Followers

Wednesday, December 28, 2016

පියාපත් ලැබී . . . 15


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . පහලොස්වෙනි කොටස . . .

" කවුද ලොකුමහත්තයා අර ඉලන්දාරියා. චූටි බේබිව උස්සලා ගත්තේ නිකන් තාත්තෙක් දුවෙක්ව වඩාගන්නවා වගේ. කවුද මහත්තයා ඇත්තට ඒ. "

" හ්ම් . . . " දසනායකගේ මුවේ සිනාවක් විය.

" ලොකුමහත්තයා එපා කිව්වෙත් නෑ. හා කිව්වෙත් නෑ. ඒකයි මම මේ ඇහුවේ. එකපාරටම ආවා, වඩාගත්තා, අරගෙන ගියා. " මේරි අම්මා දසනායකගේ ඉරියව් එකින් එක මැනගනිමින් සිටියාය. දසනායකගේ කල්පනාවේවත් සිනාවේවත් වෙනසක් ඇති නොවීය.

" ඒ අපේ ඔෆිස් එකේ ප්‍රඩක්ශන් මැනේජර්. හරි හොඳ කොල්ලෙක්. මම කිව්වොත් ඕන දෙයක් ඒ කොල්ලට. " දසනායක මේරි අම්මා දෙස සිනාමුසු මුහුණින් බලා කීවේය. 

" ලොකුමහත්තයා හරියට කියන්නේ පුංචි බේබිව ඒ මහත්තයාට බාර කරලා වගේ නේ. ඒකත් නරක නෑ නේද ලොකුමහත්තයා. "

කිසිවක් කීමට ඉඩ නොතබා මේරි අම්මා ඉවත්වූවාය. ඒ තමයි අපේ පුංචි බේබිගේ හිමිකාරයා. අපේ බේබිටත් ඕනේ තාත්තෙක් වගේ එයාව රැක බලාගන්න පුළුවන් කොල්ලෙක්. පඩිපෙල නගිනකොට කොල්ලගේ ඇස් දෙක දිලිහෙනවා මම දැක්කා. හිඟන්නෙක් වුණත් අපේ පුංචි කෙල්ලව බලාගන්න, ආදරේ කරන කෙනෙක් නම් ලොකුමහත්තයත් අකමැති වෙන එකක් නෑ. ලොකුමහත්තයා මම ඉස්සෙල්ලා කියපුවා ගැන හිතනවා ඇති දැන්. යන්න නරකයි ආයේ ඒ පැත්තට. මේරි අම්මා නින්දට ගියාය.



            
               ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴




ජනෙල් තිර අතරින් කාමරයට හිරු රැස් වැටෙමින් ඇත. නාරදට ඔහේ බලාන ඉන්නවාට වඩා දෙයක් කිරිමට නොසිතෙයි. වෙලාව ඔරලෝසුවේ 8.00 යැයි සටහන්ව තිබේ. කෝකටත් ඔෆිස් එකට යනවා.නාරද සිතුවේය. ඉක්මනින් නා ඇඳ පැලඳගත් නාරද කාර්යාලය බලා නික්මුනේය.

" අඩෝ ... " නාරදට පසුපසින් අසිතගේ හඬ ඇසුණී. 

" ගුඩ් මොර්නින් මචන් "

" ගුඩ් මොර්නින්, ගුඩ් මොර්නින්. උඹ මේ ඔෆිස් ආපු ගමන් ද නැත්නම් කොහේ හරි මගුල් ගෙදරක යන්ඩ ආපු ගමන්ද. ආ . . . "

" ඇයි බං එහෙම ඇහුවේ . . ."

" නෑ  උඹ ඔහොම ජැන්ඩියට ඇඳලා මනමාල හිනාවකුත් දාගෙන යනකොට ඕන පොට්ටයෙකුට හිතෙන්නෙ එහෙම තමයි. "    

" ඉතින් බන් උඹනේ හැමදම කියන්නේ ගොඩයා වගේ අඳින්න එපා කියලා. "

" හරි හරි උඹ දිණුම්. ඒක නෙවෙයි. ඊයේ මොකද වුනේ. උඹේ ෆෝන් එකත් වැඩ නැතුව ගියානේ. "

" ඔව් ඒක බැට්‍රි බැහැලා ඕෆ්. ඊයේ රෑ දෙකටත් කිට්ටුයි මම ගෙදර යනකොට. එපා වුනා. "

" එපා වුනා . . . අනේ පලයන් ගෝතයෝ යන්ඩ. තොට එපා වෙලා නෙවෙයි. මට පේන විදියට ඕන වෙලා වගේ නේ . . . කොහොමද දසයගේ දූ පොඩ්ඩ. නියම කෑල්ල නේද බන් . . ඈ . . . කියපන්කෝ . . . "

" නියම කෑල්ල නෙමෙයි. ඒක ගිණි බෝම්බයක්. මම නූලෙන් බේරිලා ආවේ. එරවිලි, පිප්පිලි, බැනුම් කෝටියයි. "
  
" අනේ පලයං යන්න. ඒකි හෙන අහිංසක කෙල්ලෙක්. ඉස්සර ඔෆිස් එකටත් එනවා. හැමෝම එක්ක හරි විහිලුවෙන් කතාබහ කරන්නේ. මේ ඔෆිස් එකේ හැමෝම ඒකිට හෙන ආදරෙයි. "

" ඒකනම් මම දන්නේ නෑ මචං. මම කිව්වේ වෙච්ච දේ. "

" එහෙනම් ශුවර් එකට ඒකි බය වෙන්න ඇති උඹේ ඔය අහින්සක මූණට ඒකිව අහුවෙයි කියලා. ඒකයි උඹට පුප්පන්න ඇත්තේ. "

" හා හා . . ඔය මගුල නවත්තමු. උදේ වැඩ ටික බලලා බොස් ගේ ගෙදර යන්න ඕන 10.00 වෙද්දී. සර් ට බෙහෙත් ගන්න යන්න ඕන කිව්වා. "


" ඇයි බං,  ඒ මනුස්සයාට යන්න මේ රටේ වෙන වාහන නැත්ද. මේ නාරද  මම උඹට එකක් කියන්නම්. ඔය ඕකුන් කියන එක එක පදේට නටන්න ලෑස්ති වෙන්න එපා. නැත්නම් උඹට මේකේ වැඩි කල් ඉන්න හම්බෙන එකක් නෑ. මමත් උඹ ඔය කරන්න හදනවා වගේ ඔය මිනිස්සුන්ට පැනලා දෙන්න ගියානම් මෙලහට මම මේ ඔෆිස් එකෙන් ගිහින් ගොඩාක් කල්. "

" නෑ බං , දෙන්න යනවා නෙමෙයි. බොස්ගේ ඩ්‍රයිවර් ගමේ ගිහින්. බොසාගේ මොකද්ද අසනීපයක් නිසා ඩ්‍රයිව් කරන්න එපා කියලා ඩොක්ටර් කිව්වලු. ඒකයි මට එන්න පුළුවන්ද කියලා ඇහුවේ. මට එකපාරටම බෑ කියන්න බෑනේ මචං. "

" ඇයි බං ඒ වගේ අයට තමයි මේ රටේ ලෝකේ කැබ් සර්විස් කියලා ජාතියක් තියෙන්නේ. කැබ් එකක් අරගෙන යන්න පුළුවන්නේ. උඹට තියන ආදරේට එන්න කියනවා නෙමෙයි නේ බං. ඔහොම කරන්න ගියාම හැම වැඩේම උන් අපෙන් කරගන්න බලන්නේ ඊටපස්සේ. උඹට තේරෙන්නේ නෑ නාරද. ඕනවාට වඩා අහින්සක වෙන්න එපා. එතකොට හැමෝම තමන්ගේ අහින්සක කමෙන් ප්‍රයෝජන ගන්න බලනවා. මම උඹේ හොඳට කියන්නේ මගේ යාලුවෙක් නිසා. නැතුව දසනායක සර් එක්ක මගේ කිසි අවුලක් නෑ. දසයා එහෙම කරනවා කියලා කියනවත් නෙමෙයි. ඒත් කරනදෙයක් පරිස්සමෙන්, කල්පනාවෙන්. මම යනවා. "

අසිතගේ කීම සැබෑය. අද ලොක්කන් සොක්කන්ගෙන් පතුරු යනතෙක් වැඩගෙන පයින් ගසා එලවන තත්වයක් ඇත. නමුත් දසනායකගේ කීමට බෑ කීමට පුළුවන්කමක් තමාට තිබුනේ නැත. ඔහු කුමක් හෝ දෙයකින් පෙලෙන බවක් ඔහුව දකින විටදී පෙනෙයි. කෙසේ වෙතත් කවුරුන් හෝ වේවා තමන්ගෙන් උදවුවක් ඉල්ලූ විට හැකිනම් එය ඉටුකිරීම කොයිම විටකදීවත් පැහැරහැරීමට නොසිතෙයි. කාර්යාලයේ කටයුතු පිලිවෙලක් කළ නාරද දසනායකගේ නිවස බලා යාමට සැරසුනේය.




. . . මතු සම්බන්ධයි . . .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට . . .