපාලට කෝල් එකක් අරන් උඹේ   නිවාඩුටිකක් අරගෙන තව පහුවෙලාම එන්න කියන්නම්. " නාරදගේ රතු කට්ට පැන හමාරය. අසිත තව තවත් නාරදව බයිටට ගනී.

" මමත් කරපු ගොන් කමක් උඹව මේගමන අරන් ඇවිත්. " අසිත තවත් සිනාසෙයි.

" ඔවු එතකොට උඹට පුළුවන්නේ තනියම කෙල්ලට ඇහැ දාගෙන ඉන්න. අඩෝ මට උඹලව චාටර් උනේ නැත්නම් උඹ කොහොමත් මේ ගමන මාව ගෙනියන්නේ නෑ තමයි. " නාරදට උන්හිටි තැන් නැත.

" අනේ මචං ඕක නවත්තපං. ප්ලීස්. " 

" හරි හරි " අසිත විහිළු කරන එක නවතා දැමුවද සැරෙන් සැරේ නාරද දෙස බලා සරදමට සිනාසුනේය. වාහනය ගේට්ටුව ලඟ නතර කොට හෝන් එක නාදකොට ටික වෙලාවකින් ගෙදර මෙහෙකාරිය පැමිණ ගේට්ටුව හැරියාය. වාහනය නිවස ඉදිරියේ නතර කළ නාරද තමාට රැගෙනයාමට කියු කාරය වෙත පියමැන්නේය. 

" ඉන්න මහත්තයලා මම ලොකු සර්ට එන්න කියන්නම්. "

" නෑ දැං කතාකරලා කරදර කරන්න එපා අපි වාහනේ දාලා යන්න ආවේ . . " නාරද පැවසුවේය.

" ආ එන්න අසිත ඇතුලටම. එන්න නාරද වාඩිවෙන්න. " එවිටම දසනායක ගෙතුළින් විත් කතාකළේය. දෙදෙනාම ඉස්තෝප්පුවේ අසුන් දෙකකට බර වුනෝය.

" මේරි අම්මා අපිට බොන්න දෙයක් ගේන්නකෝ. මොනවා හරි බොමු. දසනායක මාරුවෙන් මාරුවට බල බල කීවේය.

" නෑ සර්. දැන් නම් ඕනත් නෑ . . . "

" මම හිතුවේ නෑ අසිතත් ඒවි කියලා "

" නාරදට තනියෙන් එන්න බෑ කියලා මාවත් ඇදගෙන ආවා මිස්ටර් දසනායක. "

" ම් . . ඇයි නාරදට තනිකන්දෝසේද "

ඒක තමයි මිස්ට දසනායක මාත් මේ එනකන් අහා අහා ආවේ. පහුගිය ටිකේ මොකකට හරි බයවුණාවත්ද කියලා " අසිත ඇඟට නොදැනි දෙපැත්ත කැපෙන වචනයකින් ගැලපුවේය.

" ආ බොන්න . . . " මේරි අම්මා තේ දෙකක් රැගෙනවිත් තිබුණාය. තේ පිලිගැන්වු ඇය යලිත් ගෙතුළට ගියාය.    



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



මාපට ඇඟිල්ල කටේ ගසාගෙන කොට්ටයත් තුරුළුකරගෙන සිටි පාරමීට අද නින්දක් පේනතෙක් මානයක නැත. කල්පනා කළ දෙයක්ද නැත. එහෙට මෙහෙට පෙරලි පෙරලී සිටි පාරමී. තම යෙහෙලියට ඇමතුමක් ගැනීමට සිතුවාය.

" හෙලෝ . . "

" ආ මම හිතුවා උඹට මාව අමතකම වෙලා ඇති කියලා. "

" උඹට මතක තිබ්බානම් කෝල් එකක් දෙන්න එපෑ. මම ගන්නකන්ම උන්නේ. මම හිතුවේ උඹට අමතකවෙලා කියලා. "

" හරි හරි. අපි ඕක නවත්තමු. මොනවද විස්තර. තාත්තා එදා පරක්කු වුණා කියලා බැන්නේ නෑ නේද . . "

" නෑ බැන්නේ නම් නෑ "

" උඹ මොකද්ද කටේ තියාගෙන කතාකරන්නේ. කියපං මොකද්ද ප්‍රශ්නේ. "

" ප්‍රශ්නයක්මත් නෙමෙයි. "

" එහෙනම් . . . "

පාරමී යාළුවට වාරියපොලින් පිටවු තැන සිට මේ දක්වා සියලුම තතු එකිනෙක දිගහැරීයාය. "

" ඒ කියන්නේ එදා ඇවිත් තියෙන්නේ ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයිද. "

" නෑ බං නෑ. "

" දෙයියනේ මම ඌට කියපුවා. කවුද බං හිතන්නේ ඌ මැනේජර් කාරයෙක් කියලා. "

" එදා අපි එයාට සලකපු විදිය මතක් වෙද්දිත් මට දුක හිතෙනවා බං. පවූ. "

" හ්ම් ඇත්තට . . . ඉතින් එහෙනම් උඹ කතා කරලා සමාවගන්නෙපෑ. "

" ඔවු මම ගත්තා. "

" ඈ . . . " 

පාරමී ඉන්පසු සිදුවූ සියල්ල ඇයට කීවාය.

" මට පේන විදියට උඹ ඌට ලව් නේද ? " පාරමී කිසිවක් නොකීවාය. 

" ඇත්ත කියපං කෙල්ලේ . . " 

" මම දන්නේ නෑ බං. මට තේරෙන්නේ නෑ. "

" හ්ම් හ්ම් කෙල්ල ගිහින් තියෙන දුර. "

" කවුරු හරි ඇවිත්. මම උඹට ගන්නම්. "

පාරමී දුරකතනය විසන්දිකොට බැල්කනියට ගොස් බැලුවාය. තාත්තගේ වාහනය මිදුලේ නවතා ඇත. ශුවර් එකටම නාරද වාහනය දෙන්න පැමිණෙන්නට ඇත. ක්ෂනිකව තරප්පුපෙල දිගේ පහලට දුව ගියාය. තව පොඩ්ඩෙන් පඩිපෙලේ ඉහලට නගින මේරි අම්මාගේ ඇඟේ හැපී දෙදෙනාම බිමට රෝල්වී යනු ඇත.

" කොහෙද පුංචි බේබි මේ දුවන්නේ. " මේරි අම්මා ඇසුවාය.

" වතුර බොන්න යනවා . . " පාරමී පැවසුවාය. 

" ඇයි පුංචි බේබි අර ඇඳ ලඟ තියලා තීයෙන්නේ වතුර ජෝගුවක්ම. "

" ඒකේ වතුර නෑ මේරි අම්මේ . . . "  කියමින් පාරමී පහලට දුවගියාය.

වතුර බොන්න යයි කීයු නිසාවෙන් කුස්සිය දෙසට ගිය පාරමී වතුර වීදුරුවක් , පුරවා ගත්තාය. ඉන්පසු සාලය දෙසට ඇස දැම්මාය. සාලයේ කිසිවකු පෙනෙන්නට නැත.

" කට්ටිය මිදුලට ගියා " මේරි අම්මා පාරමීගේ පසුපසට විත් පැවසුවාය. පාරමී තිගැස්සුනි.

" ඉතින් මට මොකද . . . ? "

" මට මොකද කියන්නේ. බේබි ඔළුව දදා කාවද හොයන නිසයි කීව්වේ. " මේරි අම්මා සිනාසී කුස්සියට ගියාය.

" මේයාටත් ඕන නැති දෙයක් නෑ . . " පාරමී මේරි අම්මට කීව්වාය. සෙමෙන් සෙමෙන් සාලය දෙසට ගිය පාරමී තාත්තාත් අසිතත් කතාකර කර සිටිනු දුටුවාය. නාරද ඇවිත් නැත්ද. පාරමී විමසිලිමත් වුවාය.

" පුංචි බේබිව උස්සන් ආ මහත්තයා අනිත් කාර් එක ගාව. " මේරි අම්මා යලිත් පැමිණ හොරෙන් කියා මහා හයියෙන් හිනැහුනාය.

" කෑගහන්න එපා මෝඩීයේ " පාරමී මේරි අම්මාගේ කට ඇගේ අතින් වැසුවාය. අනෙක් අයට එය ඇසෙන්නට ඇත. 

" පොඩී දූ . . . " තාත්තා කතාකළේය.

" ඕ . . . " පාරමී කට බෙරි කරගත්තේය.

" මොකද පුතේ කෑගහන්නේ "

" මේ මේරි අම්මට පිස්සු තාත්තේ " පාරමී ලැජ්ජාවෙන් අසිත දෙස බැලුවාය.

" මේ ළමයට මොනවා වෙලාද මන්දා. " දසනායක සෙමෙන් කීවේය. 

" අසිතද පෙරලා සිනාසුනා මිස කිසිවක් කීමට නොගියේය. " නමුත් ඒ සිනාවේ මම නම් පාරමීට මොකද වෙලා තියෙන්නේ කියලා දන්නවා යැයි හොඳින් බැලු කෙනෙකුට කියවාගත හැකිවනු ඇත.

" අසිත, කාර් එකේ වතුර යනවා වගේ. වතුර ටිකක් දාගත්තොත් හොඳයි. නාරද කාරයේ හැරතිබූ බොනට්ටුව අල්ලාගෙනම පැවසුවේය.

" මේරි අම්මේ අර බෝතලයකට වතුර එකක් අරන් එන්න. " දසනායක පැවසුවේය.

" ඇයි තාත්තා ඔතන ටැප් එක නේද. හෝස් එකත් ගහලා ඇත්තේ. " පාරමී කියූවාය. අසිත ඒ දෙසට යන්න වූයෙන් පාරමීද ඔහු සමඟ සෙමෙන් කාටත් නොදැනෙන්න පියනැගුවාය.

" කපටි කෙල්ල . . " දසනායකටත් අසිතටත් එකවර සිතුනා විය හැක. දසනායක ඔවුන් දෙස බලා සිටියා මිස ඒ අතරට යාමට නොසිතුවේය. 

" මොනවද මිස්ටර් අසිත ඉල්ලගන්න එපෑ හොඳ වාහනයක් තාත්තිගෙන්. මේ කබලක් උස්සන් දුවන්නේ. " පාරමී තාත්තා දෙස බලමින් අසිත ගෙන් ඇසුවේය.  
          
 " අනේ මේ මට නෙවේ මිස්. මේක දීලා තියෙන්නේ අපේ නාරද මහත්තයටනේ "

" අපෝ එහෙමද එහෙනන් මේකත් වැඩියි. මීට වඩා හෙමින් යන්න පුළුවන් එකක් හොයලා දෙන්න. මොකද මෙයාගේ ගමන උඩින්නේ. "

නාරද හිස නොඋස්සා වාහනයට වතුර දමමින් සිටියේය. අසිතද සිනාසෙමින් සිටියේය. දසනායක මහතා පෙනෙන්නට නැත.

" ඒකනම් හරී මිස් වාහනේ වේගෙන් යන එක වගේම හෙමින් යන එකෙත් වාසි තියනවා. කොහේද අපේ මෝඩයට ඒවා තේරෙන්නේ නෑනේ. " අසිත ඇඟට පතට නොදැනී කීවේය. පාරමී බිම බලාගෙන සිනාසුනා මිස කිසිවක් නොකීවාය. අසිත සමග කතන්දර කීමට ගොස් වැඩ වරදාගත යුතුව නැත. එනිසා ප්‍රවේශම් වීම නුවනට හුරුය.

" හැබැයි පාරමී මිස් මූ කොයිවෙලේක හරී අර මෝටර්ක්‍රොස්වල වගේ හයිජම්ප් එකක් දාන්න බැරි නෑ. " අසිත යලිත් හිනැහෙමි කීවේය. නාරද බොනට්ටුව තදකර වසා අසිත දෙස ඔරවමින් බැලුවේය. අසිත සැනෙන් අහක බලාගත්තේය. පාරමී දිගින් දිගටම හිනැහුනාය.

" හරි හරි අපි යමු. " නාරද අසිතට කීවේය.

" ආ මෙයාට මාර හදිසියක්නේ තියෙන්නේ. පාරමී නාරද දෙස බැලුවාය. "

" ඒක නේන්නම් මිස් පාරමී. මෙහෙමයි අපේ නාරදට ඕනම දේවල් වලදී කිසිම හදිසියක් නෑනේ. නිකමට බලන්න අපේ අර ඔෆිස් එකේ " කමනි " මොනතරම් ලස්සන කෙල්ලෙක්ද. එඩියුකේටඩ් ආ . . . මූට පණ ඇරලා ලව්. ඒත් මෙයාට කිසිම හදිස්සියක් නෑනේ. චික් අපරාදෙනේ නේද ? "

පාරමීගේ මුහුණ මැලවීයනු අසිත මෙන්ම නාරදද දුටුවේය.

" හැබැයි ලඟදීම නම් අපිට කේක් කෑල්ලක් කන්න බැරිවෙන එකක් නෑ. එහෙම ලකුණු පහල වෙමින් තියෙන්නේ. "

පාරමී බිම බලාගත්තාය. පාරමීගේ සිත කුමක්දෝ වේදනාවකින් පිච්චීගියාක් මෙන් දැනෙයි. නාරද පාරමී දෙස බලුවේය. අසිත ඇසක් ඉඟිමරා හොරෙන් හිනැහුනේය. නාරද එරෙව්වා මිස කිසිවක් නොකිව්වේය.  



. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Saturday, January 7, 2017

පියාපත් ලැබී . . . 22


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිදෙවෙනි කොටස . . .


" මොකද පාරමී මිස් කල්පනාව. " පාරමී තිගැස්සුනාය.

" නෑ අසිත අයියා මම මේ මෙශින් දිහා බලන් හිටියේ . . "

" හ්ම් හ්ම් . . මමත් දැන් ටිකවෙලාවක ඉඳන් බලාගෙන උන්නේ මැශිමක් දිහා බලන් ඉන්නවා. " අසිත නක්කලයට මෙන් කීවේය.

" මේ එන්න එපා හිනාවෙන්න. " පාරමී වරදක් කර හසුවිමට ගිය පොඩි එකෙක්මෙන් බියව උන්නාය.

" හරි හරි මම හිනාවෙන්නෙත් නෑ. මුකුත් දැක්කෙත් නෑ. " අසිත පැවසුවේය.

" හරි හරි මට කියන්නකෝ ඔයාගේ එක්කෙනාට මොකද වුනේ කියලා  " පාරමී කතාව වෙනතකට යොමුකළාය. අසිතගේ මුහුණ  මැලව යනු පාරමී දුටුවාය.

" එයා ගියා . . . " අසිත සිනාසෙන්න වෙරදැරුවේය.

" ඒ කියන්නේ "

" එයා පෝසත් කෙනෙක්නේ මිස්. මට එකපාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ වැඩ කරන්න  පුළුවන් කමක්නෑනේ. මටත් වගකීම් කියලා දෙයක් තියෙනවානේ . . අපි පොඩි තැන ඉඳන් එන මිනිස්සු. එයාට ඒවා තේරුම් ගන්න බැරිවුණා. දැන් නම් එයාට පොඩි බබෙකුත් ඉන්නවද කොහෙද. හොඳ සල්ලිකාරයෙක්ව බැඳලා ඉන්නේ "

" නෑ . . . "

" නෑ නෙමෙයි. ඇත්ත කිව්වේ. "

" මම නම් කවදාවත් මම ආදරය කරන කෙනාට එහෙම කරන්නේ නෑ. කවදාවත් අසරණ වෙන්න දෙන්නෙත් නෑ. " පාරමී හොරෙන් නාරද දෙස බැලුනි. අසිත එය දුටුවත් දුටු බවක් නොපෙන්වා සිටියේය.

" ඒ කියන්නේ අපේ මිස්ටත් ආදරය කරන කෙනෙක් ඉන්නවා කියන එක ද ? . . ම් . . .  "

" දන්නේ නෑ . . . "

" ඒක මාර කතාවක් නේ. දන්නේ නෑ කියන්නේ "

" දන්නේ නෑ කියන්නේ දන්නේ නැති නිසයි. සමහර විට එයා මට ආදරේ ඇති සමහර විට නැතුව ඇති. පාරමී හිනැහුනාය.

මේ කෙල්ල මොනවා හෝ හිතේ තියාගෙන හිරකරගෙන ඉන්න හැඩයි. අසිත සිතුවේය. අපේ නාරදයා ගැනවත් ද. ආපු වෙලේ ඉදන් මම දෙතුන් විටක්ම බලාගෙන උගේ දිහාමයි ඇහැ දාගෙන ඉන්නේ. හැබැයි ඌ නම් දන්නේ නැති පාටයි. ඌ කොහොමත් මැටි හරකනේ. ඕකට කොහෙද ඕවා තේරෙන්නේ. දෙන්නාගේ නම් කිසි වරදක් නෑ. නොගැලෙපෙන කියලා තියෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි නාරද වැඩකරන කම්පැනි එක පාරමීගේ වීම. අනික දසනායක කැමති වෙයිද තමන්ගේ කම්පැනියේ සේවකයෙකුට තමන්ගේ දුවව දෙන්න. අසිත කල්පනාවේ ගැලී සිටින අතර දසනායක ඔවුනතරට පැමිණියේය.

" මොකද අසිත අපේ කෙල්ල කියන්නේ ? "

" මුකුත් නෑ සර්. මෙශින් දිහා බලා ඉන්නව දැකලා මමත් මේ ඇවිත් කතාකළේ. මැශිමක වැඩකරන්නවත් ඕනවෙලාද කියලා බලන්න. " අසිත සිනාසුනේය.

" අපොයි, දැං අහලා බලන්න අසිත. හා කියයි. මම දන්නැද්ද " සැවොම එක්ව සිනාසුනෝය.

" අසිත ප්‍රේමසිරිට කියන්න කැබ් එකක් කතා කරලා දෙන්න කියලා. ගෙදර යන්න.

" ඇයි සර් සිරිපාල . . . "

" සිරිපාල ගමේ ගිහින් එන්න ගියා. තවම ආවේ නෑ. "

" ආ සර් එහෙනම් වසන්තව එක්කගෙන යන්න. ඔෆිස් එකේ දැන් යන්න කොහෙවත් නෑ.

" නෑ ඕන නෑ අසිත අපි කැබ් එකක් ගමු. "

" ඕකේ සර් මම කතාකරන්න කියන්නම්. "

" ඇයි තාත්තා නාරදත් එක්ක නෙමේද යන්නේ. නෑ පුතා නාරද වැඩ නේ. "

" හ්ම් . . . " පාරමී නිහඬ වුවාය.

දුරකතනය නාදවෙයි. කම්පියුටර් එකමත ඇස්දෙක තිබුණත් හිත වෙනතකය. දුරකතනය නාදවන බවක් ඇසුනේවත් නැත. නාරද දුටුවේ එය දෙවන වර නාදවෙත්දීය.


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


" හෙලෝ . . . "

" හෙලෝ අයියේ. "

" ඔවු මල්ලි කියන්න. "

" අයියේ අම්මට කතාකරන්න ඕනයි කියනවා. පොඩ්ඩක් ඉන්න දෙන්නම්.

" හ්ම් . . "

" ලොකු පුතේ . . . "

" ඔවු අම්මේ කියන්න. හදිසියක්ද ? "

" හදිසියක් නම් නෙමේ පුතේ. උඹ කෝල් එකක් වත් නොදුන් නිසා බැලුවේ. මයේ පුතාට කරදරයක් හෙම නෑ නෙවෙද "

" නෑ අම්මේ. මම පොඩ්ඩක් එළියට ගිහින් උන්නා. දැණුත් මේ ඔෆිස් එකේ ඉන්නේ. "

" ඒක මිසක්. දැන් කතාකරන එක කරදරයක් ද මයේ පුතේ ? "

" නෑ අම්මේ කමක් නෑ. කියන්න. "

" තාත්තගේ බණ , දානෙත් ලඟ ලඟම එනවා. ඒවට ලක ලෑස්ති වෙන්නත් කාලේ හරි පුතේ දැන්. අපි දැං හවහට පන්සලටත් යන්ඩ කියලා බැලුවේ ලොකු හාමුදුරුවන්ටත් මතක්කරලා තියෙන්න එපැයැ. ලොකු පුතා එනවද ගෙදර අද හෙට. "

" මට අද හෙටම නම් එන්න බැරිවෙයි අම්මේ.මේ සතියේ අග මම ගෙදර එන්නම්. මල්ලිට කියන්නකෝ වැඩ ටික සේරම ලෑස්ති කරගන්න කියලා. මම සල්ලි ටිකකුත් මල්ලිගේ එකවුන්ට් එකට දාන්නම්. "

" සල්ලි නම් ඉතුරුකරග්ත්ත ටිකකුත් තියෙනවා මයේ පුතේ. පුතා සල්ලි දාන්න දැන් හදිසිවෙන්න එපා. දැන්ම ඕනවෙන එහෙකුත් නෙවෙයිනේ. පුතා හෙමින්සිරුවේ වැඩටික එකලාසියක් කරගෙන එන්නකෝ. "

" හරි අම්මේ. මම පස්සේ ගන්නද අම්මේ. මම බෝඩිමට ගිහින් ගන්නම්. දැන් ඔෆිස් එකේනේ ඉන්නේ. "

" හරි පුතේ හරි. නිවී හැනහිල්ලේ කතාකරහන්කෝ. රත්නත්තරේ පිහිටයි. "

" බුදු සරණයි අම්මේ. "

" මොකද අම්මේ අයියා කියන්නේ. අද හෙට එන්නේ නැතිලුද ? "

" හ්ම්. ඌට ඔෆිස් එකේ වැඩද කොහෙද හොඳටම. දැනුත් ඔෆිස් එකේ හිටියේ. "

" අද සෙනසුරාදානේ අම්මේ. සෙනසුරාදට වරුවයි වැඩ කියලා නේද අයියා කිව්වේ. "

" වරුවයි කියලා ගෙදර යන්න විදියක් නැතැයි කිව්වේ ගියපාර ගෙදර ආ වෙලේ. සමහරදාට ඉරිදාටත් උදේ පටන් රෑවෙනකන් වැඩලු. පවු ඒකා මහන්සිවෙනවා. "

" අයියට මාව නම් මතකවත් නෑ නේ. " නිත්‍යා මුහුණ අදුරුකරගෙන බිත්තියට හේත්තු වුනාය.

" ඕං ඉතින් එල්ල ගත්තා. ඒකා ඔෆිස් එකේනේ පුතේ. වැඩ වැඩි නිසා පස්සේ කතා කරන්නම් කියලානෙව කීවේ. එතකොට උඹලට කතා කරන්නේ නැතෑ. උඹ දැං ඔය මුණ හදාගෙන ගොහින් මල් ඩිංගිත්තක් කඩපං පන්සල් යන්ඩත් එක්කලම. "

නිත්‍යා ඉස්තෝප්පුවෙන් මෑත්ව ගෙතුලටම ගියාය. කොච්චර වුනත් මුන් තුන්දෙනා පනට පනනේ. පොඩි එකී එක්ක කතානොකළා කියලනේ ඔය තරහා. පොඩි එකිත් පවු.

 විනිතා සිතුවාය. කොහමහරි කරලා දානේ වැඩකටයුතු ටික හොඳට කරගන්න තිබුනොත් මට ඇති. තව ටිකකින් සුදු නංගිත් එන්න බැරි නැත. හෙමින් හෙමින් ලක ලෑස්තිවුනොත් හොඳ යැයි සිතූ ඈ වත්තපහල ලිඳට ගියේ කලුවර වැටෙන්නට මත්තෙන් ඇඟපත සෝදන්නට සිතාගෙනය.




෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



නාරදට තම අතපහුවුණු වැඩකටයුතු නිසියාකාරව පිළිවෙලක් කරගැනීමට හැකිවුණි. ඉන්පසු අසිත හමුවීමට සිතාගෙන තම කාමරයෙන් එළියට බැසීමට සුදානම්වන විට අසිතද තමා හමුවිමට තරප්පුපෙල නගිනු දිටීය. සෙමෙන් සේවකයන්ගේ කටයුතු නිරීක්ෂණය කරමින් පැමිණි අසිත නාරදගේ කාමරයට පිවිසියාය.

" උඹ වැඩක්ද නාරද ? "

" වැඩක නම් තමයි හිටියේ. ඒත් දැන් ඉවරයි. මම මේ උඹව බලන්න පල්ලෙහාට එන්න හැදුවේ. "

" හරි හරි මම ආවනේ. උඹ කීයටද ගෙදර යන්නේ " 

" යන වෙලාව කීය වෙයිද දන්නේ නෑ මචං. දසනායක සර්ලවත් එක්කගෙනනේ ආවේ. ඒගොල්ලන් යන වෙලාවට යන්න වෙනවා. "

" ඒ ගොල්ලො ගියා බං. "

" ගියා. පිස්සු නැතුව ඉදින් බං. යන්නේ කොහෙද වාහනේ යතුර මගේ ලඟනේ. "

" කැබ් එකක් ගෙන්නගෙන ගියා. "

" පාරමී මිසුත් ගියාද "

" නැතුව උඹ හිතුවද අදත් උඹට කියලා ඇරලවගන්න තියලා ගියා කියලා. " 

නාරද කිසිවක් නොකීවේය.

" මොකද උඹ එකපාරට අප්ශට් ගියේ " 

" මම අප්ශට් ගියේ නෑ. වාහනේට මොකද කරනේ කියලා මම මේ කල්පනා කළේ. "

" එහෙමද මම ඒත් බැලුවා දසනායක පාරමී මිස්ට කැබ් එකක යමු කීවම අප්ශට් ගිය විදියටම ඒගොල්ලො ගියා කිව්වම උඹත් අප්ශට් ගියේ මොකද කියලා. "

" ඒ පාර මොකාටද උඹ එන්න හදන්නේ "

" නෑ නෑ . . මම මොකාටවත් එන්නේ නෑ. අපි බලමුකෝ සනා. අපිත් මේ ලෝකේ උඹලා එක්කම ජිවත්වෙයිනේ . . . නේද ? "

" ඔය විකාර නවත්තපං අසිතයා "

" වාහනේ මෙහේ තියලා යමු නේද බං. "

" උඹට පිස්සුද. දසනායක සර්ට කෝල් එකක් දීලා අහපන් මොකද කරන්න ඕන කියලා. " 


" හ්ම් . . . නාරද දුරකතනය ගෙන දසනායකගේ ඇමතිමට ගොස් නැවතත් විසන්දි කලේය. දැම්ම අරගෙන ගෙදර යන්න හදිස්සියේද ඇහුවොත් තවත් නඩුවක්. තව ටිකක් හවස්වෙලා කෝල් එකක් දෙමු. " 

" හ්ම් . . . "





. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

පියාපත් ලැබී . . . 21


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිඑක්වෙනි කොටස . . .


" අසිත මම හිතනවා මගේත් ඔයාලගේත් වෙලාවට මේ වෙලාවෙම මේගැන කතාකරන්න ලැබුනේ. නැතිනම් මම හිතාගෙන හිටියේ ඔය දෙන්නට මීටින් එකක් ගන්න. මේකයි මම හිතනවා මේ කම්පැනි එකේ මේන් හෙඩ්ස් දෙක ඔය දෙන්නා කියලා. මම අසිත නාරදට මේ කම්පැනි එකේ මැනේජින් පෝස්ට් එකක් දෙන්න තීරණය කළා. මම කැමතියි ඒ පෝස්ට් එක අසිතට දෙන්න. ඒත් ඒක අසිතට දිලා මම කැමති නෑ අසිතගේ ප්‍රින්ටින් ගමන කඩාකප්පල් කරන්න. මොකද මට අසිතව වටින්නේත් එතනදී. තේරුනාද . . "

" ඔවු සර් . . " අසිත හිසවනමින් පැවසුවේය. "

" මම නාරදට දෙන මේ පෝස්ට් එක කොටස් තුනකට බෙදනවා. ඒ තමයි ප්ලෑනින් , ප්‍රඩක්ෂන් , ඔපරේටින්. තේරුනාද නාරද. එතකොට මේ කම්පැනි එකේ ෆියුචර් එක තියෙන්නේ නාරද අතේ. හැබැයි අසිතට වෙනවා ප්‍රින්ටින් කොලිටි කියන හැම පැත්තකින්ම අපේ කම්පැනි එක බේරගන්නත් නාරදගේ ගමනට බැක් සපෝට් එක දෙන්නත්. තේරුනාද දෙන්නටම. මොකද මම තීරනයක් අරගෙන තියෙනවා ඔයාලගේ කර්යභාරය වගේම මගේ කර්යභාරය ගැනත්. ඒ තමයි දැන් විශ්‍රාම ගන්නා කාලය කියන එක. 

" ඇයි සර් එහෙම කියන්නේ. " අසිත එකපාරටම ඇසුවේය.

" ඔවු අසිත. මට දැන් බොහෝම මහන්සියි. මම මේ මේ කම්පැනි එකේ අයිතිය මගේ පොඩි කෙල්ලට හෙට අනිද්දම ලියනවා. කෙල්ල තාම ස්ටඩීස් කරන නිසා මම කැමති නෑ දැන්මම එයාට මේවායේ බර දැනෙනවට. එතකන් මම කැමතියි මම විශ්වාස කළ , මම තියපු විශ්වාසය නොබිඳපු ඔය දෙන්නා දිගටම මාත් එක්ක ඉන්නවට. එතකන් විතරක් නෙවෙයි කැමති තාක්කල්. "

" ඒත් සර්. සර් දිගටම අපිත් එක්ක හිටියනම් හොඳයි නේද. " අසිත කනස්සල්ලෙන් දසනායක මහතාට ආයාචනා කලේය.

" අපි බලමුකෝ පුතා . . . " එහෙනම් ඔයගොල්ලො දැන් යන්න. නාරද මට ස්ටාෆ් මීටින් එකක් හෙට උදේ දහය වෙත්දී ඇරේන්ජ් කරන්න කියලා කියන්න. 

" ඕකේ සර් . . . " දෙදෙනාම නැගිට දසනායක මහතාගෙන් සමුගත්තෝය.

" මචං මට හිතාගන්න බෑ මොකද්ද මේ සින් එක කියලා. " අසිත පවසුවේය. 

" ඒක තමයි බං. මට දැං දැං වෙන දේවල් විශ්වාස කරන්නත් ටිකක් බයයි වගේ. " 

" මචං මිස්ට දසනායකට මොකක් නමුත් ප්‍රොබ්ලම් එකක් වගේ. "

නාරදට ඩොක්ටර් වික්‍රමසිංහ කියපු දේවල් සිහිවුණි. ඒත් එය අසිතට පැවසීමට තරම් සිත්නොදුනි.

" මම කැබින් එකට යනවා මචං . . " අසිත නාරදගෙන් සමුගත්තේය.

පාරමී තවමත් මැශින් ක්‍රියාකරුවන් දෙස බලාහිදියි. වයසින් පොඩි එකියක් නොවුනත් කරන වැඩ පොඩි එවුන්ටත් අන්තය. ඇය දෙස බලාගෙනම සෙමෙන් සෙමෙන් තරප්පුව දිගේ ඉහලට නැගි නාරද තම කැබිනය තුළට ගියේය. " 

  
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


" ආ සුදු නංගියේ , උඹ ආවද ? "

" ඔවු අක්කේ , උඹ කොල්ලා අතේ එන්ඩයි කියලා පයින්ඩයක් එවලා තිබුනයි කිවුවම මොකද කියලා බලන්ඩයි ආවේ මේ තකහනියේ. "

" ඔවු බං. අපේ මනුස්සයා ආන්ත්‍රාවෙලත් දැන් තුන් අවුරුද්දක් වෙන්නත් ලඟයි. " 

" ඒකත් හැබෑව නේන්නම් අක්කේ. අදක ඊයෙක වුණා වගේ නොවැ මට නම් දැනෙන්නේ. තුන් අවුරුද්දක් ගිය ඉක්මන. 

දෙදෙනාගේ කතා බහ ඇසුනු නිත්‍යා තකහනියේ ඉස්තෝප්පුවට දුවගෙන ආවාය.

" යසයි ගැණු ලමිස්සියක් ඉගිල්ලෙන හැටි " සුදු නැන්දා විහිළුවට නොක්කාඩු කීවාය.

" මම සුදු නැන්දගේ සද්දෙටනේ මේ දුවගෙන ආවේ. " නිත්‍යා සුදු නැන්දාගේ ලගින් හිඳගෙන අතින් අල්ලා ගත්තාය. 

" අද පන්ති නැතැයි දුවේ. "

" අද නෑ නැන්දේ. ඉන්ඩකෝ මම තේ ටිකක් හදාගෙන එන්නම්. " 

" දුවේ මටත් සිනී ඩිංගක් අඩුවෙන් හදහන් හොඳේ. " 

නිත්‍යා කුස්සිය දෙසට පාතැබුවාය.

" ඈ බං අක්කේ දැං කවදාටද ඔය දින වැටිලා තියෙන්නේ . . "

" ඒ ගැන තමයි මාත් මේ කල්පනා කරකර උන්නේ. මේ පාර දිනේවැටිලා තියෙන්නේ වෙසක් පෝයට කලින් දා නොවැ. "

" ඒකත් එහෙමද. එතකොට මේ පාර වෙසක් වැටිලා තියෙන්නේ දහා හතර නේද. " සුදු නැන්දා කැලැන්ඩරය දෙස බලාගෙන ඇසුවාය.

" ඔවු නැන්දේ. එතකොට දොළහා රෑ බණ , දහතුන දහවල් දානේ. මේ තේ ටික බීලම ඉමු නැන්දේ "

" හ්ම් පිංසිද්ධ වෙච්චාවේ. හැබැයි අක්කේ අපේ ලොකු හාමුදුරුවන්ට දැන්ම තියා දන්වලා උන්නොතින් හොඳයි නෙවෙද ? "

" ඒක තමයි මාත් මේ හිතුවේ. අපි අද හවහට ගොහින් ලොකු හාමුදුරුවන්ට ආරධනා කරමුද. උඹටත් ආවහැකි නොවැ. "

" හොඳා හොඳා මම හවස් වෙලා එන්නම්කෝ එහෙනම්. " ආ දුවේ මේ කෝප්පේ ගත්තනම්. "

" ආ දෙන්න නැන්දේ "

" ඔය නැගිට්ටෙ යන්නද නංගියේ "

" ඔවු අක්කේ. පොඩි එකාගේ දරුවා නාවන්න මම මේ වතුර රත්වෙන්න තියලා ආපු ගමන්. ඉර මුදුන් වෙන්න කලියෙන් ඒ වැඩරාජකාරි අහවර කරන්න එපැය. "

" හ්ම් හොඳා හොඳා , ගිහින් වරෙන්කෝ එහෙනම් "

" මම යනවා දුවේ. "


" හොඳයි නැන්දේ. "   



. . . මතු සම්බන්ධයි . . .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴