Sunday, March 31, 2019

පියාපත් ලැබී 28



" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිඅටවෙනි කොටස . . .



" නාරදට නිදිමත ඇති නේද . . නාරද නිදාගන්න . මට උඩ ඉන්න බයයි . මම සෙටි එකෙන් ඉන්නම් . "  පාරමී සාලය දෙසට යන්න හැරුනාය .

" ඉන්න මමත් එන්නම් . ඔයාට නින්ද යනකන් ඉන්නම් . "

පාරමී සෙටි එකේ ඇලවුණාය . නාරද එයට පසෙක වූ පුටුවකට බරවුනේය .

" මම නිසා ඔයාට වදේ නේද . . "

" අනේ නෑ . මම උස්සගෙන ඉන්න එකක්‍ යැ ." නාරද සිනාසෙමින් කීවේය . පාරමීද පෙරලා සිනාසුනාය .

" නින්ද ගියාට පස්සේ මාව උස්සගෙන යන්නේ එහෙම නෑ ." පාරමී කීවාය .

ඒ ඇස් ඔවුනොවුන් හා වෙලී සිටියහ . දෙදෙනාගේම දෙනෙත් දොඩමලු වුවත් ඔවුන් දෙදෙනාම මුවින් ගොලුව උන්නෝය . රැය තවතවත් දිගුවන්නට ඇත . ලගට ගොස් තුරුලු කරගන්න නාරදගේ සිත අපමණ හඩගෑ මුත් ඔහු සිතට විලංගුලෑවේය .

" හ්ම් . . . " පාරමීගේ මුවින් දිගු සුසුමක් පිටවුණි .

" ඇයි මේ . . . " නාරද පාරමී දෙස නෙත් තබාගෙනම ඇසුවේය .

" මුකුත් නෑ . . ඔයා ගිහින් නිදාගන්න නාරද . ඔයා පවු . නිදිමරන්න එපා . මම නිදියන්නම් .

නාරද හිනැහුනා මිස පිළිතුරක් දීමට නොගියේය . කොට්ටය අතට ගත් පාරමී එය තම හිසට සෙමෙන් යටකළාය . තප්පරෙන් තප්පරය ඇගේ නෙතු අඩවන්වන හැටි නාරදට පෙනුනි . රෑ ඇදුමට ඈ වඩාත් පියකරුව විකසිතව සිටියාය . පාරමීව නාරදගේ සිත් හී නොමැකෙනා අයුරින් සටහන්වීමට ගතවූයේ නිමේශයකි . කවදාකහරි මගේම වෙනවානම් . නාරද තම සිතට ආයේ ආයේ කීවේය . ඇය තම නෙත් පාමුල සිටියේ කිරිගරුඩෙන් නෙලූ කිරිල්ලියක් ලෙසිනි .

ඇය තද නින්දකට වැටෙන්නට ඇත . කොට්ටය පසෙකට වැටුනි . සෙමෙන් සෙමෙන් ඇගේ දකුණු අතේ මහපට ඇගිල්ල මුව තුළ රැදවුණි . නාරදට ශනිකව නැගුණු සිතුවිල්ලකට ශබ්ද නොනැගෙන්න නැගිට කාමරය වෙත ගියේය . ඔහු යලි පුටුව වෙත පැමිණියේ තම ජංගම දුරකතනයත් අතැතිවයි . ඔහු දෙවරක් නොසිතාම පාරමීව ඡායාරූපයක සටහන් කොට ගත්තේය . නාරද එදෙස සිනාමුසු මුහුණින් බලාසිටියේය . මේක මට තෑග්ගක් . නාරදට යලිත් සිනා නැගුනි . මට හිතෙනවා සමහරවිට මෙහෙම එකක් ඔයාගේ වෙන කාලගවත් නැතුව ඇති . නාරදගේ සිතට ජයග්‍රහණයේ සුවයක් දැණුනි .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



ඔෆිස් රූම් එකට හැරෙනවාත් සමගම නිලංකාරවී යනු මතකය . ඉන්පසු කිසිවක් මතකයේ නැත . සමහරවිට කලන්තයක් හැදෙන්න ඇති . දසනායකට සිතුණේය . ටික වෙලාවකින් නර්ස් කෙනෙක් කාමරයට ඇතුළු වුණාය .

" ගුඩ් මෝනිං මිස්ටර් දසනායක . දැං කොහොමද ?"

දසනායක සිනාසෙන්න වෙරදැරුවේය . නර්ස් ඇද අසල තිබූ ෆයිල් එකක මොනවදෝ යමක් ලිවීය .

" මට මොකද නර්ස් වුණේ . "

" ආ . . මිස්ටර් දසනායකට පොඩි කලන්තයක් වගේ ඇවිත් . ඊයේ රෑ ඇඩ්මිට් කළා . දැං නෝමල් . බයවෙන්න දෙයක් නෑ . හොඳද . . "

" දුව . . "

" ආ දුවයි දුවගේ මහත්තයයි ගොඩාක් රෑ වෙනකන් හිටියා . පස්සේ ඩොක්ටර් යන්න කිව්වට පස්සේ තමයි ගියේ . සමහරවිට දැන් එනවත් ඇති . මිස්ටර් දසනායක ටිකක් රෙස්ට් කරන්නකෝ ." ඇය සිනාමුසුව කීවාය .

දුවයි මහත්තයයි . දසනායක කල්පනා කළේය . සමහරවිට නාරද ගැන වෙන්න ඕන ඔය කියන්න ඇත්තේ .

" මාව කොහොමද නර්ස් මෙහෙට ගෙනාවේ . " දසනායක සිදුවූ දෙය වටහා ගැනීමට උත්සාහයක් ගත්තේය .

" මිස්ටර් දසනායකට මුකුත්ම මතක නැත්ද . දුවගේ හස්බන්ඩ් තමයි උස්සගෙන ආවේ . දැං සර් ටිකක් ටෙස්ට් කරන්න . ඕවා ගැන හිතන්න එපා . තව ටිකකින් ගෙදර අය ඒවි නේ . එතකොට දැනගන්න බැරියැ . "

නර්ස් බේත් පෙත්තකුත් පෙති බාගයකුත් දසනායකට බොන්න දී යලිත් ෆයිල් එකේ කිසිවක් සටහන් කොට දසනායක සමග සිනාසී කාමරයෙන් පිටවුණාය .

හ්ම් . . නාරද තමයි මාව උස්සගෙන එන්න ඇත්තේ . මගේ කෙල්ලට මොනවා හිතෙන්න ඇත්ද . පවු දෙයියනේ . සමහරවිට හොදටම අඩන්න ඇති . දසනායක කෙමෙන් කෙමෙන් යලි නින්දකට වැටුණේය .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පාරමී සාලයේ ඔරලොසුවේ හයේ කනිසම වැදෙන හඩින් අවදිවූවාය . මේරි අම්මා තේ හදනවා විය යුතුය . පාරමී සෙටි එකෙන් නැගිට කිචන් එක දෙසට ඇවිද ගියාය .

" ආ පුංචි බේබි නැගිට්ටද . .  මම මේ උදේම ලොකු මහත්තයාව බලන්න යනවාය කියපු නිසා සුප් එකක් ටක්ගාල හදන්න ලෑස්ති වුණේ . "

" හ්ම් . ඒක හොදයි මේරි අම්මේ . දෙන්න හොද නම් ඩොක්ටර්ගෙන් අහලා දෙන්න පුළුවන්නේ . අපි කෝකටත් හදාගෙන යමු . "

" ඉන්න මම පුංචි බේබිටයි අර මහත්තයටයි තේ හදලා ඉන්නම් ."  මේරි අම්මා තේ හදන්න සූදානම් වුණාය .

" එපා මේරි අම්මේ . මම හදන්නම් . මේරි අම්මා තාත්තිගේ සුප් එක හදන්න . නැත්නම් පරක්කුවෙයි . " පාරමී කේතලයට වතුර පුරවන ගමන් කීවාය .

" පුංචි බේබිට තේ හදන්න හැකිද . අර මහත්තයටත් දෙන්න එපෑ බේබි . මම හදන්නම් . " පාරමීගේ තේ හැදිල්ල කෙසේවේදැයි සිතමින් මේරි කේතලය ගැනීමට සැරසුනාය .

" නෑ නෑ . . මම හදන්නම් . මේරි අම්මා ඉන්නකෝ . "

" අනේ මන්දා . . " මේරිගේ මුවගට සිනාවක් නැගුනි .

" ඇයි මේරි අම්මා හිනාවෙන්නේ . " පාරමී නෝක්කාඩු ස්වරයෙන් ඇසුවාය .

" නෑ බේබි . එහෙම නෑ . "

" මට තේ හදන්න පුළුවන් . බලන්නකෝ මම මේරි අම්මටත් එක්ක හදන්නම් . "

" දෙයියනේ මට එපා බේබි . බේබිට කියලා මට පුලුවනෑ තේ හදාගන්න . බේබිලා බොන්න . මම පස්සේ බොන්නම් . "

" නෑ නෑ . ඔයා පඩියා නොවී ඉන්නකෝ . මේරි අම්මා හැමදාම අපිට හදලා දෙන්නේ . ඉතින් අද මගේ තේක බීලා බලන්නකෝ . "

පාරමී අඩුම කුඩුම ගෙන තේ පිළියෙල කරන ආකාර මේරි හොරැහින් බලා සිටියාය . හැබැයි රට ඉන්නකොට තේ හදාගෙන බීලා පුරුදු ඇති මයේ හිතේ . ඈ සිතුවාය .

ජොග්ගුවට තේ සෑදූ පාරමී මේරි අම්මාගේ කෝප්පයටත් පාරමීගේ ලොකු කෝප්පයටත් තේ වක්කලාය .

" ඔන්න මේරි අම්මා බීලා බලන්නකෝ කොහොමද කියලා . " පාරමී තේක අත තබන ගමන් කීවාය .

" එතකොට බේබි අර මහත්තයට . "

" මේ තියෙන්නේ . " පාරමී තම කෝප්පය පෙන්නන ගමන් කීවාය .

" එතකොට බේබිට ."

" මං පස්සේ බොනවා මේරි අම්මේ . දැම්ම බොන්න බෑ . "

පාරමී තේ පිරුණු තම කෝප්පය රැගෙන සාලය දෙසට පියමැන්නාය .

මේ දරුවා කරන වැඩේ හරිද අම්මපා . මොනවා වුණත් පිට මනුස්සයෙක්නෙවැ . ඔහොම තේකක් දෙන එක හරිද .පීරිසි කෝප්පෙක එපෑ දෙන්න . අනේ මන්දා . බේබි එයාගේ කෝප්පෙට තේ දාගෙන ගියේ . මේ කෙල්ල හිතේ මොනවාහරි හංගගෙන ඉන්න පාටයි . මේරිගේ මුවට සිහින් සිනාවක් නැගුනි .




. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

1 comment:

  1. What happened to you? I thought you have abundant us. Thank you for writing again. Don't do it again please.

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට . . .