Sunday, March 31, 2019

පියාපත් ලැබී 29

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . ව්සිනමවෙනි කොටස . . .



පාරමී තේකත් රැගෙන නාරදගේ කාමරය දෙසට ගියාය . එකවර කාමරයට පිවිසිය නොහැක . කෝකටත් තට්ටුකරලා යනවා . පාරමී දෙවරක් දොරට තට්ටු කළාය . කෝ සද්දයක් නෑ නේ . ඉන්පසු දොර සෙමෙන් විවර කර කාමරය තුළට ගියාය . දෙ යි ය නේ . . පවු , තාම හොදටම නිදි . පාරමී නාරද දෙස බලා සිටියාය . ඔහු තමා දුන් සරම ඇද උඩට මුකුත් නැතිව නිදා සිටියි .

පාරමීගේ සිතට මහත් ආදරයක් , ලෝබකමක් දැණුනි . ඒත් තමාට එවන් සතුටකට හිමිකම් කීමට තවමත් වරම් ලැබී නැත . ඕ සිතුවාය . නාරද අනෙක් පැත්තට පෙරලෙත්දී නාරදගේ  හිස අසල තිබී ෆෝන් එක බිමට වැටෙන්න ගියේය . පාරමී සැනෙකින් එය වැටෙන්න නොදී තම අතට ගත්තාය .

' දෙයියනේ ' මේ මම නේද . සෙටි එකේ නිදාසිටින ඉරියවුවෙන් ඡායාරූපයක් තිරය මත සටහන්ව ඇත .  අනේ ඇගිල්ලත් උරනවා . පාරමීට ලැජ්ජාවක් දැණුනි . මෙයා මේ ෆොටෝ එක තියාගෙන මොනවද අප්පා කරන්නේ . ස් ස් ස් . .  ඇගත් ඇරිලා . දුහුල් නයිට් ඩ්‍ර්ස් එකට ලාවට සේරම පේනවා . පාරමී ෆොටෝ එක මත ඩිලීට් බටන් එක එබුවාය . ඒත් ඇයි මම එහෙම කරන්නේ . පාරමී ඩිලීට් කන්ෆර්ම් නොකර කල්පනා කළාය . ඇය යලිත් ඒ පින්තූරය එලෙසටම තිබෙන්න හරින්න සිතුවාය . යලිත් එදෙස බැලූ පාරමී සෙමෙන් ෆෝන් එක ඇදේ පසෙකින් තැබුවාය .

" නාරද . .  නාරද . . " පාරමී සෙමෙන් ඔහුට කතා කළාය . දෑස් හැර බැලූ නාරදට තමන් ඉන්නේ කොහේදැයි එකවර සිතාගනු නොහැකිව වටපිට බැලුවේය . දෑස් පොඩි කළේය .

" තේ බොන්න . . පාරමී හිනැහුනාය .

නාරද යමක් මතක් වී තම දුරකතනය කොහේදැයි විපරම් කළේය් .
" ෆෝන් එක වැටෙන්න ගියා . මම එහා පැත්තෙන් තිබ්බා . නාරදට දෙලෝ රත්විය . ෆොටෝ එක දැක්කාවත්ද . නමුත් ඒ බවක් පෙනෙන්නට නැත . නාරද ද කිසිදු වෙනසක් නොපෙන්වීමට වගබලාගත්තේය . නාරද තේක බී අවසන් වනතුරු පාරමී ලගට වී සිටියාය .

" මේ තේ ඔක්කොම බොන්න ඕනද ? " නාරද පාරමී දෙස බලා විමසුවේය .

" ඇයි . . රස නැත්ද . "

" නෑ රසයි . . . වැඩියි . මෙච්චර බොන්න බෑ . "

" බීලා ඉතුරුකරන්න . " පාරමී නාරද දෙස බලා කීවාය .

නාරද  උඩට කිසිවක් ඇද නොසිටි නිසාවෙන් සිතට අපහසුවක් දණුනි . ඔහු තේකෙන් තුන්කාලක් පමණ බී ඉතිරිය පාරමී අත තැබුවේය .

" තෑන්ක් යූ . . " කෝප්පය අතට ගත් පාරමී කාමරයෙන් එළියට ගියාය .

තේක ගෙනාවට මමනේ තෑන්ක්ස් කරන්න ඕන . ඒත් මෙයානේ තෑන්ක්ස් කළේ . නාරද සිතුවේය .

මේරි අම්මා පෙනෙන්නට නැත . පාරමී කෝප්පයේ ඉතිරි තේ ටික සෙමින් තොලගෑවාය . පාරමීට සිහින් සිනාවක් නැගුනි . සිත සීතලවීගෙන යයි . පාරමී කිචන් එකට ගියාය .

" මොකද පුංචි බේබි කෝප්පයත් අතේ තියාගෙන කල්පනා කරන්නේ . "

" මුකුත් නෑ මේරි අම්මේ . "  පාරමී කෝප්පය සෝදා සෙමින් සාලය දෙසට පියමැන්නාය .

තව ඩිංගෙන් අතේ මාට්ටු . පාරමී සිතූ මුත් මේරි අම්මා සියල්ල බලා සිටි බවක් ඕ නොදත්තාය .

ඉක්මනින් ලෑස්ති වී තුන් දෙනාම රෝහල වෙත ගියෝය . ඔවුන් දසනායකගේ කාමරයට ඇතුලු වන විට ඔහු නින්දේ පසුවුණි

" උදේ නැගිට්ටා . මිස්වත් ඇහුවා . බේත් දුන්නාම ආයෙමත් නිදාගත්තා . තව ටිකකින් නැගිටියි . "  නර්ස් කෙනෙක් ඔවුනට පැවසුවාය  .

තවත් පැය කාලක් පමණ ඔහු නින්දේ පසුවන්නට ඇත . ඔහු අවදි වී වටපිට බැලුවේය . පාරමීත් නාරදත් තමන් දෙස බලා උන්නේය . මේරි අම්මාද  පසෙකට වී උන්නාය .

" තාත්තේ . කොහොමද දැං  . . " පාරමී හිස අතගාමින් විමසුවාය .

" දැං හොදයි දූ . . . " දසනායක දියනියගේ කදුළු පුරෝගත් දෑස් දෙස බලමින් පැවසුවේය .

" අපි ගොඩාක් බයවුණා . තාත්තිට මොකද වුණේ . . "
" මට මොකද වුණේ කියල එච්චර දැණුනේ නෑ දූ . . . " දසනායක නාරද දෙස බලමින් කීවේය .
" දැං ඕවා ගැන නොහිතා ටිකක් රෙස්ට් කරන්න සර් . . . සේරම හරි යයි . "
                               

. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

පියාපත් ලැබී 28



" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිඅටවෙනි කොටස . . .



" නාරදට නිදිමත ඇති නේද . . නාරද නිදාගන්න . මට උඩ ඉන්න බයයි . මම සෙටි එකෙන් ඉන්නම් . "  පාරමී සාලය දෙසට යන්න හැරුනාය .

" ඉන්න මමත් එන්නම් . ඔයාට නින්ද යනකන් ඉන්නම් . "

පාරමී සෙටි එකේ ඇලවුණාය . නාරද එයට පසෙක වූ පුටුවකට බරවුනේය .

" මම නිසා ඔයාට වදේ නේද . . "

" අනේ නෑ . මම උස්සගෙන ඉන්න එකක්‍ යැ ." නාරද සිනාසෙමින් කීවේය . පාරමීද පෙරලා සිනාසුනාය .

" නින්ද ගියාට පස්සේ මාව උස්සගෙන යන්නේ එහෙම නෑ ." පාරමී කීවාය .

ඒ ඇස් ඔවුනොවුන් හා වෙලී සිටියහ . දෙදෙනාගේම දෙනෙත් දොඩමලු වුවත් ඔවුන් දෙදෙනාම මුවින් ගොලුව උන්නෝය . රැය තවතවත් දිගුවන්නට ඇත . ලගට ගොස් තුරුලු කරගන්න නාරදගේ සිත අපමණ හඩගෑ මුත් ඔහු සිතට විලංගුලෑවේය .

" හ්ම් . . . " පාරමීගේ මුවින් දිගු සුසුමක් පිටවුණි .

" ඇයි මේ . . . " නාරද පාරමී දෙස නෙත් තබාගෙනම ඇසුවේය .

" මුකුත් නෑ . . ඔයා ගිහින් නිදාගන්න නාරද . ඔයා පවු . නිදිමරන්න එපා . මම නිදියන්නම් .

නාරද හිනැහුනා මිස පිළිතුරක් දීමට නොගියේය . කොට්ටය අතට ගත් පාරමී එය තම හිසට සෙමෙන් යටකළාය . තප්පරෙන් තප්පරය ඇගේ නෙතු අඩවන්වන හැටි නාරදට පෙනුනි . රෑ ඇදුමට ඈ වඩාත් පියකරුව විකසිතව සිටියාය . පාරමීව නාරදගේ සිත් හී නොමැකෙනා අයුරින් සටහන්වීමට ගතවූයේ නිමේශයකි . කවදාකහරි මගේම වෙනවානම් . නාරද තම සිතට ආයේ ආයේ කීවේය . ඇය තම නෙත් පාමුල සිටියේ කිරිගරුඩෙන් නෙලූ කිරිල්ලියක් ලෙසිනි .

ඇය තද නින්දකට වැටෙන්නට ඇත . කොට්ටය පසෙකට වැටුනි . සෙමෙන් සෙමෙන් ඇගේ දකුණු අතේ මහපට ඇගිල්ල මුව තුළ රැදවුණි . නාරදට ශනිකව නැගුණු සිතුවිල්ලකට ශබ්ද නොනැගෙන්න නැගිට කාමරය වෙත ගියේය . ඔහු යලි පුටුව වෙත පැමිණියේ තම ජංගම දුරකතනයත් අතැතිවයි . ඔහු දෙවරක් නොසිතාම පාරමීව ඡායාරූපයක සටහන් කොට ගත්තේය . නාරද එදෙස සිනාමුසු මුහුණින් බලාසිටියේය . මේක මට තෑග්ගක් . නාරදට යලිත් සිනා නැගුනි . මට හිතෙනවා සමහරවිට මෙහෙම එකක් ඔයාගේ වෙන කාලගවත් නැතුව ඇති . නාරදගේ සිතට ජයග්‍රහණයේ සුවයක් දැණුනි .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



ඔෆිස් රූම් එකට හැරෙනවාත් සමගම නිලංකාරවී යනු මතකය . ඉන්පසු කිසිවක් මතකයේ නැත . සමහරවිට කලන්තයක් හැදෙන්න ඇති . දසනායකට සිතුණේය . ටික වෙලාවකින් නර්ස් කෙනෙක් කාමරයට ඇතුළු වුණාය .

" ගුඩ් මෝනිං මිස්ටර් දසනායක . දැං කොහොමද ?"

දසනායක සිනාසෙන්න වෙරදැරුවේය . නර්ස් ඇද අසල තිබූ ෆයිල් එකක මොනවදෝ යමක් ලිවීය .

" මට මොකද නර්ස් වුණේ . "

" ආ . . මිස්ටර් දසනායකට පොඩි කලන්තයක් වගේ ඇවිත් . ඊයේ රෑ ඇඩ්මිට් කළා . දැං නෝමල් . බයවෙන්න දෙයක් නෑ . හොඳද . . "

" දුව . . "

" ආ දුවයි දුවගේ මහත්තයයි ගොඩාක් රෑ වෙනකන් හිටියා . පස්සේ ඩොක්ටර් යන්න කිව්වට පස්සේ තමයි ගියේ . සමහරවිට දැන් එනවත් ඇති . මිස්ටර් දසනායක ටිකක් රෙස්ට් කරන්නකෝ ." ඇය සිනාමුසුව කීවාය .

දුවයි මහත්තයයි . දසනායක කල්පනා කළේය . සමහරවිට නාරද ගැන වෙන්න ඕන ඔය කියන්න ඇත්තේ .

" මාව කොහොමද නර්ස් මෙහෙට ගෙනාවේ . " දසනායක සිදුවූ දෙය වටහා ගැනීමට උත්සාහයක් ගත්තේය .

" මිස්ටර් දසනායකට මුකුත්ම මතක නැත්ද . දුවගේ හස්බන්ඩ් තමයි උස්සගෙන ආවේ . දැං සර් ටිකක් ටෙස්ට් කරන්න . ඕවා ගැන හිතන්න එපා . තව ටිකකින් ගෙදර අය ඒවි නේ . එතකොට දැනගන්න බැරියැ . "

නර්ස් බේත් පෙත්තකුත් පෙති බාගයකුත් දසනායකට බොන්න දී යලිත් ෆයිල් එකේ කිසිවක් සටහන් කොට දසනායක සමග සිනාසී කාමරයෙන් පිටවුණාය .

හ්ම් . . නාරද තමයි මාව උස්සගෙන එන්න ඇත්තේ . මගේ කෙල්ලට මොනවා හිතෙන්න ඇත්ද . පවු දෙයියනේ . සමහරවිට හොදටම අඩන්න ඇති . දසනායක කෙමෙන් කෙමෙන් යලි නින්දකට වැටුණේය .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පාරමී සාලයේ ඔරලොසුවේ හයේ කනිසම වැදෙන හඩින් අවදිවූවාය . මේරි අම්මා තේ හදනවා විය යුතුය . පාරමී සෙටි එකෙන් නැගිට කිචන් එක දෙසට ඇවිද ගියාය .

" ආ පුංචි බේබි නැගිට්ටද . .  මම මේ උදේම ලොකු මහත්තයාව බලන්න යනවාය කියපු නිසා සුප් එකක් ටක්ගාල හදන්න ලෑස්ති වුණේ . "

" හ්ම් . ඒක හොදයි මේරි අම්මේ . දෙන්න හොද නම් ඩොක්ටර්ගෙන් අහලා දෙන්න පුළුවන්නේ . අපි කෝකටත් හදාගෙන යමු . "

" ඉන්න මම පුංචි බේබිටයි අර මහත්තයටයි තේ හදලා ඉන්නම් ."  මේරි අම්මා තේ හදන්න සූදානම් වුණාය .

" එපා මේරි අම්මේ . මම හදන්නම් . මේරි අම්මා තාත්තිගේ සුප් එක හදන්න . නැත්නම් පරක්කුවෙයි . " පාරමී කේතලයට වතුර පුරවන ගමන් කීවාය .

" පුංචි බේබිට තේ හදන්න හැකිද . අර මහත්තයටත් දෙන්න එපෑ බේබි . මම හදන්නම් . " පාරමීගේ තේ හැදිල්ල කෙසේවේදැයි සිතමින් මේරි කේතලය ගැනීමට සැරසුනාය .

" නෑ නෑ . . මම හදන්නම් . මේරි අම්මා ඉන්නකෝ . "

" අනේ මන්දා . . " මේරිගේ මුවගට සිනාවක් නැගුනි .

" ඇයි මේරි අම්මා හිනාවෙන්නේ . " පාරමී නෝක්කාඩු ස්වරයෙන් ඇසුවාය .

" නෑ බේබි . එහෙම නෑ . "

" මට තේ හදන්න පුළුවන් . බලන්නකෝ මම මේරි අම්මටත් එක්ක හදන්නම් . "

" දෙයියනේ මට එපා බේබි . බේබිට කියලා මට පුලුවනෑ තේ හදාගන්න . බේබිලා බොන්න . මම පස්සේ බොන්නම් . "

" නෑ නෑ . ඔයා පඩියා නොවී ඉන්නකෝ . මේරි අම්මා හැමදාම අපිට හදලා දෙන්නේ . ඉතින් අද මගේ තේක බීලා බලන්නකෝ . "

පාරමී අඩුම කුඩුම ගෙන තේ පිළියෙල කරන ආකාර මේරි හොරැහින් බලා සිටියාය . හැබැයි රට ඉන්නකොට තේ හදාගෙන බීලා පුරුදු ඇති මයේ හිතේ . ඈ සිතුවාය .

ජොග්ගුවට තේ සෑදූ පාරමී මේරි අම්මාගේ කෝප්පයටත් පාරමීගේ ලොකු කෝප්පයටත් තේ වක්කලාය .

" ඔන්න මේරි අම්මා බීලා බලන්නකෝ කොහොමද කියලා . " පාරමී තේක අත තබන ගමන් කීවාය .

" එතකොට බේබි අර මහත්තයට . "

" මේ තියෙන්නේ . " පාරමී තම කෝප්පය පෙන්නන ගමන් කීවාය .

" එතකොට බේබිට ."

" මං පස්සේ බොනවා මේරි අම්මේ . දැම්ම බොන්න බෑ . "

පාරමී තේ පිරුණු තම කෝප්පය රැගෙන සාලය දෙසට පියමැන්නාය .

මේ දරුවා කරන වැඩේ හරිද අම්මපා . මොනවා වුණත් පිට මනුස්සයෙක්නෙවැ . ඔහොම තේකක් දෙන එක හරිද .පීරිසි කෝප්පෙක එපෑ දෙන්න . අනේ මන්දා . බේබි එයාගේ කෝප්පෙට තේ දාගෙන ගියේ . මේ කෙල්ල හිතේ මොනවාහරි හංගගෙන ඉන්න පාටයි . මේරිගේ මුවට සිහින් සිනාවක් නැගුනි .




. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Wednesday, March 27, 2019

ජයමල්ල . . .



කොහේදෝ තිබුණු අදුරක් අහසට ඇවිත් . වෙලාවකට හිතෙනවා අහස , පොළොව , ඉර , හද  මුං ඔක්කෝම එක්කහුවෙලා මට කෝචොක් කරනවද කියලත් . හරියට මගේ හිත කියවනවා වගේ . ධර්මදාස අහස දිහා බැලුවේ නොරිස්සුමකිනුයි .


ඇත්ත , මට මොනතරම් දෙයක් මේ ජේවිතේ ලැබිලා තිබුණත් මගේ හිතට මහත් හිස්කමක් දැනෙනවා . මං දන්නවා ඒක කාගෙන් හැංගුවත් මගේම හිතෙන් මට හැංගෙන්න බෑ කියලා .


එකවරම සර සර හඩින් රෝලර් ගේට්ටුව එසවිනි . ඒ අමන්දා අලුතින් ගත් අවුඩි රතයයි . ගරාජය තුළ රතය නැවැත්වූ අමන්දා ගෙට ඇතුලු වුණාය .


" මොකද අප්පච්චි එළියට වෙලා අහස දිහා බලාගෙන . මොකක් හරි ප්‍රශ්නයක් ද ? "


ඒ පාර මෙයත් පටන්ගත්තද ? යි ධර්මදාසට සිතුනත් හේ එය වචනයය නොපෙරලුවේය . ඔහුගේ මුවගට නිතැතින් සිනාවක් නැගුනි .


" එහෙම මොකවත් නෑ පුතේ . මං මේ හුලං ටිකක් වදින්නත් එක්ක එළියට ආවා . "


" ඒ නං බොරු වගේ . එහෙනං හිනාගියේ ඇයි කියන්න . මොකද පරණ  කෑල්ලක්වත් මතක් වෙලාද ? " අමන්දා ඇසුවේ සිනාසෙමිනි .


" මේ . .   දුවන්නයි කිව්වේ මගෙන් කුණුහරුප අහගන්නේ නැතුව . එනවා මෙතන කෑල්ල ගැන අහන්න . "  ධර්මදාස බොරු තරහක් හිතට ගත්තේය .


අමන්දා හිනැහෙමින් නිවස තුළට දිවගියාය .


" අප්පච්චිටත් තේකක් ගේන්නද . . . ? "


" හා . . හා . . පොඩ්ඩක් බොමු . "


අමන්දාට දැන් ලබන්නේ විසිතුනටය . කුඩා කළ හිදම හැදී වැඩී මේවනතෙක්ම ධර්මදාස ඈ පසුපසින්ම උන්නේය . ධර්මදාසත් අමන්දාත් ජීවත් වූයේ දුවත් පියාටත් ලෙසට වඩා  මිතුරන් ලෙසිනුයි . පාසල් කාලය තුළ පාසලේ ඉහලම දස්කම් දක්වා ඉගෙනුම ලබා සිටි අමන්දා උසස්පෙළ විශ්‍යවිද්‍යාල සුදුසුකම් ලාබියෙකු වුවත් ඈ ඒ සදහා මැලි වූවාය . ටිකෙන් ටික තම ව්‍යාපාර කටයුතුවල නියැලෙන්න පටන්ගත් ඇය දැන් සම්පූර්ණයෙන් තම ව්‍යාපාරයේ කටයුතු බලා හදාගනී . ඇය ඒ සදහා ඇප කැප වී සිටින්නීය . සතියකට වරක් පමණ කාර්‍යාලය වෙත ගොස් කටයුතු සොයා බැලූ ඔහු දැං කාර්‍යාලයට නොයන තරම්‍ ය.


" ඇත්ත කියන්න අප්පච්චි . මම සීරියස් අහන්නේ . අප්පච්චිට මොකක් හරි ප්‍රශ්නයක් ද ? " අමන්දා තේක දෙනගමන් ඇසුවාය .


" අනේ නෑ ළමයෝ . එහෙම දෙයක් නෑ . මං ඉතිං මේ නිකං ඔහේ කම්මැලිකමට හිටියා . වෙන දෙයක් නෑ . "


" හරි හරි . . අපි බලමුකෝ . . . " අමන්දා තර්ජනාත්මක බැල්මක් හෙලුවාය .


" පිස්සි . " ධර්මදාස ඇගේ ඔලුව අතගෑවේය .


" ආ . . මට අමතක වුණානේ . අප්පච්චි ඊයේ නිදි වෙලාවේ ලොකුහාමුදිරුවෝ කතා කලා. නිදියි කිව්වම පස්සේ කෝල් එකක් ගන්නම් කිව්වා . මම කියන්නයි කියලා හිටියේ . අමතක වුණා . " ඈ තේක බොන අතරතුර හොරෙන් මෙන් බැලුවාය.


" යසයි පණිවිඩ කියන වෙලාව . ඊයේ එක අද ද කියන්නෙ . " ඔහු අමන්දා ට සෙමෙන් ටොක්කක් ඇන්නේය .


" ඌයි .. අමතක වුණානේ ඉතිං . " අමන්දා තොදොල් වූවාය .


" දුවත් යමුද පන්සල පැත්තට ගිහින් එන්න ."


" යමු අප්පච්චි . ඒත් ඇයි මේ හදිස්සියේ . "


" නෑ ළමයෝ හදිස්සියකට නෙමෙයි . දුවගේ උපන්දිනයත් එනවා . අම්මගේ දානෙත් දෙන්න ඕන . ඉතින් පන්සලට ආරාධනා කරන්ටත් එපැයි . අනික ලොකු හාමුදුරුවෝ මතක්කරලා එවලා තිබුණා ධාතු මන්දිරයේ වැඩ පටන්ගන්නවා කියලා . ඉතිං ඒකට අපිත් මොනවා හරි දායකත්වයක් දෙන්න ඕනනේ . නේද . . . "

" හ්ම් . යමු එහෙනං . මම වොශ් එකක් දාගෙන ලෑස්ති වෙලා එන්නම් . කෝ දෙන්න අප්පච්චි කෝප්පේ . "  අමන්දා හිස් තේ කෝප්පයත් රැගෙන නිවස තුළට ගියාය .

ධර්මදාස කල්පනාවට වැටීමට ගතවූයේ නිමේශයකි . යාන්තමට පොද ගහනවා . ඔහුට අහස දිහා බැලුණා . හරියට මගේ හිත ඇතුළ වගේ . ධර්මදාසට නිකමට හිතුණා . කොළඹ අතහැරලා කුරුණෑගල පදිංචියට ඇවිත් දැං අවුරුදු විසිතුනක් විතර වෙනවා . අමන්දාගේ වයසට පොඩ්ඩයි අඩු . මේ කාලේ ඇතුලේ මොනතරම් පෙරලියක් වුණාද .

එදත් මේ වගේම අදුරු දවසක් . ඔහුට ආයෙත් මතක් වුණා . ඒ අදුරු දවසේම ජීවිතයේ ලැබුණු ලොකුම ආලෝකයත් ලැබුණු බව හැබෑව . ඒත් ...

ඒ වෙනකොට ධර්මදාස වැඩ කළේ මට්ටක්කුලිය පැත්තේ කොම්පැනියක . හැමදාම වගේ ගේට්ටුව ලගට එන චන්දරේ ගෙන් ස්වීප් එකක් දෙකක් ගන්න ධර්මදාස පුරුදුවෙලා උන්නා . හැමදාකම හම්බෙන නිසා දෙන්නා අතරේ ලෙංගතු කමක් ඇතිවුණා . ධර්මදාස දැක්කා චන්දරේගේ දින චර්යාවේ වෙනසක් තිබුණා .දවසක් මෙහෙම ඉදලා චන්දරේගෙන් මේ ගැන ඇහුවා .

"  මං මේ  අහන්නමයි හිටියේ , තමුසේ මොකද දැං උදේටත් බීලා . දැං හැමතිස්සෙම ඉන්නේ බීගත්ත ගමන් . "

" දන්නැද්ද ඉතිං මහත්තයා . අපේ ඔය ගෙවල්වල ත් පොඩි පොඩි ප්‍රශ්ණ වෙනවනෙ . "  චන්දරේ ඕනාවට එපාවට උත්තර දුන්නේය .

ධර්මදාස එතනින් එහාට කිසිවක් කීමට නොගියේය .

ටික ටික මිනිහා එන එක අඩුවෙලා ගියා . ඊට පස්සේ සැරෙන් සැරේ ඇවිත් එක එක ඒවා කියලා සිකුරුටිලාගෙනුයි වැඩ කරන කොල්ලන්ගෙනුයි කීය කීය හරි ඉල්ලන් ගිහින් තිබුණා . ඒ ඉල්ලං ගිහිල්ලා කරලා තිබ්බේ ඒ සල්ලිවලින් බීපු එකලු . ගෙවල් ලග කොල්ලෙක් මම දවසක් චන්දරේව අහපුවෙලාවක කිව්වා මට මතකයි .

" අප්පච්චි යමුද ? "  අමන්දාගෙව් හඩින් ධර්මදාස පියවි සිහියට ආවේය .

" ආ . . යමු . " ඔහු කාමරය වෙත ගොස් ලක ලෑස්ති වුණා .



  ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


" ආ . . මං ඒත් මේ බැලුවා කවුද කියලා . මේ අපේ උපාසක මහත්තයා නේ . අද දුවත් එක්කගෙනම ඇදිත් තියෙන්නේ . "
" එහෙමයි අපේ හාමුදුරුවනේ . " දෙදෙනාම ලොකුහාමුදුරුවන්ට නමස්කාර කළෝය .

" මං බුදුන් වැදලා එන්නම් අප්පච්චි  . "  අමන්දා ඔවුන්ගෙන් ඈත්ව බුදුගේ දෙසට පියමැන්නාය .

" දැං ඉතිං මේ දරුවගේ අනිත් කටයුතු වලටත් ලක ලෑස්ති වෙන්ට වෙයි නේද මහත්තයෝ . දැං හොද වයස . " ලොකුහාමුදුරුවෝ  සුපුරුදු ලෙංගතු කමින් කීවේය .

" එහෙමයි . "

" අපි හොද ගුණ යහපත් තැනකින් බලමුකෝ හෙමින්සැරේ . දුවව අප්පච්චි තරමට බලාගන්න පුළුවං කෙනෙක්ව එපායැ හොයන්ඩ . කෝකටත් මට ඒ දරුවගේ හදහන ගෙනල්ල තියමුකෝ . "

" හොදමයි හාමුදුරුවනේ . "

" ඒත් මේ දරුවා එහෙම දෙයකට තාම බෑ කියනවනේ අපේ හාමුදුරුවනේ. "

" අපි ඒක බලමුකෝ "


  ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


අප්පච්චී ලොකු හාමුදුරුවොත් එක්ක බර කතාවක බව පෙනේ . බුදු මැදුරට ගොස් බුදුන් වැන්ද අමන්දා බෝ මලුවේ ඇවිද්දාය . ඇගේ ගතටත් සිතටත් අමුතු සිසිලසක් දැණුනි . ඇය වළාකුළු බැම්මට පිටදී හිද ගත්තාය . එහා මෙහා යන සැදැහැවතුන් දෙස ඇය බලා සිටියාය . නන්නාඳුනන මුත් ඇතමෙක් ඇය හා සිනාසුනාය . අපිත් එක්ක ජීවිතයේ දන්න නොදන්න කොයිතරම් දෙනෙක් බැදීම් ඇති කරගත්තත් ඒ කිසි කෙනෙකුට , කිසිම දෙයකට තමන්ගේයි අයිතියක් කියන්න බෑ නේද කියලා ඇයට සිතුනා .

සමහරවිට අප්පච්චි ලබන මාසේ දානේ ගැන කතාකරගන්නවා වෙන්න ඇති . තම උපන් දිනයේදීම තම මව මියගොස් තිබුණු නිසාවෙන් ඇය යමක් කමක් තේරෙන වියේ පටන් උපන්දින සැමරීමක් නොකළාය . කිසිදු සාදයක් නොපැවැත්වූවාය . හැම වසරකම මෙන් මෙවරත් ඇය වැඩිහිටි නිවාසයකට දානය බාරගෙන තිබුණි . හැම උපන් දිනයකටම පසුදා අප්පච්චී පන්සලට දානය පිළියෙල කර පිලිගන්වයි . මේ ඇවිදින් හිදින්නේද ඒ කටයුත්ත වෙනුවෙන් පන්සලට ආරාධනා කිරීමටයි . තම පියා හා බලන කළ තමන් ද ඔහුසේම දනට පිනට නැඹුරු වීම ගැන අමන්දා අතිශය සතුටට පත්වූවාය . කවුරුන් අතින් හෝ " තාත්තා වගේමයි දූ " යනුවෙන් ඇසීමට ඈ ප්‍රිය කළාය .

සැබැවින්ම ඔහු ඇතැම්විට තේරුම් ගැනීමට නොහැකි තරම් ප්‍රෙහේලිකාවකි . ඔහු මේ කරන පිංකම සිදු කරණුයේ තම මවටත් තම හොදම යහලුවාටත් පිං පැමිනවීමටයි. යහලුවා මියගොස් ඇත්තේද ඒ ලග දවසක යි දිනක් අප්පච්චි කීවා මතකය . අම්මාගේ මල්මාලයක් දාපු පිංතූරය එක බිත්තියක සවිකර තිබෙන අතර අනෙක් බිත්තියේ තම යහලුවාගේ මල්මාලයක් දැමූ පිංතූරයක් කාර්‍යාල කාමරයේ ඔහු තබාගෙන හිදී . ඔහුව කිසිදාක අමතක නොවන බව ඔහු කීප විටකම පවසනු ඇසී තිබේ .

" අපි යමු නේද දුව . . ? "

ධ්‍යානයකට සමවැදී මෙන් හුන් අමන්දා හිස එසෙවුවාය .

" යමු අප්පච්චි . "

නිවසට එන අතරතුර දී දෙදෙනා අතර වැඩි කතා බහක් නොවුනි .

" අම්මගෙයි අප්පච්චිගෙයි වැඩිය ෆොටෝස් නෑ නේද අප්පච්චි . "

අමන්දාගේ වචන ධර්මදාස ගේ හිතේ මහ බරට එල්ලුනි .

" ඒ කාලේ එච්චර ඕවාට එලෙවුවේ නෑ දරුවෝ . " ඔහු අහක බලාගෙන උත්තර දුන්නේය .

" අප්පච්චි "

" ම්ම් . . "

" අපි මේපාර හාමුදුරුවෝ ගෙදට්ට වඩම්මලා දානේ දෙමු . " අමන්දා ඇසුවාය .

" ඇයි දරුවෝ එකපාරටම එහෙම හිතුනේ . "

" නෑ අප්පච්චි අපි ගෙදරට වඩම්මලා දානේ දෙමු . පැං වඩලා අටපිරිකර පූජා කරලා . . "

" හ්ම් . .. පුතා කැමති විදියට කරමු . " ධර්මදාස ගේ දෑස් දිලිසුනේය .

"ඇයි අප්පච්චි අප්පච්චිගේ ඇස් වල කදුලු . "

" නිකං පුතේ . අපි අංගසම්පූර්ණව දානේ වැඩ ටික කරමු . " ධර්මදාස අමන්දා දෙස බලා සිටියේය .


   ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


දිනය එළඹින . අමන්දා වැඩිහිටි නිවාසයේ අම්මලා තාත්තලා පිරිසවද කාර්‍යාල මණ්ඩලයේ පිරිස සමග කතාකොට කෙසේ හෝ නිවසටම ගෙන්වා ගැනීමට හැකිව තිබුණා . නිවසට වැඩමකිරීමට යෙදුණු මහා සංඝරත්නය උදෙසා සැවොම එකතුවී පිළියෙල කළ දානය පිළිගැන්වූවෝය . එමෙන්ම සෑම වැඩිහිටියෙකුටම පිරිකර පූජා කිරීමට හැකි වන පරිදි පිරිකර අමන්දා ලෑස්ති කොට තිබීමත් විශේෂයක් .

කාර්‍යාල කාමරයේ බිත්ති දෙකක සවිකොට තිබූ පිංතූර දෙක ලං ලංව තබා තිබුණා .ධර්මදාසත් අමන්දා ත් එක්ව මියගිය දෙපලට පැං වඩා පිං අනුමෝදං කළා .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


සියලු කටයුතු නිමාවෙන් පසු නිවස තුළ තිබි නිහැඩියාව නිහැඩියාව යලිත් පෙර ලෙසම විහිදී තිබුණි . නිහැඩියාව ද ඇතැම්විට සිතට මහත් බරක් දනවයි . එකට තබා තිබි ෆොටෝ දෙක ධර්මදාස අතට ගෙන බලාසිටියේය .

එදා චන්දරේ තම කාර්‍යාලය් වෙත දුව ආ සැටි ධර්මදාස ට සිහිවින .

" අනේ මහත්තයෝ අපේ ගෑනිට ගොඩක් අමාරුයි . මට මේ රුපියල් 500 ක් පුළුවන්නම් දෙන්න . " එදා චන්දරේ දුවගෙන ඇවිත් කිව්වා . මෙතන ටිකට් 50 ක් විතර තියෙනවා . අනේ මහත්තයෝ මේ පොත අරගෙන දෙන්න . පිං සිද්ද වෙයි .

" රු 500 ක් . මොකද්ද චන්දරේ තමුසෙට වෙලා තියෙන්නේ . දැං එක එක ඒවා කිය කියා කීදෙනෙක්ගෙන් සල්ලි ඉල්ලං ගිහින් බි බී හිටියද . බලනවකෝ තමුසේ දැං තමුසෙගේ ගෑනිවත් විකුණගෙන කන්නද හදන්නේ . ඔය බේබදුකම නවත්තගන්නවා අයිසේ . යනවා යන්න මෙතනිං මගේ යකා අවුස්සන්නේ නැතුව . "

" අනේ නෑ බුදු මහත්තයෝ . බුදුන් පල්ලා . මයේ මේ ජීවිතේ පල්ලා මගේ ගෑනිට අමාරුවෙලා ඉන්ජෙක්ෂන් එකක් අරං එන්න කියලා දොස්තර මහත්තයා කිව්වා . අනේ බුදු මහත්තයෝ මං මේ ඇත්තමයි කියන්නේ ."

" යනවා මෙතනින් චන්දරේ . මට වැඩ තියෙනවා . තමුසෙ මට පේන්නේ අද උදේම ගහලද කොහෙද . මේ මේ ටිකට් ටිකත් අරගෙනම යනවා . මට ටිකට් ඕන නෑ . "

කිසිවක් නොකියූ චන්දරේ ටිකට් ටික දෙස බැලුවත් එය එතනම දමා පාර දිගේ දිවගියේය .

" ඕකගේ බොරු සර් . ඔය ටිකටුත් බොරු ඒවද දන්නේ නෑ . බේබද්දා . . . " ලග සිටි වැඩ කරන කොල්ලෙක් කීවේය .

" හ්ම් . . . "

මට තරහ වෙන එහෙකට නෙවෙයි ගෑනිවත් උකසට තියලා මුං බොන්න සල්ලි හොයන එකටයි . බීලා බීලා පිස්සො වෙලා ඉන්නේ . අපරාදෙ මූ හොද මිනිහා . නිකං බේබදුකම නිසා නිකං ජීවිතේ විනාස කරගන්නවා .

ෆෑන් එකේ හුලං පාරට දමා ගිය ස්වීප් පොතේ කොල ඉහල පහල යයි . ධර්මදාසට හිතට අමුත්තක් දැනිනි . මූ කොහේ යන්න ඇත්ද .

" අනිල් . . අනිල් . . " සේවකයෙකුට කතාකලේය .

" ඇයි ධර්මදාස මහත්තයා . "

" අර තමුසෙලාගේ ගේ ගාව ඉන්න අනිල්ගේ ගෙදර කොහෙද තියෙන්නේ . "

" ඇල පාරේ හතරවෙනි ගේ මහත්තයා ."

ඔහුගෙන් පාර අසාගත් ධර්මදාස චන්දරේ ගේ නිවස  වෙත යාමට සිතා වාහනය වෙත පියමැන්නේය .

" සර් සර් . . . අර මනුස්සයා බස් එහෙකට හැප්පිලා . " සිකුරුටි කෙනෙක් දුව විත් කීවේය .

" කවුද ? චන්දරේ . අනෙ දෙයියනේ . "



  ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



මෙය සිහිවන වාරයක් පාසාමතම දෙපා වාරු නැතිවී යන්නාක් මෙන් ධර්මදාසට දැනෙන්නය .

චන්දරේ මෙළොව අතැරගොස් සිටියේය . ඔහුගේ  බිරියට දරුවකු ලැබෙන්නට සිටීමද සැබෑවකි . එ නිසාම ඔහු අරක්කු බීමෙන්ද ඈත් ව සිට ඇත . මෙ බවක් ආරංචි වූයේ ද බොහෝ පසුවය . දරු ප්‍රසූතියේ දී ඇතිවූ ගැටලුවක් නිසාවෙන් ඔහුගේ බිරියද මෙළොවින් සමුගෙන ඇත . ඔහු එ වේලේ පවසා ඇත්තේ මුසාවක් නොවන බව දැනගන්නාවිට සියල්ල සිදුවී හමාරය .

මට සමාවෙන්න චන්දරේ . මට තිබුණා  උඹව බේරගන්න . උඹේ පවුලවත්  සමහර විට . මට දුකයි උඹලා දෙන්නගේ ෆොටෝ දෙක දෙපැත්තකට කරලා තියන්න . ඒත් මට සමාවෙයන් චන්දරේ . මට බෑ ඒ දෙක එකට තියන්න . මට උඹලව පේන වාරයක් පාසා හිතෙනවා නිකං හරි එදා උඹව එලෝගත්තේ නැත්තං කියලා . උඹ මගෙ ගාව තියලා ගිය ඒ ටිකට් පොත තාම මගේ ලාච්චුවේ චන්දරේ . ඒකෙත් තෑගි තියෙන්න ඇති . ඒත් මම ඒක බලන්න ගියේ නෑ චන්දරේ . මට උඹ ජය මල්ලම දීලයි යන්න ගියේ . සැරෙන් සැරේ මගේ හිත පෑරෙනවා . ඒත් මම ටිකක් හරි සැනසෙන්නේ අමන්දා දිහා බලලා චන්දරේ . සමහරවිට උඹත් බලාගෙන ඇති කොහේහරි ඉදං . මට එහෙම හිතෙනවා .

" අප්පච්චි . . .  , මොකද කරන්නේ . . ? " අමන්දා කතා කළාය .

" මං මේ අස් කළා දුව . " ධර්මදාස සැනෙකින් තෙත්ව තිබූ ඇස් කොන පිසදා ගත්තේය .

" ආ . . . මේ ෆොටෝ මොකද ඔඩොක්කුවේ . කෝ දෙන්න . අපි මේ දෙක සාලෙන් තියමු . "

අමන්දා ෆොටෝ දෙක රැගෙන ගොස් කැබිනට්ටුව මත ලං ලංව තැබුවාය .

" එහෙම හොදයි නේද අප්පච්චි  . . . " ඇය ධර්මදාස අසලින් සෙටියේ හිදගන්න ගමන් ඇසුවාය .

" හ්ම් . . . " ධර්මදාස තම ආදරණීය දියනියගේ හිස සිපගත්තේය . . .



නිමි . . .


කුරුටුගෑවේ : සුශාන් ප්‍රියනාත් රත්නායක
17-03-2019

පියාපත් ලැබී . . . 27


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිහත්වැනි කොටස . . .


" හරිම මහන්සියි මේරි අම්මේ . තාත්තා පවු . " පාරමී කල්පනා කරමින් කීවාය .

" බයවෙන්න එපා පුංචි බේබි . ලොකු මහත්තයාට රත්නත්තරේ පිහිටෙනුත් ජේසු පිහිටෙනුත් ඉක්මනින් හොද වෙනවා ." මේරි අම්මා කීවාය .

ඇය උපතින් කිතුණු බක්තිකයෙකු වුවත් බුදුදහම ද එකසේ අදහනුලබයි . 'කොයි දහමත් එකයි , අදහන ක්‍රමේ තමයි වෙනස් ඇය සැමවිටම කියයි . කාලයත් එක්ක මිනිස්සු එක එක කෝලං ක්‍රම හදාගත්තට කිසිම ආගමක වැරදි කරන්න්ඩ අනුබල දීලා නෑනොවැ . ඒ ඇයගේ ඇදහිල්ලයි .

" මම වොශ් එකක් දාගෙන එන්නම් " පාරමී නාන කාමරයට රිංගුවාය .

මේරි අම්මා ඇදේ රෙද්ද සකස්කර ඇද ගැසුවාය . වතුර ජෝගුවට වතුර පුරවා තැබූ ඇය නිදාගැනීමට පහලට ගියාය .

මේ එදා පොඩි බේබිව උස්සගෙන ඇවිත් ඇදෙන් තියපු මහත්තයා නේද . ඉලන්දාරියා නම් බොහොම හොඳ පාටයි . අපේ බේබිට කැපෙන හාදයා . හරියට දෙන්න එකට ඉන්නකොට අපේ බේබි කිරිල්ලියක් වගේ . කොල්ලගේ මූණ නම් අහිංසක පාටයි . ඒ වුණාට අමුතු තේජසක් තියෙනවා . අපේ බේබිට ඒ වගේ කෙනෙක් තමයි හරියන්නේ . දෙන්නා ගැලපෙනවා . අපේ බේබිටත් හිතට අල්ලලා වගේ . ඒත් ඉතිං ඕවා හරියාවිද කියලා දෙයියෝ තමයි දන්නේ . ලොකු මහත්තයා මොනවා කියයිද කවුද දන්නේ . හැබැයි අපේ බේබි කැමති නම් මම බේබිගේ පැත්තේ . පවු අම්මත් නැතිව හැදිච්ච කෙල්ල . ලොකු මහත්තයත් පවු . ඉක්මනට සනීපවෙන්න ලොකු මහත්තයා . මේරි අම්මා එසේ සිතමින් නින්දට ගියාය .

වෙලාව රාත්‍රි 12 පසුවී විනාඩි 20කි . නින්ද පේන මානයක නැත . නාරදට ගෙදර අය සිහිවුණි . ඔවුන් මෙවෙලේ සුවසේ නිදනු ඇත . තාත්තාගේ දානයේ කටයුතු සදහා මේ සති අන්තයේ වත් ගෙදර යායුතුය . හදිසියේම මේ උද්ගතවූ තත්වය නිසා සියලු කටයුතු අඩාල වී ඇත . කරදරයකට පත් මොහොතක මොවුන් අතැර යාම කිසිසේත් කළ නොහැක . තව දවස් තුන හතරක් තියෙනවනේ . නාරද සිතුවේය . පවු , පාරමී මේ වෙලාවේ ගොඩාක් දුකෙන් අඩපනවෙලා ඉන්නේ . මම දන්නවා ඔයා මං ගැන හිතනවා කියලා . ඒත් ඔයාගේ තාත්තා . . අපිට කවදාවත් කැමති වෙන එකක් නෑ . අනික මගේ ගෙදර මිනිස්සුන්ව පාරට ඇදලා දාන්න පුලුවන් කමක් නෑ . මොකද ඒ අය ජීවත් කරවන්නේ මම . එයාලගේ හැමදේමත් මම . මටත් ඔයාව ඕන . මගේ හිතත් ඔයාව ඉල්ලලා පොරබදිනවා . ඒත් එහෙම කලොත් මම මගේ ගුරාට කෙනෙහිලිකමක් කළා වගේ නේද . මාව මේ තත්වෙට ගෙනාපු කෙනාට එහෙම කරන්න මට බෑ මිස් . මම මොකද්ද ගන්න තීරනේ . මට ඇත්තටම තේරුම්ගන්න බෑ . අපිට තියෙන එකම විසදුම අපේ ජීවිත කොහොමද ලියවෙන්නේ කියලා කාලයට ඉඩදීලා බලාන ඉන්න එක විතරයි . මටත් ආසයි ඔයාව ලගට අරන් ඉඹින්න . ඔයාව හයියෙන් තද කරන් ආදරෙයි කියන්න . ඒත් මම අසරණයි . අපි කාලයට ඉඩ දෙමු . නාරද සිතුවේය .

කොයිපැත්‍තකට හැරුනත් නින්ද පේන මානයක නැත . සමහරවිට පාරමී නම් ඇගිල්ලත් කටේ ගහගෙන නිදි ඇති . නාරදට සිනාවක් නැගුනි . තමන් පෙරදා පාරමීව තුරුල්කරගෙන ඔසවාගෙන ආ හැටි සිහිවුණි . පාරමී ලගින් හිත හිරිවැටෙන සුවදක් එන්නේ . දැනුත් හරියට නිකන් ලග ඉන්නවා වගෙයි දැනෙන්නේ .

"හ්ම් . . සුවදයි . . . . "  නාරදට කියවුණි .

" මොනවද . . . ? "

පාරමී නාරද ලගට විත් සිටියාය . උලුවස්සට හේත්තුවී සිටින පාරමී දෙස බැලූ නාරද උඩ විසිවුණි .

" මම නාරද නිදිද බලන්න ආවේ . මොනවද නාරද සුවද . .. " පාරමී බිම බලාගෙන හිනැහුනාය .

" මුකුත් නෑ ." නාරද බිම බලාගෙන පිළිතුරු දුන්නේය .

" එහෙනං සුවද නැද්ද . " පාරමී පෙරලා යලි ඇසුවාය .

" නෑ . . සුවදයි . " නාරදට සිහින් සිනාවක් නැගුනි .

" මොනවද . . ? " ඇය යලිත් නාරදගෙන් ඇසුවෙ හිනැහෙමිනි .

නාරද කිසිවක් නොකීවේය . පාරමී නාරද දෙස විමසිල්ලෙන් බැලුවාය . නමුත් ඈ පිළිතුරක් පෙරලා නාරදගෙන් බලාපොරොත්තු නොවූවාය .

" මම දන්නවා . . " ඈ සෙමින් කෙදිරුවාය .

" නිදියන්නේ නැත්ද . දැං ගොඩාක් රෑ වෙලා ." නාරද පාරමී දෙස බලා ඇසුවේය .

" නින්ද එන්නේ නෑ . " පාරමී මුහුණ බෙරිකරගෙන නාරදගේ ඇස් පතුලට එබී මිමිණුවාය .


. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴