Followers

Monday, October 10, 2011

අවසන් හුස්ම . . .



ඒක මහ පාලු මූසල ගඳ ගහන තැනක් . මම කාටවත්ම දොස් කියන්නේ නෑ මේ තැන මට උරුම වුණු එක ගැන .අපේ අම්මා හරි අහිංසකයි . හිත හොද ගෑනි හැමදාම බඩින් කියන කතාවට මම එකඟ වුණේ ඒ නිසාම නම් නෙවෙයි . මොකද ඒක අම්මගේ වරදක්ම නොවුන නිසා . එතනදි අම්මාගේ වරද වුණේ ගැහැනියක් වීම විතරයි කියලයි මට හිතුනේ . මගේ තාත්තව මම කොයිතරම් දැකගන්න ආසවුණත් ඇහැටවත් දැකලා තිබුණේ නෑ . මට මතකයි පුංචි කාලේ මම අම්මගෙන් තණේ එල්ලිලා කිරි බොනගමන් අහනවා " අම්මේ කෝ තාත්තා " කියලා . ඒ අහන ගමන් මම ඇස් දෙක උස්සගෙන බලන් ඉන්නවා දැං කියයි දැං කියයි කියලා . ඒත් හැමදාම එයා මාව ඉඹලා ඔළුව පැත්තකට හරවගන්නවා . කවදාවත් මට ඒකට උත්තර හම්බුනේ නෑ . සමහර විට එයාටත් මතක නැතුව ඇති . මට කවදාවත් ඔය ප්‍රශ්නෙන් මිදෙන්න බැරිවුණා . මම කලේ ඔය ප්‍රශ්නෙන් හැංගෙන එක .

පොඩිකාලේ ඉඳලම හැමෝගෙන්ම අඩන්තේට්ටම් වෙන්න වුණු නිසා මම හිටියේ ඒ හැමෝගෙන්ම ඈත්වෙලා . මට මතකයි කිරිබොන්න ගියත් නැමෝම මාව පෙරලගෙන ගිහින් කිරිබොනවා . ටික ටික මට හැමදෙයක් ගැනම තිබ්බ ආසාව නැතිවුණා . හැමෝම කාල බීලා ඉවරවෙනකන් ඉන්න මම අන්තිමට ඉතුරුවෙලා තියෙන මොනවා හරි කාල බඩ පුරෝගන්නවා . අපේ පවුලේ මම බාලයලු . හැමෝම මට එහෙමයි සැලකුවේ . සමහරවිට මම ටිකක් ඔතෑනි නිසාත් ඇඟපතින් වැඩි උස මහතක් නැතිනිසාත් වෙන්න ඇති . සමහරු මාව නෝන්ජලයෙක් කියලා පැත්තකට කළා .

ඔය අතරේ දවසක් මම අපේ ලොකු අයියගේ බත් එකෙන් බත් චුට්ටක් කන්න ගියා කියලා එයාට හොඳටෝම තරහගියා . මාත් එක්ක රංඩු ඇල්ලුවා . හැමෝම එක පැත්තකට වුණා . මම තනිවුණා .මාව මගේම උන් පෙරලගෙන කන්න ගත්තා . මම බේරෙන්න එහේ මෙහේ හැමතැනකම දිවුවා . හුන්ඩුවක් වගේ මිදුලේ මට දුවාගන්න බැරිවුණා . අන්තිමට අපිව නවත්තන්න අපිව බලාගත්ත මාමට බට්ටෝ දාන්න සිද්ද වුණා . බට්ටෝ සද්දෙට හැමෝම සීසීකඩ දිවුවා . ඒ වෙනකොට මගේ කකුල දරුණු විදියට තුවාල වෙලා . මට නැගිට ගන්නවත් බැරි තරම් තදට දත් පාර වැදිලා තිබුණා . ඒක අපේ ලොකු අයියගේ කියලා මම හොඳටම දන්නවා . මම යාන්තන් අද්ද අද්ද නැගිටින්න හදනකොට අපිව බලාගත්ත මාම ඇවිත් මාව උස්සලා වාහනේකට දාගත්තා . 

ඒකට කියන්නේ ත්‍රීවීල් එකලු . මට වටින් ගොඩින් කතාවෙන් තේරුනේ . මම ඒකේ බිම දිගාවෙලා හිටියේ . හයියෙන් එහෙමෙහෙ යන දේවල් දිහා මම හරි බයෙන් බලාගෙන හිටියා . ඒ හැමදේකම මට ලොකු අමුත්තක් දැනුනා . ඒ එකකටවත් කියන්නේ මොකද්ද කියලා මම දැනගෙන හිටියේ නෑ . මම ඔහේ බලාගෙන හිටියා . මම තුවාලෙන් දැනුන වේදනාවටත් වඩා ඒ දේවල් වලට බයවෙලා හිටියේ . ටිකකින් අපි ගිය වාහනේ නැවැත්තුවා . ඒක අපේ ගේ වගේ නෙවෙයි . හරි විසාල තැනක් .
අපේ ජාතියේ අය ගොඩක් ලස්සන ලස්සන පටි දාගෙන ඉන්නවා මම දැක්කා . ලස්සන ලස්සන කොන්ඩ දාපු ගෑනු ළමයිනුත් ඉන්නවා දැක්කා . හැරිලා බලන්න කොයිතරම් හිත කිව්වත් ගතේ ඒහැටි වාරුවක් තිබුනේ නෑ . ඒකලු මෙහේ තියෙන හොඳම ඉස්පිරිතාලේ  . ඒක මම දන්නේ පස්සේ . මාව අරන් ගිහින් තිබ්බා ඇඳක් උඩ . 

 " කෝ ඔය රෙද්දක් දාලා තියන්න . ඕගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනෙද . . . ? "

 මිසී කෙනෙක් මහ හයියෙන් කෑගැහුවා . කොයිතරන් අමාරුවක් , හදිස්සියක් උනත් ඒගොල්ලෝ ඉතින් නීතියටනේ වැඩ . මාව ආයෙමත් උස්සලා ඇඳට රෙද්දක් දාලා ආපහු ඒකෙන් තිබ්බා .  කෑගහලා කියන්න හිතුනා අනේ දෙයියනේ මට රිදෙනවා කියලා . ඒත් කටින් ඒ වචන පිටවුනේ නෑ . කොයිතරම් රිදුම් දුන්නත් මම කරන්න දෙයක් නැතිකමට ඉවසගෙන හිටියා .  ඒ අතරේ මට දැනුනා කවුදෝ කෙනෙක් හරි හදිස්සියෙන් මොනවදෝ කරනවා . මම හැරිලා බලන්න හදත්දි එතන හිටපු මිසී මාව හයියෙන් ඇඳට තියලා තද කළා . ඒක මට තුවාලෙට වඩා රිදුනා . කටුවක් කකුල ඇතුලටම කිඳාබහිනවා දැනුනා . හැමදේම කැරකෙන්න ගත්තා . නිලංකාරවුණා . හැමදේම ඉවරයි . මට දැනුනා . . . මට මතක එච්චරයි .
ටිකවෙලාවකින් බලද්දි මාව එක්කන් ආපු මාමා මගේ ඔළුව අතගගා හිටියා . එතකොටයි මට තේරුම්ගියේ මම මෙච්චරවෙලා සිහිනැතිකරලා ඉඳලා තියෙන්නේ කියලා . මගේ ඇඟට මොකද්දෝ කට්ටක් ගහලා තිබුණා . ඒකෙන් මොනවදෝ වතුරක් බින්දු බින්දු මගේ ඇඟට කාන්දුවුණා . ලොකු සුදු ඇඳුමක් දාගත්ත කෙනෙක් මගේ ලඟට ඇවිත් මා දිහා බලලා " දැන් හොඳයි , ඉක්මනට ගෙදර ගියෑකි " කියලා කිව්වා . මට ඒ නෝනට ස්තූති කරන්න ඕනේ වුණා . ඒත් එක වචනයක් පිට කරන්නත් කලියෙන් මාව එක්කන් ආපු මාමා බොහොම ස්තූතියි ඩොක්ටර් කිව්වා . මට ඕනේ වුනේ එහෙම නෙවෙයි . මං වෙනුවෙන් කරපු උපකාරේට කඳුළු පුරෝගෙන පිංදෙන්නයි මට ඕනේ වුනේ . මම හිටියේ ඒතරමට කියාගන්න බැරිතරම් වේදනාවකින් . ඒ වේදනාව නැතිකරපු දොස්තර නෝනව මට පෙනුනේ දෙවිකෙනෙක් වගෙයි . මගේ කකුල තදට වෙලලා තිබුණා . මම නැගිටින්න හැදුවට තවමත් මට වාරුවක් නෑ . ඇඟට පන නැ . තොල කට වේලිලා තිබුණා . අමාරුවෙන් කට ඇරලා දිව එලියට දාපුවහම ඒ දැකලා ඒ දොස්තර නෝනා මොකද්ද බටේකින් මගේ කටට වතුර වගයක් විද්දා . හරි තිත්තයි . ඒත් මොනවා කරන්නද . පිපාසෙට මම සේරම බිව්වා .

අපි ගෙදර එනකොට හොඳටම ඇඳිරි වැටිලා . මට හිතුනා මගේ ජීවිතෙත් මොනතරම් අඳුරුවෙලාද කියලා . මාව උස්සගෙන ගිහින් කෙලවරේම තිබුණු කාමරයකින් තිබ්බා . මට ඇහුනා එක එක්කෙනා එක එක කතා කියනවා . මට ඒ එකකටවත් උත්තර දෙන්න කිසිම වුවමනාවක් තිබ්බේ නැ . ලොකු අයියා මාව දැකලා බිම බලාගත්තා මිසක් මා දිහා බැලුවේවත් නෑ . මම එතනින් එහාට හිතන්න ගියේ නැ . රිදෙන හිත වාකුල් කරගෙන මම නිහඬවම පැත්තකට වුණා . ඇඟේ අමාරුවටද කොහෙද මට වැටිච්ච තැන එහෙම්මම නින්ද ගියා . මම හීනෙන් එක එක දේවල් දැක්කා . මම ඇහැරෙද්දි දැක්කා අම්මා මම දිහා බලාන ඉඳලා යන්න හදනවා . මට කියන්න හිතුනා අම්මේ පොඩ්ඩක් මගේ ලඟට වෙලා ඉන්න කියලා . ඒත් මම එයාගේ අලුත් ස්වාමිපුර්ශයාව දැක්ක හැටියම ඒ වචන ටික ආපහු ගිලගත්තා .

ඔහොම ටික කාලෙකින් මගේ කකුල හොඳවුණා . ඒත් තුවාල වුණු කකුල අනිත් ඒවට වඩා ටිකක් කොටයි කියලා මට ඇවිදිද්දි තේරුණා . මම ඒ ගැන හිතන්න ගියේ නෑ . මම හැමෝගෙන්ම ඈත්වුණා . ඔහොම කලක් යනකොට අපේ පවුලෙන් ඉතුරුවෙලා හිටියේ මමයි අම්මයි විතරයි . අනිත් හැමෝවම එක එක්කෙනා හදාගන්න අරන් ගිහින්ලු . මට තවත් මහා පාලුවක් දැනුන . මම අම්මා දිහා සමහරදාට ඔහේ බලන් ඉන්නවා . ඒත් කවදාවත් එයා මා එක්ක වචනයක්වත් කතාකලේ නෑ . 

දවසක් අපිව බලාගත්ත මාමා අපි හිටපු තැනට ගැටිස්සියෙක් ගෙනල්ල තිබුණා . ඇත්ත , මමත් හොරෙන් වරු ගනන් බලාන උන්නා . මාමා මට එයා ඉන්න පැත්තපලාතට යන්න දුන්නේ නෑ . දවසක් දෙකක් මාව ගැටගහලත් තිබ්බා . මට ලොකු දුකක් දැනුනා . මම ආයේ එයා දිහා බලන්න ගියේ නෑ . ටික දවසක් යද්දි අම්මා පේන්න හිටියේ නෑ . මට පස්සේ තේරුනේ අම්මගේ තැන පුරවන්න තමයි ඒ ගැටිස්සි ඇවිත් තියෙන්නේ කියලා . මම අම්මව හැමතැනම පිස්සු හැදුනු ගානට හෙව්වා . මම අම්මේ කියලා කෑ ගහලා අඬගැහුවා . ඒත් එයා ආවේ නෑ . මම දවස් ගානක් හැමතැනම කෑගගහ හෙවුවා . මම අම්මව බැලුවේ නෑ නේද කියලා මගේ හිතට ලොකු පසුතැවීමක් දැනෙන්න ගත්තා . 

" මූ නිකන් කකා බිබී ඉන්නවා මෙලෝ වැඩකට ඇති එකෙක් නෙවෙයි . අඩුම තරමේ රෑට නිදියන එක නිදියන්න දීපන් . ඒත් නෑ. වදකාරයා . "  

දවසක් රෑ මාමා මම කෑගහන සද්දෙට මට හොඳටෝම ගහලා ගේට්ටුවෙන් එළියට දැම්මා . මම නොදුටු නුපුරුදු ලෝකෙක තනිවුණා . සමහරදේට මම ගොඩාක් බයවුණා. නොදන්න පාරවල් දිගේ මම ඔහේ ඇවිදගෙන ගියා . සමහරුන්ව දකිද්දි මම ගොඩාක් ඈතින් ගියේ . ඒ අය මාව දකින්න , මම එනවට අකමැතියි කියලා මට දැනුනා . සමහරු නම් මට ගොඩාක් අනුකම්පා කළා . තවත් සමහරු මාව දැක්ක තැන එලෝගත්තා . මම ඉබාගාතේ ඔහොම යනකොට හදිසියේම දැක්කා කවුදෝ පාරේ වැටිලා ඉන්නවා . කාටමුත් කරදරයක් නේද කියලා මම කොරගගහා දුවගෙන ගියා . ටික ටික ලංවෙනකොට මම දැක්ක දෙයින් මට ඇස් අදහාගන්න බැරිවුණා . දෙයියනේ අම්මා නේද . මගේ ඇස්වලට කඳුළු පිරුණා . අම්මගේ හෝපොතුගැහුණු බඩ දිහා මම බලාගෙන හිටියා . කඳුළු දෝරේගියා . මට කෑගැහුන . මම අම්මව ඉඹගෙන ඉඹගෙන ගියා . වැඩිවෙලාවක් ඉන්න හම්බුනේ නෑ . මගේ බෙල්ලට තොන්ඩුවක් වැටුණා. මම බේරෙන්න දැඟලුවා . ඒ තොන්ඩුව මගේ කටත් වහගෙනයි වැටිලා තිබුනේ . උදවු ඉල්ලන්න කෑගැහුවත් එකවචනයක්වත් පිටවුනේ නෑ . ඒ එක්කම කට්ටක් මගේ ඇඟට කිඳාබැස්සා මට තේරුණා . ටික ටික මගේ බෙල්ලට තදවුණු පටිය ලිහිල්වුනා . ඈතට දුවල හැංගෙන්න ඕනේ වුණත් දුවගන්න බැරිවුණා . හැමදේම කැරකෙන්න පටන් ගත්තා . බොඳවෙලා ගියා . වාකුල් නැති කකුල් මාව අම්මා ලඟම ඇද්ගෙන වැට්ටුවා . මම අම්මා දිහා ඔහේ බලාගෙන හිටියා . " මේ ලෝකේ අපේ නෙමේ අම්මේ . අපි ගොඩක් පවු කරලා ඇති . " මම ලොකු හුස්මකින් මගේ කතාව අහසට පාකළා . මම හිතුවේ නෑ හීනෙකින්වත් ඒ හුස්ම මගේ අවසන් හුස්ම වෙයි කියලා . . .

Wednesday, October 5, 2011

පියාපත් ලැබී . . . 09

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

. . . නමවැනි කොටස . . .


" ඒ මොකද බං . ලොක්කා ප්ලේන් එකකුත් සර්විස් එකට දාලද . "

උස් හඬින් නැගි සිනාවත් එක්කම පැවසුවේ හිතේ හටගත් බිය හංගගන්නත් එක්කමයි .

" මේ , විහිළු නෙමෙයි නාරද . මම සිරාවට කියන්නේ . දසනායකගේ දුව ලංකාවට ඇවිත්ලු . එනවා කියලා අමතක වෙලා සිරිපාලවත් ගෙදර යවලා . එක්කන් එන්න යන්න කෙනෙක් නෑ කියලා මට යන්න පුළුවන්ද ඇහුවා . මට යන්න බෑනේ මචන් . පඩි දෙන්න එපෑ මේකලාට . නැතිනම් මුන් මගේ ඔලුව කාවි . පස්සේ උඹ ගම්පහ ඉන්නවා කිව්වම එහෙම්මම උඹට එයාපෝට් යන්න කියලා කියන්න කිව්වා . පරිස්සමින් ගිහින් එන්නත් කිව්වා . "

අනේ මචන් මම ගිහින් නෑනේ . අනික මම අඳුනගන්නේ කොහොමද කවුද කියලා . තාම සර්විස්ටේශන් එකත් වහලා . වාහනේ ගන්න විදියකුත් නෑ . උඹට බැරිද වෙන කාවහරි සෙට් කරන්න අසිත . "

" මචන් මට ලොක්කගේ කීමට පිටින් යන්න බෑනේ බං . අනික උඹට පිටරට යන්න කිව්වේ නෑ . එයාපෝට් එකට යන්න කිව්වේ . බය නැතුව පලයං . ඔය වාහනේ පස්සේ ගත්තහැකි . උඹ අතේ සල්ලි තියෙනවද . . ? "

" ඔවු තියෙනවා . . . "

" උඹ ඔතනින් ත්‍රීවීල් එකක් අරගෙන අස්ගිරිය මල්වත්ත ගාවට පලයන් . ඒ යද්දි මල්වත්ත ඔන්න මෙන්න තියලා හැරෙන්න පාරක් ඇති . ඒක කෙලින්ම ගෙදරකට යන්නේ . ඒ ගෙදට්ට ගිහින් කියපන් මිස්ටර් දසනායක එව්වේ කියලා . එහෙන් වාහනේ අරගෙන කෙලින්ම එයාපෝට් පලයන් . මොනවාහරි අවුලක් වුණොත් මට කෝල් එකක් දියන් . "

" හරි බං , වෙන ඉතිං මොනවා කරන්නද . දං කොහොමද බං උන්ව අඳුනගන්නෙ . "

" ඌබ එයාපෝට් එකට පලයන් . ඒ කෙල්ල වාහනේ අඳුනනවා කියලා දසයා කිව්වා . උඹට හොය හොයා ඉන්න වෙන්නෙ නෑ . එහෙනම් පරිස්සමින් ඉක්මනට පලයන් . . . "

" හ්ම්ම්ම් . . . "

නාරද අකමැත්තෙන්වුව යායුතුම නිසා ත්‍රිවීලරයකට ගොඩවුනේ පුළුවන් ඉක්මනින් අස්ගිරිය ගාඩ්න් කියන ගමන්ය . මේවට තමා කියන්නේ වදින්න ගිය දේවාලේ ඉහේ කඩංවැටෙනවාය කියලා . ඔහු තමන්ටම මුමුනාගත්තේය .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


" උඹ දැං ගෙදර ගියාම කට්ටිය පුදුමවෙයි නේද චාමි . "

" අනේමන්දා බං , ඒගොල්ලන්ට ඒහැටි ගානක් නෑ පාරමි . සමහරවිට ආ නොකියම ඇවිත් කියයි . එච්චර තමා . "

චාමිකාගේ පියා ඇගේ මව අතැර වෙනත් විවාහයක් කරගෙන ඇත්තේ ඇයට 10 වන වියේදී පමණය . ඈ පවුලෙන් වෙන්ව හැමදේම තනියෙන්ම කරගන තනිව හිඳින කෙනෙක්ය. ඈට තම දෙවන මව , නැතිනම් කුඩම්මාව රුස්සන්නේ නැතිය . ඇගේ මව ගැන තොරතුරක් සොයාගැනීමට ඈ අනන්ත අප්‍රමාණව වෙහෙසවූවාය . ඒත් ඉන් පලක්වී නැත .

" බලපං මේ ඩ්‍රයිවර් තාම නෑනේ . අලුත් කෙනෙක්ලු එන්නේ . සිරිපාල ගමේ ගිහින් කියලා . "

" එහෙනම් උඹලගේ තාත්තා තව අංකල් කෙනෙක්ව පංගාත්තු කරගෙන ඇති . පන ඇද ඇද එනවා ඇති මග . මේ කෙල්ලේ උඹලගේ වාහනේ ආපු හැටිය මම කැබ් එකක් අරන් යන්නම් . නැතිනම් උඹ මාව දාන්න මේ වෙලාවේ කුරුනෑගල ආවොත් උඹට යන්න වෙන්නේ දෙගොඩහරියක් වෙලා . පොඩිදුරක් නෙමෙයිනේ බං . ඒ හින්දා පිස්සු නැතිව ගෙදර යන්න . මම යන්නම් . "

" අනේ මේ උඹ පැහෙන්නේ නැතුව ඉඳින් . මට අවුලක් නෑ . අනික උඹ නොදන්න උන් එක්ක තනියෙම යවන්න බෑ . ගෙදර වාහනේනේ යන්නේ . මම එනවා . යමු . ට්‍රිප් එකක් වගේ තියෙයි . . . අන්න වාහනේ ආවා චාමි . "

" මේ උඹ ඉඳින් , මම අහන්නම් ඔහොමද වෙලාවක් කිව්වම එන්නෙ කියලා . පොඩි සද්දයක් දාමු . "

" පවු බං . . . මුකුත් කියන්න යන්න එපා . අපේ තාත්තට කියන්න බැරිවෙලා තියෙන්නේ . අනික මටත් එන්න කලින් කෝල් කරන්න බැරිවුණානේ . "

" හා හා . . . උඹ කියනවනම් මුකුත් නොකියා ඉන්නම්කෝ . . . "

. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Tuesday, October 4, 2011

මඟ අතරමඟ . . .



වෙලාවටත් කලියෙන් නැගිටින එක පුරුද්දක් කරගත්ත මම සුපුරුදු විදියටම පරක්කු වෙලා අදත් ඇඳ පැලඳගෙන දුවනකොට කෝච්චිය මට ඔලොක්කුවටම වගේ කොක් හඬලාගෙන ඇවිත් ස්ටේශමේ නතර කළා . පිස්සු බල්ලෙක් එලෝගෙන  ආපුගානට දුවගෙන ආපු මම කෝච්චිය අද්දනකොටම එල්ලුනේ නොනැවතුන හතියකුත් එක්කමයි . වෙලාවට සීසන් . නැතිනම් මෙහෙමවත් එනවා බොරු . කෝච්චියට එල්ලුනු ස්ටයිල් එක හරි නැතිවදෝමන්දා ලග උන්නූ මැදිවියේ උන්දැලා දෙන්නෙක්ගේ රැවුම් මැද්දේ මම හිනාවකුත් දාගෙනම හිටපු දෙතුන් දෙනෙක්වත් තල්ලු කරගෙන නයා හුඹහට ඇදෙන ගානට කිටි කිටියේ තදවුණු පෙට්ටියේ මැද්දට යන්න ට්‍රයි එකක් දීලා පළවෙනි පොල්ල ලගින් එල්ලුණා . 

දහසකුත් එකක් වැඩ ඔළුවේ තියාගෙන ගෙදරින් පිටවුණාට දැන්නම් ඒ මොකක්වත් හිතේ නෑ . කොහෙද , කෙල්ල වගේ ඇන්ටි කෙනෙක් එනවනේ තුරුල්වෙන්න . මැරීගෙන ජැකකට සෙට්වෙන අංකල්ට ශේප් එකේ ඉඩදීලා මම අනික්පැත්ත හැරුනේ අපිට ඕවා කැප නෑ කියන්න වගෙයි . සමහර විට අංකල්ගේ තල්ලුවට මම පොඩ්ඩක් ඔරෝලා බලපු නිසාද කොහෙද ලග උන්නු නංගිටත් වැඩේ තේරිලා වගේ සිරික්කිය දැම්මේ නිකන් අයියා හරි බෝදිසත්වයා කියන්නා වගෙයි .

ගම්පහෙන් ගොඩවුණු ගමන කෝච්චිය පිලිවෙලින් හැම ස්ටේශමකම කොට කොටා ඇවිත් දෙමටගොඩට කිට්ටුකළා . බොහොම අමාරුවෙන් එල්ලිලා හිටපු මමත් අමාරුවෙන් වගේ දොර ලගට යන්න පොඩි ට්‍රයි එකක් දුන්නා .

" කොහෙද ඕයි යන්නේ . . . ? " 

අර මුලින් හේත්තුවෙන්න ආපු මැදිවියේ ගෑණු කෙනාගේ හඬින් මාව උඩ විසිවුණා .

" මේක කෝච්චියක බස් එහෙක ගෑණියෙකුට යන්න නෑ එනවා ඇගේ ඇතිල්ලෙන්න . " 

දැං ඉතිං මොකද කරන්නේ . වඳින්න යනවා තියා හිතුවෙවත් නැති දේවාලයක් ඉහේ කඩා පාත්වෙන්නයි යන්නේ . බෙල්ලෙන් පටන් ගත්තා දාඩිය බින්දුවක් පිට දිගේ බේරෙනවා මට හොදටම දැණුනා . එහෙන් මෙහෙන් ගෑණු මිනිස්සුත් ඔරෝනවා . සමහරු හිනාවෙනවා . මම කර කියාගන්න දෙයක් නැතුව ලවක් දෙවක් නැතුව බනින දිහා තක්බීරිවෙලා බලාන හිටියා . 

" මේ ගෑණියේ , නිකං බොරුවට කෑ ගහන්න එපා . මම බලාගෙන උන්නේ සේරම . මේ ළමයගේ ඇගේ ඇතිල්ලෙන්න ගියේ තමුසේනේ . "

ඔන්න ඔහොම පටන් ගත්තේ නැත්ද අර ජැකට එන්ටර් වුණු අංකල් . යාන්තන් ඇඟට ලේටිකක් ඉණුවා . දෙන්නගේ වාදේ ජයට ගියා . දැං මම පැත්තක දෙන්නා මරාගන්නවා . කරුමෙක මහත කියන්නේ දෙමටගොඩ ස්ටේශමට ඔන්න මෙන්න තියලා මේ අටමගලේ සිග්නල් නැතුව නැවැත්තුවා . එකම කාලගෝට්ටියයි . කිටි කිටියේ හිරවුණු තරමට සෙනග පිරවුණු කෝච්චි පෙට්ටිය දැං පොර මඩුවක් වගෙයි . වටේ කට්ටියත් ගේමට එන්ටර් වෙලා . ගෑණු මිනිස්සුන්ට බනිනවා . මිනිස්සු ගෑණුන්ට බනිනවා . එකම විජ්ජුම්බරයයි . කෝකටත් කියලා සබෙන් වෙන්වුණු මම ආයෙමත් මැද පොල්ල අල්ලගත්තා . විනාඩි 10 විතර නවත්තලා තිබුණු කෝච්චියත් හෙමින්සැරේ ඇවිත් දෙමටගොඩ නතර කළා . පොරකකා බහින මිනිස්සු දිහා මම ඔහේ බලන් උන්නා . සමහරු මට බහින ගමන් නක්කලේට හිනාවුණා . මට යන ගමනත් එපා වුණා . මදැයි දෙයියනේ කියලා ජොබ්කට්ටක් හොයාගන්න ඉන්ටර්විව් යන්න එළිබැස්සා . මූඩ් අප්ශට් . දැං ගියත් වැඩක් නෑ . කොටුවටම යනවා කියලා හිතාගෙන මම එහෙම්මම හිටියා .

" ඕවා ගණන් ගන්න එපා අයියේ . . . "

කරකෝලා අතැරිලා උන්නු මට උඩ විසිවෙන්න ගියේ පුංචි නිමේශයක් විතරයි . ඒපාර මොකද්ද කඩාපාත්වෙන්න යන්නේ කියලා නොහිතුණාම නොවෙයි . ඒත් ඉතිං ගවුම් කෑල්ලක් දැක්කහම අපි කවුරුත් බටර් වගේ උණු වෙනවනේ . ඇත්තටම මම හිනාවුණා . ඒත් , ඒ හිනාව ස්තූතියකටද නැතිනම් කතාවකට මුලපුරන්නද කියලානම් මට හරි හැටි තෝරාගන්න බෑ . ඒත් කොහොමෙන් කොහොමහරි අපි අතර ලොකු කතාවක් ඇතිවුණා .

" මොනවා කරන්නද නංගි . මිනිස්සුන්ගේ හැටිනේ . අපේ අය කරන දේවලුත් එක්ක බලපුවාම එක පැත්තකින් ඒ ගෑණුකෙනා එහෙම හිතන එක සාදාරණයි . "

මමත් ඉතින් අර අපේ පුරුද්දක් වුණු අනුන් වැරදී , තමන් හරි කියන තියරිය දාලා මමත් බොසත් චරිතයකට ආරූඩ වුණා .

" ඒක නම් ඇත්ත . ඒත් අයියෙ  මෙතන නම් මේ ගෑණු කෙනාගෙ වැරැද්ද . නිකන් නේ ඔය මරාගත්තේ . . . " 

ටික ටික මරදානටත් කිට්ටු කරනවා . එතනින් එහාට කරුණු කාරනා නොතිබුනෙන් මම සද්ද වහලා හිනාවක් දැම්මා කතාව අහවරයි කියන්න වගේ . ඇය කරුණාවන්ත යැයි මට හිතුණා . අවංක , බොරු ආටෝප නැති නිර්ව්‍යාජ කෙල්ලෙක් කියලා හිතුණා . මං මගේම හිතට තට්ටු කළා . එයාගේ ඇස් දෙක දිහා සමාදියකට සමවැදුනා වගේ බලාගෙන හිටියා . ලස්සනමත් නෑ . ඒත් කැත කෙල්ලෙකුත් නෙවෙයි . ඒ වෙනකොටත් මගේ හිත ඇය ගැන සිත් ඇද බැඳ ගෙන ඉවරයි .

" ඒ , මගේ පර්ස් එක නෑ . . . " 

දොර ලග උන්නු මනුස්සයා කලිසම වටේට අතගගා අල්පෙනෙත්තක් හොයන්නා වගේ පර්ස් එක  හොයන්න ගත්තා .

" මිනිහාගේ පර්ස් එකට වැඩේ දීලා වගෙයි . "

මම එයාටත් ඇහෙන්න කිව්වා . එයා මුකුත් කිව්වේ නෑ . ඔහේ බලාගෙන හිටියා . අහින්සක විදියට හිනැහුණා .

" මගෙත් පර්ස් එක නෑ . . . "

තවෙකෙක් සෙවිල්ල ඇරඹුවා .

" අනේ මගේ පර්ස් එක . මගේ හෑන්ඩ් බෑගයේනේ තිබුනේ . . . " 

ඒ ගැහැණු කෙනෙක් . 

කෝකටත් කියලා හෙමින්සිරුවේ මමත් පිටිපස්සේ සාක්කුව පැත්තට අතගෙනිච්චා . මට දැණුනේ සාක්කුවවත් පර්ස් එකවත් නෙවෙයි . අතක් . . . එහෙම්මම අල්ලගත්ත අත්දෙක අතනෑරම මෙන්න පොකට් කාරයෙක් යැයි හඬගෑයෙමි . මගේ පර්ස් එකටත් විදගෙනම මරදාන දුම්රිය ස්ථානයෙන් බැසීමට තැත් කළ හොරාව මගේ දෑතටම හසුවී හමාරයි . වටේම උන්නු සෙනග රොත්තම හොරාට ගහන්න , බනින්න , ඇදගෙන යන්න එකම එක පොරයක . හොරාගේ බෑගයෙන් පිරිමි පර්ස්  4 කුත් ගැහැණු පර්ස් එකකුත් තිබුණා . . .

මම මගේ පසුම්බිය තව ටිකක් සාක්කුවේ පතුලටම තදකළා . ඒක නැතිවූණානම් ගෙදර ගිහින් හමාරයි . අත තිබූණු සංතකයම වුණු රු 50 තිබුනේත් ඒකෙම නිසා . 

මම හොරාගෙන් මුකුත්ම ඇහුවේ නෑ . ඒත් , හොරා ගොඩාක් දේවල් කියපු එකම කෙනා මමම වුණා . ඒ කෙල්ල මුවින් නොදෙඩූ හින්දා කාටවත්ම මුකුත් නොතේරෙන්න ඇති . ඒ හැඬුම්බර මූණ මට ආයේ ආයේ පේනවා වගෙයි . 

" මට සමාවෙන්න මහත්තයෝ , මේක තමා මගේ රස්සාව . . . ඒ මගේ අම්මයි තාත්තයි  " 

මේ ඇය කිසිලෙසක මුවින් නොදෙඩූ මගේ සවනත රැවු පිළි රැවු දෙන වචන ටිකයි . ඒ ඇස් තවමත්ම මා හා කතාකරන බැවු දැනුඳු මෙන් දැනෙයි . නොසරුප් වදන් වැලක් සමගම දුම්රිය පොලිසියේ නිලදාරීන් ඇයව ඇදගෙන ගිය හැටි වේදිකාවේ බංකුවක හිඳ මම ඔහේ බලාගෙන හිටියා . ඒ ඇස් කියවලා ඉවරයක් කරන්න මම තවමත් උත්සහ කරනවා . . .