Friday, December 30, 2016

පියාපත් ලැබී . . . 16


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . දාසයවෙනි කොටස . . .


" පුංචි බේබි . .  පුංචි බේබි . . . "

" ම්හ් . . . ම් . . . "

" නැගිටින්න බේබි. දැං හොඳටම එළිය වැටිලා. ඊයේ ආපු ඇඳුම පිටින්මයි තාම. කෝ . . කෝ . . . "

" ම් . . . ගුඩ් මෝර්නිං මේරිඅම්මා . . . මේරි අම්මා තවත් හැඩවෙලානේ මම නැති කාලෙදි. ම්ම් . . " ඇය මේරි අම්මාව වැලඳගත්තාය.

" ඊයේ අච්චර රෑවෙනකන් කොහෙද රත්තරනේ ගියේ. ලොකු මහත්තයයි මායි හොඳටම බයවෙලා උන්නේ. අන්න පහල ලොකු මහත්තයා බලාගෙන ඉන්නවා බේබි එනකන්. "

" මේරි අම්මේ තාත්තා බනීද මට. මම ඉතින් මගේ හොඳම යාළුවාව ඩ්‍රොප් කරන්නනේ ගියේ. "

" හරි හරි ගිහින්ම බලන්නකෝ බේබිම. "

" නෑ නෑ, මට බනින එකක් නෑ. මම එනකොට නිදිනේ. තාත්තා වඩාගෙන ඇවිත් තිබ්බේ. මම ඇස් තද කරගෙන බෙල්ල බදාගෙන හිටියේ. ඒනිසා තාත්තා මට මුකුත් කියන එකක් නෑ නේද ? තාත්තට දුක හිතෙන්න ඇති මම එහෙම ඉන්නකොට. තාත්තා මට ආදරෙයි නේ . . . " පාරමීගේ කතාවට මේරි අම්මාට හිනාගියාය.

" බේබි කොහොමද දන්නේ හරියටම ඔහොමයි ඇඳට ආවේ කියලා . " මේරි අම්මා හිනැහුනාය.

" මට හීනෙන් වගේ දැනුනා. ඇයි . . .? "

" නෑ නිකන්. කෝ දැන් බේබි ඇඟපත හෝදගෙන එන්නකෝ. "

" අනේ කියන්නකෝ මේරි අම්මා. මොකද්ද අනේ. මොකද උනේ. ඇයි මේරි අම්මා හිනාවෙන්නේ මට. කියන්නකෝ . . "

" අර . . . ඊයේ පුංචි බේබිව එක්කගෙන එන්න ආපු මහත්තයා තමයි බේබිව උස්සගෙන වඩාගෙන ඇවිත් ඇඳෙන් තිබ්බේ. බේබිත් අපූරුවට බෙල්ල බදාගෙන ආවේ. ඇඟිල්ලත් කටේ ගහගෙන. "

" දෙයියනේ මාව ඩ්‍රයිවර් ද එක්කන් ආවේ. මොන ලැජ්ජාවක්ද. ඇයි මේරි අම්මා ඒ මනුස්සයට මාව උස්සන් එන්න ඉඩ දුන්නේ. තාත්තටයි ඔයාටයි තිබ්බනේ මාව එක්කගෙන එන්න. " පාරමී හැඬුම් මුසුව කීවාය.

" අපි උස්සගෙන එන්න ඉඩදුන්නා නෙමෙයි බේබි. ලොකු මහත්තයටයි මටයි බේබිව වත්තන් කරගෙන එන්න අමාරු වුණා. අපිට අමාරු නිසා තමයි ඒ මහත්තයා  උස්සගෙන ඇවිත් කාමරේ ඇඳෙන් බේබිව තිබ්බේ. "


පාරමී නාන කාමරය වෙත දිව ගියාය. දෙයියනේ එතකොට එයාද මාව වඩාගෙන ඇවිත් තියෙන්නේ. පාරමීගේ සිතට කිසිවක් නොපිවිසෙයි. ඇඳහුන් ඇඳුම පිටින්ම ඇය ශවර් එකට ඔලුව ඇල්ලුවාය. ආයෙමත් එයාව හම්බවෙන්නේ නැත්නම් හොඳයි. ඈ සිතුවාය.


            
               ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



" කෝ මේරි අම්මා දුව. "

" ඇඟ සෝදනවා ලොකුමහත්තයා. ලොකු මහත්තයා බනී කියලා පුංචි බේබි බයේ ඉන්නේ. "

" දැන් ඉතින් මම මොනාට බනින්නද ? "

දසනායකගේ ඒ වචන පෙලේ අදහස් ගණනාවක් ගැබ්ව ඇතැයි මේරි අම්මාට හැඟුනි. නමුත් ඒ කිසිවක් ගැන කතා කිරීමට මේරි අම්මා කැමති නොවූවාය. සියල්ල කාලයට ඉඩදිය යුතුය.

" තාත්තා . . . " පාරමී වරද කර ගුරුවරයෙකුට හසුවූ සිසුවෙකු පරිද්දෙන්  දසනායක වෙත පියමැන්නාය.

" කොහොමද පුතා. මහන්සි අඩුයිද දැන්. "

" ඔවු තාත්තා. මට සමාවෙන්න තාත්තා ආයෙත් මම එහෙම කොහේවත් යන්නේ නෑ. සත්තයි. " පාරමීගේ  නෙතේ කඳුලක් විය.

" හරි හරි දැන් ඒක ඉවරයිනේ මැණික. අපි තේ බොමු. කෝ , මේරි අම්මා . .  මගේ කෙල්ලට තේ දෙන්න. "

" තාත්තා ඇඳගෙන ඉන්නේ ඔෆිස් යන්නද ? " පාරමී ඇසුවාය.

" නෑ පුතේ මම මේ ඩොක්ටර් වික්‍රමසූරියව පොඩ්ඩක් හම්බවෙන්න යන්න හදන්නේ. පොඩි රිපෝට් වගයක් ගන්න තියෙනවා කියලා එන්න කිව්වා. "

" ඇයි තාත්තා හදිසියේම. "

" ඇයි පුංචි බේබි දන්නේ නැත්ද මේ ලඟකදි මහත්තයාට  ටිකක් අමාරු වුණා. ප්‍රෙශර් කොලෙස්ටරෝල් දෙකම තියෙනවලු. හාට් එකටත් එන්න ඉඩ තියෙනවා පරිස්සම් වෙන්න කියනවා මම අහගෙන පුංචි බේබි. "

" මේරි අම්මා මොනවද මේ දරුවට කියන විකාර. ඔය මුකුත් නෑ පුතේ නිකන් චෙකප් එකක් විතරයි. මේරි අම්මත් ඕන නැති දේවල්නේ මේ දරුවට කියවන්නේ. "


" මම බලාගන්නම්කෝ ඇත්ත මොකද්ද බොරු මොකද්ද කියලා. තාත්තා ඉන්න මමත් එනවා. " කිසිවක් කීමට ඉඩ නොතැබූ පාරමී තේක පසෙක තබා කාමරය වෙත ගියාය.

" මේරි අම්මේ ඔය ඕන නැති දේවල් ඔය ළමයාගේ ඔළුවට දාන්න එපා. මේරි අම්මට පිස්සුද ? "

" මට පිස්සු වුණාට කමක් නෑ ලොකු මහත්තයා. ලොකු මහත්තයා මට ඇති තරම් බනින්න. ඒත් මහත්තයා බේබිටවත් ටිකක් ලොකුමහත්තයා ගැන හොයලා බලන්න ඉඩ දෙන්න. "

දසනායක කිසිවක් නොකියා ඉස්තෝප්පුවට පියමැන්නාය. දහයට කිට්ටුය. නාරද දැන් නිවසට එනු ඇත. ඔහු වෙලාවට වැඩ කරන්නෙකි.

" කෝ තාත්තා, අපි යමු . . . " පාරමී ලකලෑස්ති වී ඉදිරියට ආවාය.

" මට ඩ්‍රයිව් කරන්න හොඳ නෑ නේ පුතේ. ඉන්න දැන් නාරද එනවා ඇති. මම නාරදට එන්න කිව්වා. අහ් . .  කියනකොටම ඔය එන්නේ. . . "

" ගුඩ් මෝනිං සර් . . . "

" ගුඩ් මෝනිං නාරද . . . "

" මම පරක්කු නෑ නේද සර්. "

" නෑ නාරද නෑ. වෙලාවටම ආවා. නාරද තේකක් බීලම යමුද ? "

" එපා සර්. මම බීලා ආවේ. "

පාරමී වාහනයෙන් බැස එන ජේත්තුකාරයා දෙස කණුවකට මුවාවී බලා සිටියාය. දෙයියනේ මේ ඊයේ ආපු ඩ්‍රයිවර් නේද ? ඊයේ උන්නේ නිකන්ම නිකන් ටී ශර්ට් එකකුයි කසිකබල් ඩෙනිමකුයි ඇඳගෙන. ඒත් දැන් ඊට හාත්පසින්ම වෙනස්. අත්දිග ශර්ට් එකක් ඇඳලා, ඒකට හරියන්න ගැලපෙන කලු කලිසම. සපත්තු දෙකෙන් මූණ බලන්න පුලුවන්. හිස යන්තමින් බමන ගතියක් පාරමීට දැනිනි. ඇයට මුවාවූ කණුවෙන් එළියට ඒමේ අපහසු බවක් දැනෙන්නට විය. ඇය ශනිකවම නිවස දෙසට දුවන්න හදද්දීම දසනායක ඇයට කතා කලේය.

" පුතේ අපි යමු නේද ? "


පාරමී තිගැස්සුනාය. නාරදද ඇයව දුටුවේ දැන්ය. ඇගේ වෙනස නාරදට හොඳින්ම දැනුනි. " ලැජ්ජා ඇති " නාරද සිතින් තමාටම කියා ගත්තේය. ඒ බව පාරමී දෙස බලා සිටින නාරදගේ මුහුණින්ද පලවන්නට ඇත.

" පුතේ මේ ඉන්නේ අපේ ප්‍රඩක්ශන් මැනේජර් නාරද. ඊයේ මට පුතාලව ගන්න එවන්න කෙනෙක් නැතිවුණ වෙලේ නාරද තමයි මට උදවු කළේ. "


දෙයියනේ මේ මනුස්සයා තාත්තගේ ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි ද. මාර ලැජ්ජාව. අපි මේ මනුස්සයට ඩ්‍රයිවර් කෙනෙක් විදියටනේ සැලකුවේ. අර මෝඩි නිසා තමයි හැමදේම. පාරමීට තම යෙහෙලිය ගැන තරහක් ඇතිවුණාය. දැන් මොකද කරන්නේ . . .







. . . මතු සම්බන්ධයි . . .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට . . .