Tuesday, January 3, 2017

පියාපත් ලැබී . . . 17


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . දාහත්වෙනි කොටස . . .


" අපි යමු නේද සර් . . . "

" යමු. එන්න පුතේ. නගින්න . . . "

පාරමී බිම බලාගෙන ගොස් රියේ පසුපස අසුනේ ඉඳගත්තාය

" නාරද කෝකටත් අපි ඔෆිස් එකට ගිහින් එමු නේද. "

" සර් මම ඔෆිස් එකට ගිහින් ආවේ. අසිතත් ඉන්නවා. වැඩ ටික සේරම නම් අවුලක් නැතුව දුවනවා සර්. මම ප්ලෑන් එකත් හදලා අසිතට දීලයි ආවේ. "

" වෙරි ගුඩ් පුතා. එහෙනම් අපි කෙලින්ම ඩොක්ටර් ගාවට ගිහින් එමු. යමු නාරද. "

රිය රාජගිරියෙන් හරවා නාවල පාරට දමාගත් නාරද සෙමෙන් ඉදිරියට පැදවූවේය. පසුපස පෙනෙන පරිදි කණ්නාඩිය සකසාගත් නාරද ඒ දෙස බැලුවේය. කෙල්ල අහක බලාගෙන උන්නේ ලැජ්ජාවෙන්ය. නාරදට සිතුනේය.

" නාරද ඊයේ වැඩ වල මොකුත් අවුලක් වෙලා නෑ නේද ? "

" බැලූ බැල්මට නම් මුකුත් වරදක් තිබුනේ නෑ සර්. සාම්පල් එකත් එක්ක ප්‍රින්ට් එක තව ටිකක් බලන්න වෙයි කොහොමත්. අපිට ඊයේ චෙක් කරගන්න බැරිවුණානේ සර්. "

" ඒක නේන්නම්. ඊයේ බලාගන්න බැරිවුණානේ. ඊයේ අපේ මේ කෙල්ල නාරදට සෑහෙන්න වද දෙන්න ඇති නේද . . .? "

" අනේ නෑ සර්. එහෙම දෙයක් නෑ. "

" වාරියපොලටත් කිට්ටු කරලා කියන්නේ පොඩි දුරක් නෙවෙයි නේ නාරද. නාරදටත් නොකිව්වට මහන්සිත් ඇති. "


" නෑ සර්. මම ඩ්‍රයිව් කරන්න ආසයි. මට මහන්සියක් නෑ . . .

" ම් . . . " " ඒක නෙමෙයි , චූටි පුතා එහෙද හොඳ ? මෙහෙද හොඳ ? " දසනායක පාරමීගෙන් ඇසුවේය.


පාරමී කිසිවක් නොකීවාය.

" ඇහුනද නාරද කෙල්ල එහෙ හොඳයි හොඳයි කිය කිය හිටියට මොකද දැන් නම් මෙහෙ හොඳයි වගේ. "

නාරද කිසිවක් නොකියා කණ්නාඩියෙන් ඈ දෙස බැලුවේය. ඈ මෙතෙක් වෙලා තමන් දෙස බලා ඉන්නට ඇත. නාරද බලන විටම ඇය වෙනතක් බැලුවාය. දසනායක කුමන අරුතකින් එසේ කීවාදැයි නොතේරේ. ඇතැම් විට පාරමි තමාදෙස බලා හිඳිනවා දුටුවාවත්ද.  අනේ මන්දා මේවායින් මට ගෙදර නවතින්න වෙයිද දන්නේ නෑ. අසිතගේ කීම එක අතකට හරීය. මෙතැන්සිට වත් ප්‍රවේසමෙන් කටයුතු කළ යුතුය. නිකමටවත් ඈ දෙස නොබලන්න ඔහු සිතාගත්තේය .

" ඔතනින් වමට නාරද "

" පුතා ඔහොම ඉන්න. මම රිපෝට්ස් ටික අරගෙන එන්නම්. ඊට පස්සෙ යමු ඩොක්ටර් ගාවට. " 

දසනායක රියෙන් බැස ගියේය. නාරද ඉදිරිපස දෙසම බලා සිටියේ ඈ දෙස නොබලන්න සිතට පොරොන්දු පිට පොරොන්දු දෙමිනි.   

මේ මොඩයාගේ තියෙන ගණන්. නිකමටවත් මා දිහා බලන්නේ නෑ. හරි නරකයි. සමහර විට මම එක එක ඒවා කියපු නිසා වෙන්න ඇති. ඒත් මම ඉතින් හිතලා කිව්වා නෙවේනේද . . . හිතේ දුකටනේ කියවුනේ. ඇයි මෙයාට එක පාරක්වත් මා දිහා බලන්න බැරි. මට සමාව දෙන්න බැරිව ඇති. පාරමිගේ නෙතට නොදැනිම කඳුලක් ඇවිත්ය. 

" මට සමාවෙන්න " ඇය ඇසෙන නෑසෙන හඬින් මිමිණුවාය. ඇයට හැඬෙන්නට ඇත.

නාරදගේ හිත තිගැස්සුනි. 

" ඇයි පාරමි මිස්. දැන් සර් ආවොත් එහෙම වැරදියට හිතන්න බැරි නෑ. ඇයි මගෙන් සමාවගන්න මිස් වරදක් කළේ නෑනේ. "

" නෑ නෑ මම තමයි වැරදි. මම අනවශ්‍ය දේවල් කිව්වා. " 

" එහෙම දෙයක් නෑ මිස්. අඬන්න එපා. අන්න සර් එනවද කොහෙද. " 


" නැත්තේ නෑ. මට සමාව දෙනකන් මම අඬනවා. මෙහෙම්මම ඉන්නවා. තාත්තා ආපුවාවේ. මට ඕන දෙයක් කිව්වාවේ. "

" මුරන්ඩු වෙන්න එපා මිස්. මිස් මට කිසිම වරදක් කළේ නෑ නේ . . . "

" නෑ නෑ. කළාමයි. මට සමාව දෙන්න බැරිද. " ඇය දෑත් එක්කොටගෙන හැඬුවාය.

" ඇයි දෙයියනේ මේ. හරි මිස් මම සමාව දුන්නා කියලා හිතාගන්නකෝ. දැන් නාඬා ඉන්න. අන්න සර් එනවා. "

මේ කෙල්ල පුදුම කෙල්ලෙක්නේ. හොඳටම අඬනවා. දසනායක දුටුවොත් මාව කනෙන් ඇද එලියට දමනු ඇත. පාරමී ඉක්මනින් ඉක්මනින් කඳුළු පිසදාගත්තාය. සෙමෙන් සෙමෙන් ඇවිද රිය වෙත ආ දසනායක ඉදිරිපස දොර හැර රියට ගොඩවූවේය.

" හරි නාරද අපි යමු. "

" රිපෝට්ස් ටික ගත්තද තාත්තා? "

" ඔවු දූ. නාරද අපි යමු දැන් ඩොක්ටර් ගාවට."


" හරි සර් . . "

නාරදගේ දීප්තිමත් දෑස බොරවී ඇති සෙයකි. දුවගේ හඬද දුබලවීය. කුමක් නමුත් ඇතිවී ඇති බව දසනායකට ඉවෙන් මෙන් දැණුනත් ඉන් එහා කිසිවක් කීමට හෝ සිතීමට නොගියේය.

නාරද විඩෙන් විඩේ කණ්නාඩියෙන් පාරමී දෙස බැලුවේය. ඇය තමන් දෙස ඇහිපිල්ලමක්වත්  නොගසා බලාහිඳී. විටින් විට අකීකරු කඳුලක් ඇගේ නෙතින් රූරා වැටෙයි. ඒ හැම විටෙකදීම එය ක්ෂනයකින්  පිස දැමීමට ඇය සමත් වූවාය. එනිසා ඒ කඳුල නාරදටම පමණක් පෙනුනා විය හැක.

" කවදද දූ ආයේමත් යුනිවසිටි ස්ටාට් කරන්නේ." නිහැඬියාව බිඳ දැමූ දසනායක විමසීය.

" මාස තුනක් විතර තියෙනවා තාත්තා. ඒ අය ස්ටාටින් ඩෙට් එක නෙට් එකේ දානවා. "

" හ්ම්. . එතකොට රිසල්ස් ගන්නත් මාස තුනක්ම යනවද ? "

" නෑ තාත්තා. තව දවස් පහලවකින් විතර පෝස්ට් කරයි. නෙට් එකෙන් බැලුවහැකි. "

" හ්ම් . . . "

" සර් අපි ආවා. " නාරද රිය ඩොක්ටර් වික්‍රමසිංහගේ පුද්ගලික රෝහල  අසල නවතමින් කීවේය.

දසනායකත් පාරමීත් රියෙන් බැස යනගමන් දසනායක මොහොතකට නැවතුනේය.

" නාරද ඇතුලට යමුද ? "

" නෑ සර්. මම වෙහිකල් එකේ ඉන්නම්. 

" හ්ම් . . ."


නැවතත් දෙදෙන පියනැඟුවෝයා. පාරමී යනගමනුත් හැරි හැරී බැලුවේ " අනේ එන්නකෝ යැයි දෑසින් පවසමිනි.





. . . මතු සම්බන්ධයි . . .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට . . .