Followers

Monday, October 10, 2011

අවසන් හුස්ම . . .



ඒක මහ පාලු මූසල ගඳ ගහන තැනක් . මම කාටවත්ම දොස් කියන්නේ නෑ මේ තැන මට උරුම වුණු එක ගැන .අපේ අම්මා හරි අහිංසකයි . හිත හොද ගෑනි හැමදාම බඩින් කියන කතාවට මම එකඟ වුණේ ඒ නිසාම නම් නෙවෙයි . මොකද ඒක අම්මගේ වරදක්ම නොවුන නිසා . එතනදි අම්මාගේ වරද වුණේ ගැහැනියක් වීම විතරයි කියලයි මට හිතුනේ . මගේ තාත්තව මම කොයිතරම් දැකගන්න ආසවුණත් ඇහැටවත් දැකලා තිබුණේ නෑ . මට මතකයි පුංචි කාලේ මම අම්මගෙන් තණේ එල්ලිලා කිරි බොනගමන් අහනවා " අම්මේ කෝ තාත්තා " කියලා . ඒ අහන ගමන් මම ඇස් දෙක උස්සගෙන බලන් ඉන්නවා දැං කියයි දැං කියයි කියලා . ඒත් හැමදාම එයා මාව ඉඹලා ඔළුව පැත්තකට හරවගන්නවා . කවදාවත් මට ඒකට උත්තර හම්බුනේ නෑ . සමහර විට එයාටත් මතක නැතුව ඇති . මට කවදාවත් ඔය ප්‍රශ්නෙන් මිදෙන්න බැරිවුණා . මම කලේ ඔය ප්‍රශ්නෙන් හැංගෙන එක .

පොඩිකාලේ ඉඳලම හැමෝගෙන්ම අඩන්තේට්ටම් වෙන්න වුණු නිසා මම හිටියේ ඒ හැමෝගෙන්ම ඈත්වෙලා . මට මතකයි කිරිබොන්න ගියත් නැමෝම මාව පෙරලගෙන ගිහින් කිරිබොනවා . ටික ටික මට හැමදෙයක් ගැනම තිබ්බ ආසාව නැතිවුණා . හැමෝම කාල බීලා ඉවරවෙනකන් ඉන්න මම අන්තිමට ඉතුරුවෙලා තියෙන මොනවා හරි කාල බඩ පුරෝගන්නවා . අපේ පවුලේ මම බාලයලු . හැමෝම මට එහෙමයි සැලකුවේ . සමහරවිට මම ටිකක් ඔතෑනි නිසාත් ඇඟපතින් වැඩි උස මහතක් නැතිනිසාත් වෙන්න ඇති . සමහරු මාව නෝන්ජලයෙක් කියලා පැත්තකට කළා .

ඔය අතරේ දවසක් මම අපේ ලොකු අයියගේ බත් එකෙන් බත් චුට්ටක් කන්න ගියා කියලා එයාට හොඳටෝම තරහගියා . මාත් එක්ක රංඩු ඇල්ලුවා . හැමෝම එක පැත්තකට වුණා . මම තනිවුණා .මාව මගේම උන් පෙරලගෙන කන්න ගත්තා . මම බේරෙන්න එහේ මෙහේ හැමතැනකම දිවුවා . හුන්ඩුවක් වගේ මිදුලේ මට දුවාගන්න බැරිවුණා . අන්තිමට අපිව නවත්තන්න අපිව බලාගත්ත මාමට බට්ටෝ දාන්න සිද්ද වුණා . බට්ටෝ සද්දෙට හැමෝම සීසීකඩ දිවුවා . ඒ වෙනකොට මගේ කකුල දරුණු විදියට තුවාල වෙලා . මට නැගිට ගන්නවත් බැරි තරම් තදට දත් පාර වැදිලා තිබුණා . ඒක අපේ ලොකු අයියගේ කියලා මම හොඳටම දන්නවා . මම යාන්තන් අද්ද අද්ද නැගිටින්න හදනකොට අපිව බලාගත්ත මාම ඇවිත් මාව උස්සලා වාහනේකට දාගත්තා . 

ඒකට කියන්නේ ත්‍රීවීල් එකලු . මට වටින් ගොඩින් කතාවෙන් තේරුනේ . මම ඒකේ බිම දිගාවෙලා හිටියේ . හයියෙන් එහෙමෙහෙ යන දේවල් දිහා මම හරි බයෙන් බලාගෙන හිටියා . ඒ හැමදේකම මට ලොකු අමුත්තක් දැනුනා . ඒ එකකටවත් කියන්නේ මොකද්ද කියලා මම දැනගෙන හිටියේ නෑ . මම ඔහේ බලාගෙන හිටියා . මම තුවාලෙන් දැනුන වේදනාවටත් වඩා ඒ දේවල් වලට බයවෙලා හිටියේ . ටිකකින් අපි ගිය වාහනේ නැවැත්තුවා . ඒක අපේ ගේ වගේ නෙවෙයි . හරි විසාල තැනක් .
අපේ ජාතියේ අය ගොඩක් ලස්සන ලස්සන පටි දාගෙන ඉන්නවා මම දැක්කා . ලස්සන ලස්සන කොන්ඩ දාපු ගෑනු ළමයිනුත් ඉන්නවා දැක්කා . හැරිලා බලන්න කොයිතරම් හිත කිව්වත් ගතේ ඒහැටි වාරුවක් තිබුනේ නෑ . ඒකලු මෙහේ තියෙන හොඳම ඉස්පිරිතාලේ  . ඒක මම දන්නේ පස්සේ . මාව අරන් ගිහින් තිබ්බා ඇඳක් උඩ . 

 " කෝ ඔය රෙද්දක් දාලා තියන්න . ඕගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනෙද . . . ? "

 මිසී කෙනෙක් මහ හයියෙන් කෑගැහුවා . කොයිතරන් අමාරුවක් , හදිස්සියක් උනත් ඒගොල්ලෝ ඉතින් නීතියටනේ වැඩ . මාව ආයෙමත් උස්සලා ඇඳට රෙද්දක් දාලා ආපහු ඒකෙන් තිබ්බා .  කෑගහලා කියන්න හිතුනා අනේ දෙයියනේ මට රිදෙනවා කියලා . ඒත් කටින් ඒ වචන පිටවුනේ නෑ . කොයිතරම් රිදුම් දුන්නත් මම කරන්න දෙයක් නැතිකමට ඉවසගෙන හිටියා .  ඒ අතරේ මට දැනුනා කවුදෝ කෙනෙක් හරි හදිස්සියෙන් මොනවදෝ කරනවා . මම හැරිලා බලන්න හදත්දි එතන හිටපු මිසී මාව හයියෙන් ඇඳට තියලා තද කළා . ඒක මට තුවාලෙට වඩා රිදුනා . කටුවක් කකුල ඇතුලටම කිඳාබහිනවා දැනුනා . හැමදේම කැරකෙන්න ගත්තා . නිලංකාරවුණා . හැමදේම ඉවරයි . මට දැනුනා . . . මට මතක එච්චරයි .
ටිකවෙලාවකින් බලද්දි මාව එක්කන් ආපු මාමා මගේ ඔළුව අතගගා හිටියා . එතකොටයි මට තේරුම්ගියේ මම මෙච්චරවෙලා සිහිනැතිකරලා ඉඳලා තියෙන්නේ කියලා . මගේ ඇඟට මොකද්දෝ කට්ටක් ගහලා තිබුණා . ඒකෙන් මොනවදෝ වතුරක් බින්දු බින්දු මගේ ඇඟට කාන්දුවුණා . ලොකු සුදු ඇඳුමක් දාගත්ත කෙනෙක් මගේ ලඟට ඇවිත් මා දිහා බලලා " දැන් හොඳයි , ඉක්මනට ගෙදර ගියෑකි " කියලා කිව්වා . මට ඒ නෝනට ස්තූති කරන්න ඕනේ වුණා . ඒත් එක වචනයක් පිට කරන්නත් කලියෙන් මාව එක්කන් ආපු මාමා බොහොම ස්තූතියි ඩොක්ටර් කිව්වා . මට ඕනේ වුනේ එහෙම නෙවෙයි . මං වෙනුවෙන් කරපු උපකාරේට කඳුළු පුරෝගෙන පිංදෙන්නයි මට ඕනේ වුනේ . මම හිටියේ ඒතරමට කියාගන්න බැරිතරම් වේදනාවකින් . ඒ වේදනාව නැතිකරපු දොස්තර නෝනව මට පෙනුනේ දෙවිකෙනෙක් වගෙයි . මගේ කකුල තදට වෙලලා තිබුණා . මම නැගිටින්න හැදුවට තවමත් මට වාරුවක් නෑ . ඇඟට පන නැ . තොල කට වේලිලා තිබුණා . අමාරුවෙන් කට ඇරලා දිව එලියට දාපුවහම ඒ දැකලා ඒ දොස්තර නෝනා මොකද්ද බටේකින් මගේ කටට වතුර වගයක් විද්දා . හරි තිත්තයි . ඒත් මොනවා කරන්නද . පිපාසෙට මම සේරම බිව්වා .

අපි ගෙදර එනකොට හොඳටම ඇඳිරි වැටිලා . මට හිතුනා මගේ ජීවිතෙත් මොනතරම් අඳුරුවෙලාද කියලා . මාව උස්සගෙන ගිහින් කෙලවරේම තිබුණු කාමරයකින් තිබ්බා . මට ඇහුනා එක එක්කෙනා එක එක කතා කියනවා . මට ඒ එකකටවත් උත්තර දෙන්න කිසිම වුවමනාවක් තිබ්බේ නැ . ලොකු අයියා මාව දැකලා බිම බලාගත්තා මිසක් මා දිහා බැලුවේවත් නෑ . මම එතනින් එහාට හිතන්න ගියේ නැ . රිදෙන හිත වාකුල් කරගෙන මම නිහඬවම පැත්තකට වුණා . ඇඟේ අමාරුවටද කොහෙද මට වැටිච්ච තැන එහෙම්මම නින්ද ගියා . මම හීනෙන් එක එක දේවල් දැක්කා . මම ඇහැරෙද්දි දැක්කා අම්මා මම දිහා බලාන ඉඳලා යන්න හදනවා . මට කියන්න හිතුනා අම්මේ පොඩ්ඩක් මගේ ලඟට වෙලා ඉන්න කියලා . ඒත් මම එයාගේ අලුත් ස්වාමිපුර්ශයාව දැක්ක හැටියම ඒ වචන ටික ආපහු ගිලගත්තා .

ඔහොම ටික කාලෙකින් මගේ කකුල හොඳවුණා . ඒත් තුවාල වුණු කකුල අනිත් ඒවට වඩා ටිකක් කොටයි කියලා මට ඇවිදිද්දි තේරුණා . මම ඒ ගැන හිතන්න ගියේ නෑ . මම හැමෝගෙන්ම ඈත්වුණා . ඔහොම කලක් යනකොට අපේ පවුලෙන් ඉතුරුවෙලා හිටියේ මමයි අම්මයි විතරයි . අනිත් හැමෝවම එක එක්කෙනා හදාගන්න අරන් ගිහින්ලු . මට තවත් මහා පාලුවක් දැනුන . මම අම්මා දිහා සමහරදාට ඔහේ බලන් ඉන්නවා . ඒත් කවදාවත් එයා මා එක්ක වචනයක්වත් කතාකලේ නෑ . 

දවසක් අපිව බලාගත්ත මාමා අපි හිටපු තැනට ගැටිස්සියෙක් ගෙනල්ල තිබුණා . ඇත්ත , මමත් හොරෙන් වරු ගනන් බලාන උන්නා . මාමා මට එයා ඉන්න පැත්තපලාතට යන්න දුන්නේ නෑ . දවසක් දෙකක් මාව ගැටගහලත් තිබ්බා . මට ලොකු දුකක් දැනුනා . මම ආයේ එයා දිහා බලන්න ගියේ නෑ . ටික දවසක් යද්දි අම්මා පේන්න හිටියේ නෑ . මට පස්සේ තේරුනේ අම්මගේ තැන පුරවන්න තමයි ඒ ගැටිස්සි ඇවිත් තියෙන්නේ කියලා . මම අම්මව හැමතැනම පිස්සු හැදුනු ගානට හෙව්වා . මම අම්මේ කියලා කෑ ගහලා අඬගැහුවා . ඒත් එයා ආවේ නෑ . මම දවස් ගානක් හැමතැනම කෑගගහ හෙවුවා . මම අම්මව බැලුවේ නෑ නේද කියලා මගේ හිතට ලොකු පසුතැවීමක් දැනෙන්න ගත්තා . 

" මූ නිකන් කකා බිබී ඉන්නවා මෙලෝ වැඩකට ඇති එකෙක් නෙවෙයි . අඩුම තරමේ රෑට නිදියන එක නිදියන්න දීපන් . ඒත් නෑ. වදකාරයා . "  

දවසක් රෑ මාමා මම කෑගහන සද්දෙට මට හොඳටෝම ගහලා ගේට්ටුවෙන් එළියට දැම්මා . මම නොදුටු නුපුරුදු ලෝකෙක තනිවුණා . සමහරදේට මම ගොඩාක් බයවුණා. නොදන්න පාරවල් දිගේ මම ඔහේ ඇවිදගෙන ගියා . සමහරුන්ව දකිද්දි මම ගොඩාක් ඈතින් ගියේ . ඒ අය මාව දකින්න , මම එනවට අකමැතියි කියලා මට දැනුනා . සමහරු නම් මට ගොඩාක් අනුකම්පා කළා . තවත් සමහරු මාව දැක්ක තැන එලෝගත්තා . මම ඉබාගාතේ ඔහොම යනකොට හදිසියේම දැක්කා කවුදෝ පාරේ වැටිලා ඉන්නවා . කාටමුත් කරදරයක් නේද කියලා මම කොරගගහා දුවගෙන ගියා . ටික ටික ලංවෙනකොට මම දැක්ක දෙයින් මට ඇස් අදහාගන්න බැරිවුණා . දෙයියනේ අම්මා නේද . මගේ ඇස්වලට කඳුළු පිරුණා . අම්මගේ හෝපොතුගැහුණු බඩ දිහා මම බලාගෙන හිටියා . කඳුළු දෝරේගියා . මට කෑගැහුන . මම අම්මව ඉඹගෙන ඉඹගෙන ගියා . වැඩිවෙලාවක් ඉන්න හම්බුනේ නෑ . මගේ බෙල්ලට තොන්ඩුවක් වැටුණා. මම බේරෙන්න දැඟලුවා . ඒ තොන්ඩුව මගේ කටත් වහගෙනයි වැටිලා තිබුනේ . උදවු ඉල්ලන්න කෑගැහුවත් එකවචනයක්වත් පිටවුනේ නෑ . ඒ එක්කම කට්ටක් මගේ ඇඟට කිඳාබැස්සා මට තේරුණා . ටික ටික මගේ බෙල්ලට තදවුණු පටිය ලිහිල්වුනා . ඈතට දුවල හැංගෙන්න ඕනේ වුණත් දුවගන්න බැරිවුණා . හැමදේම කැරකෙන්න පටන් ගත්තා . බොඳවෙලා ගියා . වාකුල් නැති කකුල් මාව අම්මා ලඟම ඇද්ගෙන වැට්ටුවා . මම අම්මා දිහා ඔහේ බලාගෙන හිටියා . " මේ ලෝකේ අපේ නෙමේ අම්මේ . අපි ගොඩක් පවු කරලා ඇති . " මම ලොකු හුස්මකින් මගේ කතාව අහසට පාකළා . මම හිතුවේ නෑ හීනෙකින්වත් ඒ හුස්ම මගේ අවසන් හුස්ම වෙයි කියලා . . .

Wednesday, October 5, 2011

පියාපත් ලැබී . . . 09

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

. . . නමවැනි කොටස . . .


" ඒ මොකද බං . ලොක්කා ප්ලේන් එකකුත් සර්විස් එකට දාලද . "

උස් හඬින් නැගි සිනාවත් එක්කම පැවසුවේ හිතේ හටගත් බිය හංගගන්නත් එක්කමයි .

" මේ , විහිළු නෙමෙයි නාරද . මම සිරාවට කියන්නේ . දසනායකගේ දුව ලංකාවට ඇවිත්ලු . එනවා කියලා අමතක වෙලා සිරිපාලවත් ගෙදර යවලා . එක්කන් එන්න යන්න කෙනෙක් නෑ කියලා මට යන්න පුළුවන්ද ඇහුවා . මට යන්න බෑනේ මචන් . පඩි දෙන්න එපෑ මේකලාට . නැතිනම් මුන් මගේ ඔලුව කාවි . පස්සේ උඹ ගම්පහ ඉන්නවා කිව්වම එහෙම්මම උඹට එයාපෝට් යන්න කියලා කියන්න කිව්වා . පරිස්සමින් ගිහින් එන්නත් කිව්වා . "

අනේ මචන් මම ගිහින් නෑනේ . අනික මම අඳුනගන්නේ කොහොමද කවුද කියලා . තාම සර්විස්ටේශන් එකත් වහලා . වාහනේ ගන්න විදියකුත් නෑ . උඹට බැරිද වෙන කාවහරි සෙට් කරන්න අසිත . "

" මචන් මට ලොක්කගේ කීමට පිටින් යන්න බෑනේ බං . අනික උඹට පිටරට යන්න කිව්වේ නෑ . එයාපෝට් එකට යන්න කිව්වේ . බය නැතුව පලයං . ඔය වාහනේ පස්සේ ගත්තහැකි . උඹ අතේ සල්ලි තියෙනවද . . ? "

" ඔවු තියෙනවා . . . "

" උඹ ඔතනින් ත්‍රීවීල් එකක් අරගෙන අස්ගිරිය මල්වත්ත ගාවට පලයන් . ඒ යද්දි මල්වත්ත ඔන්න මෙන්න තියලා හැරෙන්න පාරක් ඇති . ඒක කෙලින්ම ගෙදරකට යන්නේ . ඒ ගෙදට්ට ගිහින් කියපන් මිස්ටර් දසනායක එව්වේ කියලා . එහෙන් වාහනේ අරගෙන කෙලින්ම එයාපෝට් පලයන් . මොනවාහරි අවුලක් වුණොත් මට කෝල් එකක් දියන් . "

" හරි බං , වෙන ඉතිං මොනවා කරන්නද . දං කොහොමද බං උන්ව අඳුනගන්නෙ . "

" ඌබ එයාපෝට් එකට පලයන් . ඒ කෙල්ල වාහනේ අඳුනනවා කියලා දසයා කිව්වා . උඹට හොය හොයා ඉන්න වෙන්නෙ නෑ . එහෙනම් පරිස්සමින් ඉක්මනට පලයන් . . . "

" හ්ම්ම්ම් . . . "

නාරද අකමැත්තෙන්වුව යායුතුම නිසා ත්‍රිවීලරයකට ගොඩවුනේ පුළුවන් ඉක්මනින් අස්ගිරිය ගාඩ්න් කියන ගමන්ය . මේවට තමා කියන්නේ වදින්න ගිය දේවාලේ ඉහේ කඩංවැටෙනවාය කියලා . ඔහු තමන්ටම මුමුනාගත්තේය .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


" උඹ දැං ගෙදර ගියාම කට්ටිය පුදුමවෙයි නේද චාමි . "

" අනේමන්දා බං , ඒගොල්ලන්ට ඒහැටි ගානක් නෑ පාරමි . සමහරවිට ආ නොකියම ඇවිත් කියයි . එච්චර තමා . "

චාමිකාගේ පියා ඇගේ මව අතැර වෙනත් විවාහයක් කරගෙන ඇත්තේ ඇයට 10 වන වියේදී පමණය . ඈ පවුලෙන් වෙන්ව හැමදේම තනියෙන්ම කරගන තනිව හිඳින කෙනෙක්ය. ඈට තම දෙවන මව , නැතිනම් කුඩම්මාව රුස්සන්නේ නැතිය . ඇගේ මව ගැන තොරතුරක් සොයාගැනීමට ඈ අනන්ත අප්‍රමාණව වෙහෙසවූවාය . ඒත් ඉන් පලක්වී නැත .

" බලපං මේ ඩ්‍රයිවර් තාම නෑනේ . අලුත් කෙනෙක්ලු එන්නේ . සිරිපාල ගමේ ගිහින් කියලා . "

" එහෙනම් උඹලගේ තාත්තා තව අංකල් කෙනෙක්ව පංගාත්තු කරගෙන ඇති . පන ඇද ඇද එනවා ඇති මග . මේ කෙල්ලේ උඹලගේ වාහනේ ආපු හැටිය මම කැබ් එකක් අරන් යන්නම් . නැතිනම් උඹ මාව දාන්න මේ වෙලාවේ කුරුනෑගල ආවොත් උඹට යන්න වෙන්නේ දෙගොඩහරියක් වෙලා . පොඩිදුරක් නෙමෙයිනේ බං . ඒ හින්දා පිස්සු නැතිව ගෙදර යන්න . මම යන්නම් . "

" අනේ මේ උඹ පැහෙන්නේ නැතුව ඉඳින් . මට අවුලක් නෑ . අනික උඹ නොදන්න උන් එක්ක තනියෙම යවන්න බෑ . ගෙදර වාහනේනේ යන්නේ . මම එනවා . යමු . ට්‍රිප් එකක් වගේ තියෙයි . . . අන්න වාහනේ ආවා චාමි . "

" මේ උඹ ඉඳින් , මම අහන්නම් ඔහොමද වෙලාවක් කිව්වම එන්නෙ කියලා . පොඩි සද්දයක් දාමු . "

" පවු බං . . . මුකුත් කියන්න යන්න එපා . අපේ තාත්තට කියන්න බැරිවෙලා තියෙන්නේ . අනික මටත් එන්න කලින් කෝල් කරන්න බැරිවුණානේ . "

" හා හා . . . උඹ කියනවනම් මුකුත් නොකියා ඉන්නම්කෝ . . . "

. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Tuesday, October 4, 2011

මඟ අතරමඟ . . .



වෙලාවටත් කලියෙන් නැගිටින එක පුරුද්දක් කරගත්ත මම සුපුරුදු විදියටම පරක්කු වෙලා අදත් ඇඳ පැලඳගෙන දුවනකොට කෝච්චිය මට ඔලොක්කුවටම වගේ කොක් හඬලාගෙන ඇවිත් ස්ටේශමේ නතර කළා . පිස්සු බල්ලෙක් එලෝගෙන  ආපුගානට දුවගෙන ආපු මම කෝච්චිය අද්දනකොටම එල්ලුනේ නොනැවතුන හතියකුත් එක්කමයි . වෙලාවට සීසන් . නැතිනම් මෙහෙමවත් එනවා බොරු . කෝච්චියට එල්ලුනු ස්ටයිල් එක හරි නැතිවදෝමන්දා ලග උන්නූ මැදිවියේ උන්දැලා දෙන්නෙක්ගේ රැවුම් මැද්දේ මම හිනාවකුත් දාගෙනම හිටපු දෙතුන් දෙනෙක්වත් තල්ලු කරගෙන නයා හුඹහට ඇදෙන ගානට කිටි කිටියේ තදවුණු පෙට්ටියේ මැද්දට යන්න ට්‍රයි එකක් දීලා පළවෙනි පොල්ල ලගින් එල්ලුණා . 

දහසකුත් එකක් වැඩ ඔළුවේ තියාගෙන ගෙදරින් පිටවුණාට දැන්නම් ඒ මොකක්වත් හිතේ නෑ . කොහෙද , කෙල්ල වගේ ඇන්ටි කෙනෙක් එනවනේ තුරුල්වෙන්න . මැරීගෙන ජැකකට සෙට්වෙන අංකල්ට ශේප් එකේ ඉඩදීලා මම අනික්පැත්ත හැරුනේ අපිට ඕවා කැප නෑ කියන්න වගෙයි . සමහර විට අංකල්ගේ තල්ලුවට මම පොඩ්ඩක් ඔරෝලා බලපු නිසාද කොහෙද ලග උන්නු නංගිටත් වැඩේ තේරිලා වගේ සිරික්කිය දැම්මේ නිකන් අයියා හරි බෝදිසත්වයා කියන්නා වගෙයි .

ගම්පහෙන් ගොඩවුණු ගමන කෝච්චිය පිලිවෙලින් හැම ස්ටේශමකම කොට කොටා ඇවිත් දෙමටගොඩට කිට්ටුකළා . බොහොම අමාරුවෙන් එල්ලිලා හිටපු මමත් අමාරුවෙන් වගේ දොර ලගට යන්න පොඩි ට්‍රයි එකක් දුන්නා .

" කොහෙද ඕයි යන්නේ . . . ? " 

අර මුලින් හේත්තුවෙන්න ආපු මැදිවියේ ගෑණු කෙනාගේ හඬින් මාව උඩ විසිවුණා .

" මේක කෝච්චියක බස් එහෙක ගෑණියෙකුට යන්න නෑ එනවා ඇගේ ඇතිල්ලෙන්න . " 

දැං ඉතිං මොකද කරන්නේ . වඳින්න යනවා තියා හිතුවෙවත් නැති දේවාලයක් ඉහේ කඩා පාත්වෙන්නයි යන්නේ . බෙල්ලෙන් පටන් ගත්තා දාඩිය බින්දුවක් පිට දිගේ බේරෙනවා මට හොදටම දැණුනා . එහෙන් මෙහෙන් ගෑණු මිනිස්සුත් ඔරෝනවා . සමහරු හිනාවෙනවා . මම කර කියාගන්න දෙයක් නැතුව ලවක් දෙවක් නැතුව බනින දිහා තක්බීරිවෙලා බලාන හිටියා . 

" මේ ගෑණියේ , නිකං බොරුවට කෑ ගහන්න එපා . මම බලාගෙන උන්නේ සේරම . මේ ළමයගේ ඇගේ ඇතිල්ලෙන්න ගියේ තමුසේනේ . "

ඔන්න ඔහොම පටන් ගත්තේ නැත්ද අර ජැකට එන්ටර් වුණු අංකල් . යාන්තන් ඇඟට ලේටිකක් ඉණුවා . දෙන්නගේ වාදේ ජයට ගියා . දැං මම පැත්තක දෙන්නා මරාගන්නවා . කරුමෙක මහත කියන්නේ දෙමටගොඩ ස්ටේශමට ඔන්න මෙන්න තියලා මේ අටමගලේ සිග්නල් නැතුව නැවැත්තුවා . එකම කාලගෝට්ටියයි . කිටි කිටියේ හිරවුණු තරමට සෙනග පිරවුණු කෝච්චි පෙට්ටිය දැං පොර මඩුවක් වගෙයි . වටේ කට්ටියත් ගේමට එන්ටර් වෙලා . ගෑණු මිනිස්සුන්ට බනිනවා . මිනිස්සු ගෑණුන්ට බනිනවා . එකම විජ්ජුම්බරයයි . කෝකටත් කියලා සබෙන් වෙන්වුණු මම ආයෙමත් මැද පොල්ල අල්ලගත්තා . විනාඩි 10 විතර නවත්තලා තිබුණු කෝච්චියත් හෙමින්සැරේ ඇවිත් දෙමටගොඩ නතර කළා . පොරකකා බහින මිනිස්සු දිහා මම ඔහේ බලන් උන්නා . සමහරු මට බහින ගමන් නක්කලේට හිනාවුණා . මට යන ගමනත් එපා වුණා . මදැයි දෙයියනේ කියලා ජොබ්කට්ටක් හොයාගන්න ඉන්ටර්විව් යන්න එළිබැස්සා . මූඩ් අප්ශට් . දැං ගියත් වැඩක් නෑ . කොටුවටම යනවා කියලා හිතාගෙන මම එහෙම්මම හිටියා .

" ඕවා ගණන් ගන්න එපා අයියේ . . . "

කරකෝලා අතැරිලා උන්නු මට උඩ විසිවෙන්න ගියේ පුංචි නිමේශයක් විතරයි . ඒපාර මොකද්ද කඩාපාත්වෙන්න යන්නේ කියලා නොහිතුණාම නොවෙයි . ඒත් ඉතිං ගවුම් කෑල්ලක් දැක්කහම අපි කවුරුත් බටර් වගේ උණු වෙනවනේ . ඇත්තටම මම හිනාවුණා . ඒත් , ඒ හිනාව ස්තූතියකටද නැතිනම් කතාවකට මුලපුරන්නද කියලානම් මට හරි හැටි තෝරාගන්න බෑ . ඒත් කොහොමෙන් කොහොමහරි අපි අතර ලොකු කතාවක් ඇතිවුණා .

" මොනවා කරන්නද නංගි . මිනිස්සුන්ගේ හැටිනේ . අපේ අය කරන දේවලුත් එක්ක බලපුවාම එක පැත්තකින් ඒ ගෑණුකෙනා එහෙම හිතන එක සාදාරණයි . "

මමත් ඉතින් අර අපේ පුරුද්දක් වුණු අනුන් වැරදී , තමන් හරි කියන තියරිය දාලා මමත් බොසත් චරිතයකට ආරූඩ වුණා .

" ඒක නම් ඇත්ත . ඒත් අයියෙ  මෙතන නම් මේ ගෑණු කෙනාගෙ වැරැද්ද . නිකන් නේ ඔය මරාගත්තේ . . . " 

ටික ටික මරදානටත් කිට්ටු කරනවා . එතනින් එහාට කරුණු කාරනා නොතිබුනෙන් මම සද්ද වහලා හිනාවක් දැම්මා කතාව අහවරයි කියන්න වගේ . ඇය කරුණාවන්ත යැයි මට හිතුණා . අවංක , බොරු ආටෝප නැති නිර්ව්‍යාජ කෙල්ලෙක් කියලා හිතුණා . මං මගේම හිතට තට්ටු කළා . එයාගේ ඇස් දෙක දිහා සමාදියකට සමවැදුනා වගේ බලාගෙන හිටියා . ලස්සනමත් නෑ . ඒත් කැත කෙල්ලෙකුත් නෙවෙයි . ඒ වෙනකොටත් මගේ හිත ඇය ගැන සිත් ඇද බැඳ ගෙන ඉවරයි .

" ඒ , මගේ පර්ස් එක නෑ . . . " 

දොර ලග උන්නු මනුස්සයා කලිසම වටේට අතගගා අල්පෙනෙත්තක් හොයන්නා වගේ පර්ස් එක  හොයන්න ගත්තා .

" මිනිහාගේ පර්ස් එකට වැඩේ දීලා වගෙයි . "

මම එයාටත් ඇහෙන්න කිව්වා . එයා මුකුත් කිව්වේ නෑ . ඔහේ බලාගෙන හිටියා . අහින්සක විදියට හිනැහුණා .

" මගෙත් පර්ස් එක නෑ . . . "

තවෙකෙක් සෙවිල්ල ඇරඹුවා .

" අනේ මගේ පර්ස් එක . මගේ හෑන්ඩ් බෑගයේනේ තිබුනේ . . . " 

ඒ ගැහැණු කෙනෙක් . 

කෝකටත් කියලා හෙමින්සිරුවේ මමත් පිටිපස්සේ සාක්කුව පැත්තට අතගෙනිච්චා . මට දැණුනේ සාක්කුවවත් පර්ස් එකවත් නෙවෙයි . අතක් . . . එහෙම්මම අල්ලගත්ත අත්දෙක අතනෑරම මෙන්න පොකට් කාරයෙක් යැයි හඬගෑයෙමි . මගේ පර්ස් එකටත් විදගෙනම මරදාන දුම්රිය ස්ථානයෙන් බැසීමට තැත් කළ හොරාව මගේ දෑතටම හසුවී හමාරයි . වටේම උන්නු සෙනග රොත්තම හොරාට ගහන්න , බනින්න , ඇදගෙන යන්න එකම එක පොරයක . හොරාගේ බෑගයෙන් පිරිමි පර්ස්  4 කුත් ගැහැණු පර්ස් එකකුත් තිබුණා . . .

මම මගේ පසුම්බිය තව ටිකක් සාක්කුවේ පතුලටම තදකළා . ඒක නැතිවූණානම් ගෙදර ගිහින් හමාරයි . අත තිබූණු සංතකයම වුණු රු 50 තිබුනේත් ඒකෙම නිසා . 

මම හොරාගෙන් මුකුත්ම ඇහුවේ නෑ . ඒත් , හොරා ගොඩාක් දේවල් කියපු එකම කෙනා මමම වුණා . ඒ කෙල්ල මුවින් නොදෙඩූ හින්දා කාටවත්ම මුකුත් නොතේරෙන්න ඇති . ඒ හැඬුම්බර මූණ මට ආයේ ආයේ පේනවා වගෙයි . 

" මට සමාවෙන්න මහත්තයෝ , මේක තමා මගේ රස්සාව . . . ඒ මගේ අම්මයි තාත්තයි  " 

මේ ඇය කිසිලෙසක මුවින් නොදෙඩූ මගේ සවනත රැවු පිළි රැවු දෙන වචන ටිකයි . ඒ ඇස් තවමත්ම මා හා කතාකරන බැවු දැනුඳු මෙන් දැනෙයි . නොසරුප් වදන් වැලක් සමගම දුම්රිය පොලිසියේ නිලදාරීන් ඇයව ඇදගෙන ගිය හැටි වේදිකාවේ බංකුවක හිඳ මම ඔහේ බලාගෙන හිටියා . ඒ ඇස් කියවලා ඉවරයක් කරන්න මම තවමත් උත්සහ කරනවා . . .

Thursday, September 22, 2011

බෝට්ටුව . . .


පොද වැටෙන්න පටන් අරන් . මේ වැස්ස කලටද අකලද කියන්න නම් මට හරි හැටි තේරුමක් නෑ . බිංදු බිංදු වැටි වැටි තිබුණු වැස්ස ටික ටික මෝරන හැටි පුංචි කවුලුවට ඇස් තියාගෙන මම ඔහේ බලාගෙන උන්නා . මටම දැණුනා මම වැස්ස දිහා බලාගෙන උන්නේ මහා හිස් බැල්මකින් කියලා . මේ හැගීම මොකද්ද කියලා තෝර බේරා ගන්න මම හිතන්නේ මට ඉස්සර වගේම අදටත් වුවමනාවක් නෑ . මට ඕනේ උනේ ඔහේ බලාගෙන ඉන්න . එදා වගේම මේ දැණුත් . ඒ වුණාට එකදෙයක් නම් මම හොඳටම දන්නවා . මම මේ වැටෙන වැස්සට ගොඩාක් ආදරෙයි .

ඉස්සර අම්මට හොරෙන් පරණ පොතකින් මැද පිටුවක් කඩාගෙන තකහනියේ හදාගන්න බෝට්ටුවත් අරගෙන වහලෙන් වතුර වැටෙන පීල්ල ලගට වෙලා වතුරෙන් හැදුණු දිය පාරවල් දිගේ මමත් ඒ බෝට්ටුවේම හිතින් යාත්‍රා කළා . ඒ කාලේ මට හිතුණා මේ බෝට්ටුවට තව අත් උදවු කාරයෙක් හිටියානම් කියලා . ඒත් ඒ වෙනුවට හිටියෙත් මමම තමයි . ඒ ඒ චරිතත් එක්ක මම ජීවත් වුණා .  

ඔන්න ඔය කාලේ තමයි අපේ ගෙදරට අමුත්තෙක් ආවේ . ඒ මගේ මල්ලි . ටික ටික මගේ ලග දැවටිච්ච ආදරය හැමෝම මගෙන් ආපහු උදුරගෙන මල්ලිට දීලා කියලා දුකක් දැනෙන්න ගත්තත් මගේ  බෝට්ටුවට මල්ලිත් උදවුවට ඒවි කියලා හිතලා මම ඒක සතුටකට හරවගත්තා .

එදා එහෙම හිතුවට , මට උදවුවට මල්ලි ඒවි කියලා ඒක කවදාවත් එහෙම උනේ නෑ . එයාට ඒ ගැන ආසාවක් තිබ්බේ නෑ . එයා කලේ මම කඩන පොත් කොලේ ගැන නිතර අම්මගේ කනේ තියපු එක විතරයි . ඒත් මගේ බෝට්ටු ගමන නම් නවත්තන්න කාටවත් බැරිවුණා . මල්ලි නිසා මම කොයිතරම් බැනුම් අහුවත් මම මල්ලිට හැමදාමත් ගොඩාක් ආදරය කළා . එයාගෙ හැම දේම හොයලා බැලුවා . ඉතින් ඔය විදියට කාලයත් එක්කම අපිත් කර දඬු උස් මහත් වෙලා වැඩුනා .

ඔය අතරට මගේ ජීවිතේට තීරනාත්මක දවසක් එක් වේවි කියලා මම කවදාවත් හිතුවේ නෑ . එදා දූවිල්ලෙන් පිරුණු වේලිච්ච දවසක් . ඉස්කෝලෙන් ඇවිත් ගෙට ගොඩවුණා විතරයි මුලු ගේම එකම කාලගෝට්ටියක් වුණා . තාත්ත මාව අල්ලගෙන හොඳටම ගැහුවා . මොනවාදෝ කිය කියා මට බැන්නා . මම නොදැනීම මගෙ අතින් වරදක් වුණාදෝ යි හිතන ගමන් මම කරබාගෙන හිටියා . එකම එක වචන පේලියක් වෙනකන් විතරක් . " උඹව මම හදාගන්න ගත්තට ගොඩාක් පසුතැවෙනවා "  අදටත් මගේ කන් වල මේ වචන ටික දෝංකාර දෙනවා . මහමෙරකටත් වඩා බර වුණු මේ වචන ටිකත් උස්සගෙන අතේ පිච්චියක්වත් නොතිබ්බ මම බලංගොඩ ඉඳන් මීගමුවට එනකන් කෝම ආවාදැයි මා ආ ලොරියේ ඩ්‍රයිවර් උන්නැහේව මෑතක හමුවන තුරුම මට හීනයක් වෙලා තිබුණා . වෙලාවකට ගිණිවැල්ලේ එක්ක ජින්නා ගම අතැරලා ආව වගේ නේදැයි හිතෙන කොට මම මටම තනියම හිනාවෙනවා . ඒ අඬන්න බැරි කමට හිනාවුණු හිනාවක්  කියලා හිතන්න මගේ හිත කීයටවත් ඉඩ දුන්නේ නම් නෑ . මම හිතන්නේ ඒ මගේ උරුමය හොයාගෙන ආපු ගමනක් .

කාලයත් එක්කම කීතු කීතුවලට ඉරිලා තිබුණු මගේ හිත මුහුදු වැල්ලේ පහසත් එක්කම ආයෙමත් ටිකෙන් ටික හැදුණා . අලු යට ගිණි පුපුරු ඇති බව දන්නවා මුත් මම කිසිම වෙලාවක ඒ පුපුරු අවුස්සන්න නොයන්න වග බලාගත්තා . ඔය හැමදෙයක් එක්කම මමත් නැග්ග මගේ නොවුනත් බෝට්ටුවකට . ඒ බෝට්ටු පදින්න ආසාවටම නෙමෙයි . මගේ ජීවිත බෝට්ටුව පැදගන්න ඕන නිසාවෙන් මේ බෝට්ටු එක්ක හැප්පෙනවා . තවමත්ම මම තනියම .

කොයිතරම් බලා උන්නත් මේ වැස්ස මට නම් කවදාවත් ඇතිවෙන දෙයක් නම් නෙවෙයි . පුංචි බෝට්ටුවක් හදලා වතුරේ පාවෙන හැටි බලං ඉන්න අදටත් මම ආසයි . එදා වගේම . . . .

Saturday, August 6, 2011

පියාපත් ලැබී . . . 08

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

. . . අටවැනි කොටස . . .

පෙර දින තරමක පපුවට තෙහෙට්ටුවක් දැණුන නිසාම ඩොක්ටර් කරුණාතිලක කැඳවූයෙන් ඔහු පැවසූයේ අඩුම තරමින් දින තුනක්වත් රෙස්ට් කළයුතු බවයි . ඒ අස්සේ පාරමී එන බවක් දසනායකට නිකමටවත් සිහියට නැගුනේ නැත . හදිසියේ ලද දුරකතන ඇමතුමෙන් ගලා ආ දියනියගේ හඬින් දෙලෝ රත්විනි . 

" තාත්තා , ඔයා vehicle එකක් එවුවද . අපි airport එකේ ඉන්නේ . "

" ඇයි පුතේ මට පිටත් වෙනකොට කෝල් එකක් දුන්නේ නෑත්තේ . එහෙම දුන්න නම් මම එවලා තියනවනේ රත්තරනේ . ඉන්න මම ඉක්මන්ට එවන්නම් . "

දුරකතනය විසන්දි කළ දසනායක තම රියදුරු සිරිපාලට ඇමතුමක් ගත්තේ ඉක්මනින්ම ගුවන්තොටුපල වෙත යැවීම සඳහායි .

" හෙලෝ සිරිපාල . කොහෙද ඉන්නේ . . . "

" සර් , මම ගෙදර යනගමන් . දැන් පොල්ගහවෙලට කිට්ටු කරලා ඉන්නේ.  "

" අහ් , සිරිපාල ගෙදර යනවද ඔය "

" ඔව් සර් . සර් මට කමක් නැ ගිහින් එන්න කිව්ව . ඇයි සර් . මොකක් හරි ප්‍රශ්ණයක්ද . "

" නැ නැ . සිරිපාල යන ගමන ගිහින් එන්න . හරි අවුලක් නැ . "

දැං මොකද කරන්නේ . දසනායක සිතුවේය . මෙවන් වෙලාවක පිහිට පැතීමට තරම් කෙනෙකු සිහියට නැඟෙන්නේ නැත . අසිතටවත් අරං බලනවා .

" Hello අසිත , කොහෙද ඉන්නේ . . ."

" මම office එකේ ඉන්නේ සර් ."

" අසිත පොඩි උදවුවක් ඉල්ලන්න මම කතා කලේ . අසිත මගේ දුව ලංකාවට ඇවිත් ඉන්නේ . මට ඩොක්ටර් drive කරන්න එපා කියලා තියෙන්නේ . මටත් ටිකක් බයයි drive කරන්නත් . සිරිපාලත් ගෙදර ගිහින් . අසිතට පුළුවන්ද airport එකෙන් දුවව ගන්න. මම අසිතව ගොඩාක් විස්වාස නිසා මේ ඉල්ලීම කරන්නේ . "

" සර් මට යන එකේ නම් ගැටළුවක් නැ . ඒත් සර් , අද මම විතරයි office එකේ . නාරදව අර document ටික කලෙක්ට් කරගෙන එන්න යැව්වා . "

" ඇයි අසිත ඒ වගේ දේවල් වලට නාරද වගේ කෙනෙක්ව යවන්නේ . වෙන කාවහරි යවන්න තිබුණානේ . අනික නාරදත් දැන් මේ company එකේ හොඳ නිලයක් දරන කෙනෙක් අසිත . "

" sorry සර් , වෙන කෙනෙක් හිටියේ නෑ . මම නොගියේ සර් , මේ මාසේ end එක නිසා කට්ටියගේ salaries ගැන බලන්න තිබ්බ නිසා . ආයේ එහෙම වෙන්නේ නෑ සර් . "

" හරි , අසිත නාරදට කතාකරන්න . කතාකරලා අපේ අස්ගිරියේ මහගෙදරට යන පාර කියන්න. හොයාගන්න අමරු නෑනේ . එහෙ ඇති මගෙ වාහනය . ඒක අරන් නාරදට airport එකට  යන්න කියන්න . වාහනේ අඳුනන නිසා දූව ගන්න එක අමාරුවෙන එකක් නැ . පරිස්සමින් ඉක්මන්ට යන්න කියන්න අසිත . ok "

" හරි සර් . මම කියන්නම් . "

යකෝ මේකා ගෙදර වැඩත් කරවගන්නනේ හදන්නේ අපිට කියලා . පව් අර අහිංසකයා . මම ඌට කට්ටක් සෙට් කළා මදිවට දෑං මේකත් කොහොම කියන්නද මන්දා . මුන්ට මෙච්චර සල්ලි තියෙනවා යකෝ cab එකක වරකෝ . පෙරේත කමනේ . අපිට වැඩ නැතුවට මුන්ට ගෙවල්වලටත් දර පලපන්කෝ .  මොනවා කරන්නද ඉතිං . නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නෙවැ . . .



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



මළ ඉලවුව වහලනේ තාම . දැං ඉතිං තැපපංකෝ මෙතන . නාරදට සිතුනි . නමය පසුවී තිබුණි .  දුරකතනය නාදවනු ඇසුනෙන් අතටගත්තත් answer කිරීමට මදක් පසුබැස්සේ මීලගට මොන හෙනගෙඩියක් කඩා පාත්වේදෝයි බියෙනි . ඕන දෙයක් වෙච්චාවේ කියලා ඈමතුම ගත් නාරදට අනෙක්පසින් අසිතගේ හඬ ඈසිණි .

" hello නාරද , උඹ කොහෙද ඉන්නේ . "

" මම මේ service center එකේ බං . තාම වහලා "

" නාරද , උඹට ලොක්කා airport යන්න කිව්ව බං "



. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


පියාපත් ලැබී 09 කියවන්න මෙතන click කරන්න .

Wednesday, August 3, 2011

අනුමානය . . .

ඕගොල්ලෝ දන්නවානේ මම ෆේස් බුකියේ එහෙ මෙහෙ කරක්ගහනකොට කට්ටියට කියවලා රසවිඳින්න පුළුවන් දෙයක් හම්බුනොතින් උස්සගෙන ඇවිත් පොඩි පෝස්ට් එකක් දානවාය කියලා . ඉතින් මේත් ඒ වගේම ෆේස් බුකියේ රවුමක් දානකොට අමුනගෙන ආපු පොඩි කතා කෑල්ලක් . . . මේක බුකියේ පබ්ලිශ් කරලා තිබ්බේ නම් " Angelo Pietersz "  කියන හාදයා . . . පොඩ්ඩක් කතා විලාසය වෙනස් කරලා දැම්මා කට්ටියට රසවිඳින්න පුළුවන් විදියට . ඕන්න උපුටාගැන්මක් හොඳේ . . .


ඔයාලා දන්නවනේ ගුරු උපහාර දිනයක් කියලා දිනයක් වෙන්කරලා තියෙනවා . හැමදාම කරන කුඩුකේඩු වැඩ වහගන්න , ඒ කියන්නේ පව් සමාකරගන්න හැම එහෙකටම දින වෙන්කරගෙන නොවැ තියෙන්නේ දෙයියනේ කියලා කැලන්ඩරේ . ඔන්න ඉතින් මේකත් ඒ වගේ ගුරු උපහාර දිනයක වෙච්ච සිද්දියක් . . .
ඔන්න බාලාංශ පංතිවල පොඩි එවුන් පෝලිංගැහිලා ගුරුවරුන්ට තෑගි බෝගත් උස්සගෙන බුලත් හුරුලුත් අරගෙන ලක ලෑස්තිවෙලා ඉන්නවා . ඉතිං එක පංතියක දැං එක එක්කෙනා ටීචර්ට තෑගි දිදී වඳිනවා .  ටීචත් ඒ හැමෝටම හරි හරියට ආශිර්වාද කරනවා . ඔය වඳින අතරේ ටීචර් එක එක ළමයාගේ තෑගි වල තියෙන්නේ මොනවද කියලත් අනුමාන කරලා කියනවලු . ඉතිං මේ පොඩි එවුන්ට ඒකට මාර සතුටුයි ලූ .


ඔන්න දැං පෝලිමේ ආවලු මල්ශාලාවේ අයිතිකාරයගේ පොඩි එකා . ඉතිං ටීචර් ඔලුව අතගාල එහෙම කියනවලු  ,

" මම දන්නවා මේ තෑග්ගට මොනවද තියෙන්නේ කියලා . . . මල් නේද . .  "



ඉතිං අර ළමයත් ආසාවෙන් 


" හරියට හරි , ටීචර් කොහොමද එහෙම කිව්වේ . . . "

" මම අනුමාන කළා . . . " කියලා කියනවා . . .

ඊට පස්සේ එනවා චොක්ලට් කඩයක හිමිකරුවෙකුගේ දුවෙක් . මේ ළමයටත් අර විදියටම කියනවා . . .

" මම කියන්නද මේ තෑග්ගේ තියෙන්නේ මොනවද කියලා . . . චොක්ලට් නේද . . . "



" අනේ හරිය හරි ටීචර් . . . කොහොමද ටීචර් හරියටම කිව්වේ . . . "

" මම අනුමාන කළා ළමයෝ . . ." කියලා ආඩම්බරයෙන් හිනාවුණා.



ඊටපස්සේ තෑග්ගකුත් උස්සන් ආවේ බාර් එකේ මනුස්සයගේ පුතයි . . . ඒ කියන්නේ මත්පැන් අලෙවිසැලේ අයිතිකාරයගේ පුත්‍රයා . . . මේ ළමයත් ඉතින් තෑග්ගත් දීලා වැන්දා . . . එතකොට ටීචර් තෑග්ගත් අතට අරගෙන  ,


" මම කියන්නද මේකේ මොනවද තියෙන්නේ කියලා . . . " හොඳට පෙට්ටිය අතගාන ගමන් කිව්වා . . .


" ආ කියන්න බලන්න ටීචර් පුළුවන්නම් . . . "

" බ්‍රැන්ඩි බෝතලයක් නේද . . . " ටීචර් හිනාවෙවී කිව්වා .

" නෑ ටීචර් බ්‍රැන්ඩි බෝතලයක් නෙමෙයි . . . " පොඩි එකා ගත් කටටම කිව්වා .



එතකොට ටීචර් දැක්කලු පෙට්ටියේ මුල්ලකින් මොනවද බේරෙනවා වතුර වගේ . . . ඉතින් ටීචර් ශේප් එකේ එතන අතගාලා කටේ ගාගන්න ගමන් ,


" ආ මම දන්නවා ශැම්පේන් නේද . . ." කියලා කිව්වා . . .


" නෑ ටීචර් ශැම්පේන් නෙමෙයි . . . අපේ ලයිකා පැටවු ගැහුවානේ . මම ටීචර්ට ලස්සනම බලු පැටියව තමයි ගෙනාවේ . . . කියලා පොඩ්ඩා හිනාවෙවී කිව්වලු . . .


ඔන්න ඔහොමයි වුණා කියන්නේ . . . අපි අනුමාන කරන හැමදේම හැමවෙලේම හරි නෑ කියන දේ ඇත්ත නේ . . .  සමහර දේවල් වලදී අපි ගන්න තීරන වලට මේ කතාව අපූරුවට ගැලපෙනවා නේද කියලා මට හිතුණා . . .

Tuesday, August 2, 2011

පියාපත් ලැබී . . . 07

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

. . . හත්වැනි කොටස . . .

ගුවන් තොටුපලින් ඔවුන් දෙපල පිටත්වූයේ පිටස්තර දේශයක හිඳ තමන්ගේ කියා තමන්ගේවුන් රැඳුනු මවුබිම කරා පයගහන්න එකතුකරගත්  කප්පරක් සතුට  හිතේ ගුලිකරගෙනය . වටපිටාවේම රැඳුනු වළාකුල් පිරුණු අහස දකින කොට මගේ හිතත් හරියට මේ වගේ නේද කියා පාරමීට සිතුනි . කොයිතරම් දේ හිතේ සිහිකිරීමට පෙළගැසී තිබුනත් එකිනෙක වෙන්කරගෙන සිතීමට සිත එකඟකරගැන්මට ඇයට නුපුළුවන . පියා තමන්ගැන දහසක් බලාපොරොත්තු පොදිබැඳගෙන සිටින බැව් පාරමී හොඳටම දනී . අධ්‍යාපනයෙන් නම් ඒ ගෑන බයක් කිසිසේත්ම නොදෑනේ . ඒත් තම සතුට බලාපොරොත්තු හැමදෙයක්ම තමාට අහිමිවේයැයි පාරමීතුළ බියක් නැතුවාම නෙවෙයි . තාත්ත මට ආදරෙයි . මම අකමැති දේකට බලකරන එකක් නැ . පාරමී සිතුවාය . අරෝශ් සෙල්ලක්කාරයෙකි . මිල මුදල් අතින් ඉහල පැලැන්තියක වැජඹෙන එදිරිසූරිය පවුලේ එකම දරුවාය . අරෝශ් පාරමීට වඩා අවුරුද්දකට පමණ වැඩිමල්ය . පාසල් අවදියේ පටන්ම සෙල්ලක්කාර ජීවිතයක් වැලඳගත් ඔහුගේ කැරැට්ටුව ඕන කෙනෙක්ගෙන් ඇසූවිට දැනගත හැකිය . දකින දකින කෙල්ල හා බැඳීමත් දෙතුන්දෙනා හා  පෙමින් වෙලී සිටීමත් ඔහුගේ විනෝදාංශයන්මෙන්ය . තාත්තා නම් කියන්නේ ඕවා කොලුකමට කරන වැඩනේ කියායි . ඔහු බරක් පතලක් නොසිතයි . කොහෙද තාත්තා හිතන්නේ තාත්තලාගේ කාලේ විදියටනේ . මට හිමිකාරයා තාම හම්බුනේ නැ . . ඕ සිතුවාය . 

නොදැනීම පාරමී නින්දකට වැටී සිටිනු දුටු චාමි ඇයට කතා කළාය .

" ඒයි . . . නැගිටපං පාරමී . උඹ නං පුදුම නිදිකුම්බරයෙක් තමයි . බහින්නේ නැද්ද . . . "

ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නැඟෙන ගුවන් සේවිකාවගේ හඬ අතරින් ඇසුනු චාමිගේ හඬින් ඕ නැගීසිටියාය .

කඩිමුඩියේ නැදෑයන් , හිතවතුන් අතරට සතුටින් ඉපිල ඇදෙන මගීන් හා එක්ව පාරමීත් චාමිත් පර්යන්තයෙන් එළියට ඇදුනි .

" අපි තාත්තට කෝල් එකක් දෙමු . . . "

" ඕකේ . . . උඹව ගෙදරින් ගන්න ආවම මම කැබ් එකක් ගන්නම් මෙතනින්ම . ඒක ලේසියි මට "

" පිස්සු නැතුව ඉඳිං බං . . . තාත්තට මම කිව්ව එදා උඹවත් ඩ්‍රොප් කරගෙන එන්නේ කියලා . "

" විකාරද බං . . . මම කැබ් එකක් ගන්නම් . උඹ වටයක් ගහන්න ඕනේ නැ . . . "

" මේ මේ . . . පඬියා නොවී ඉඳින් . ඉඳපන් මම ගන්නම් තාත්තට . . . . "

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


නාරද ගම්පහට ලඟාවන විට වැස්සක් පටන්ගෙන තිබුණි . හිතුවාට වඩා ඉක්මනින් වැඩේ කරගන්නට ලැබුන එක සහනයකැයි නාරදට සිතුනි . තම මිතුරාගේ ඉල්ලීම අහක දැමීමට ඇති නොහැකියාව නිසාම නාරදට මේ කට්ට කෑමට සිදුවිය . මොකද අසිතද තමන්ට මෙවන්ම උදවුවක් කිරීමට නොපැකිලෙන බව නාරද දනී . බෙහෙවින්ම මේ ගමන සඳහා හිත පෙළඹවූයේ වෙනකක් නිසා නොව වාහනයේ රවුම් ගැසීමට හැකිය යන හැඟීම නිසාය . කුඩා කල පටන්ම වාහන සම්භන්ධව නාරදට ඇත්තේ ඉමහත්වූ ආශාවකි . කඩයකට වැද එහෙන් මෙහෙන් බනිස් ගෙඩියක් ගිල තේකක් තොලගෑ නාරද වාහනය සර්විස් සෙන්ටර් එකෙන් ගැනීම සඳහා පොදවැස්සේම පියමැන්නේය . . .


. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴




පියාපත් ලැබී 08 කියවන්න මෙතන click කරන්න .

Sunday, July 31, 2011

පියාපත් ලැබී . . . 06

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

. . . හයවැනි කොටස . . .



" පිස්සුද අසිතයා . මොන පාටිද අතේ සල්ලිත් නෑ බං . "



" ඔන්න ඕකනේ ඉතිං . අපි පාටියක් ඉල්ලුවොත් තමයි උඹලගේ බැරියාව . හරි හරි අපි බලමුකෝ . "


අසිත වැඩි පෙරත්ත කිරීමකට නොපෙලඹුනේ මිතුරා ගැන  හොඳහැටි දන්නා නිසාවෙනි . නැතිනම් අසිතගෙන් කිසිකෙනෙකුට මෙතෙක් බේරීමක් ලැබී නැති බැව් නොදන්නා කෙනෙක් නැත . ඒ වෙන දෙයක් නිසාවෙන් නොව බොහොම සැහැල්ලු සෙල්ලක්කාර ජීවිතයකට අසා කළ ඔහු තැනක් නොතැනක් නැතිව කාගෙන් වුවද උපරිම වින්දනයක් ලබන නිසාවෙනි . එමෙන්ම කවුරුන්ව වුවද සතුටින් තබන්න ඔහු නිතරම උත්සාහදරයි . නාරද එසේ නොවෙයි . නිහඬ , අහිංසක චරිතයකි . කාගේත් ආදරයට ලක්වන මොහු නිතර සේවකයන්ගේ පවා සුවදුක් සොයා බලයි . සේවකයන් වුව කාර්යාලයේ කාටත් වඩා නාරදගේ වචනයකට ඉහලින් යන්න හෝ නොසලකාහරින්න මැලිවෙයි . ඒ ඔහුගේ ලොකුකමක් නිසාවෙන් නොවේ . ආයතනයට සම්භන්දව වැඩිකාලයක් නොවුනත් ඔහුගේ කැපවීම සහ නිහතමානිත්වය මෙන්ම ඕනෑම දෙයකට නොබියව අතගැසීමට මෙන්ම හැම කෙනෙකුවම බේරාගෙන වැඩකරන්න ඔහු උපන් හපන්කම් ඇති අයෙක් බැවිනි . කෙමෙන් තම තත්වය උසස්වන විට අනිත් අයව පාගාගේන තව තවත් උඩට යන්න දගලන අනිත් උන් අතරේ මොහු කැපීපෙනුනි .

ඔය කිව්වට තව ප්‍රමෝශන් හම්බුනේ නෑනේ . නිකන් හරි ඕක හම්බුනේ නැත්නම් විලිලැජ්ජාව වෙන්නේ . පස්සේ කට්ටියට මොනවා හරි ගෙනල්ලා පොඩි පාටියක් දෙන්න බැරියැ . අනික මේ වෙලාවෙ එහෙම දේකට වියදම් කලොත් නංගිට පංති සල්ලි දෙන්න බැරිවෙනවා . නාරදට සිතුනි .




෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

" පාරමී . . . පාරමී . . .  නැගිටින්න ළමයෝ .  "

" ම්හ් . . තව චුට්ටක් ඉඳපන් චාමි . . . "

" හරි ශෝක් මාව පැයකින් ඇහැරවන්නම් කියපු කෙනා තවම නිදි . "

" ම්ම්ම්ම් . . . වෙලාව කීයද දැං . . . "

" නැගිටපං , තව පැය එකහමාරකින් එයාපෝට් එකේ ඉන්න ඕනේ . "

" මයි ගෝඩ් . පරක්ක් වුණා නේ . .  ඉදපං මම ටස් ගාලා ලෑස්ති වෙන්නම් . "

" ආආආ . .  දැංද පරක්කුවුනේ . . ."

" නෑ බං ඊයේ රෑ අරෝශ් කතා කළා . නිදාගනිත්දි ටිකක් රෑ වුණා . වෙලාවට සේරම ලෑස්ති කරලා තිබ්බේ . "

" උඹ මෙච්චර මේ යන්න තියාගෙන නිදාගන්නේ නැතිව මල් කැඩුවද පාරමී . "

" මල් කැඩුවා නෙමෙයි බං . අරෝශ් තේරුම් ගන්නේ නෑ මම කොච්චර තේරුම් කළත් .  මම එයාට කැමති නෑ චාමි . අරෝශ්ට හැමතැනම කෙල්ලෝ . තාත්තගේ හිතේ මිනිහා බෝදිසත්වයා කියලා . අපිනේ දන්නේ ඇත්ත මොකද්ද කියලා . "

" අරෝශ්ට කිව්වද දැං උඹ ලංකාවට එනවා කියලා . "

" නෑ නෑ මම කිව්වේ නෑ . "

" ඒක හොඳයි . . . "

" දැං ඇඳගනින් ඉක්මනට . . . තවත් තැග්ගැහෙන්නේ නැතිව . "


. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පියාපත් ලැබී 07 කියවන්න මෙතන click කරන්න .

Thursday, July 21, 2011

අවසන් පැය . . .


මුහුණු පොතේ සැරිසරද්දී අහම්බෙන් ගෲපියක තිබී ඇස ගැටුනු පුංචි කතාවක් හැමෝගේම රසවින්දනය වෙනුවෙන් පලකරන්න හිතුවා . මේක දාලා තිබුනේ පියාපත් කියලා ගෲප් එකක . පල කරලා තිබුනේ සුරේශ් චතුරංග කියන හාදයා . ඔහු උපුටා ගත්තේ කොහෙන්ද කියලා නම් දාලා තිබ්බේ නෑ . පුංචි පුංචි දේවල් වලින් මම නම් ලොකු රසවින්දනයක් ලබනවා එහෙම කෙනෙකුට රසවින්දනය සඳහා මේ පුංචි කතාව . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



දෙන්නා දෙමාල්ලන් විවාහ දිවියේ රිදී ජුබ්ලිය සමරමින් බොහොමත්ම සතුටින් හිඳි වෙලාවක බිරිද සිය ස්වාමියගෙන් මෙසේ ඇසීය

"රත්නේ , ඔයාට මතකද ඩාලිං අපි බදිමුද කියලා ඔයා මගෙන් අහපු දවස . . . ? "

" ඉතිං , දැං ඒකත් වැරදී කියන්නද යන්නේ . . . "

" නෑ . . නෑ . .  , ඔයාට මතකද මට සතුට වැඩි කමට දාරාගන්න බැරුව පැයක් විතර කතා කරගන්න බැරිව හිටියා  . . . "

" මට ඒක කොහොම අමතක වෙන්නද කුසුමා . . . "

" ඔය ඇත්තමද රත්නේ . . . "

" අපොයි , මම මොකටද ඔයාට බොරු කියන්නේ කුසුමෝ . . . මට ඒ මොහොත මගේ ජීවිතේට කවදාවත්ම අමතක නොවන මොහොතක් . "

" ඒ ඇයි රත්නේ . . ."
 
"ඒ තමයි මම මගේ ජිවිතේ නිස්කලන්කව ගතකරපු අන්තිම පැය."

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


උපුටා ගත්තක් වුවද වාර්ථාවක් පරිද්දෙන් සකස් වී තිබූ කතාවට අලංකාර එබ්බවීම ගැන කාගේවත් අකමැත්තක් නැතයි සිතමි .

Wednesday, July 20, 2011

පියාපත් ලැබී . . . 05

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

. . . පස්වැනි කොටස . . .



දිසානායක යලිත් කල්පනාවට වැටුනේ එසේ නොමවීම වැලැක්විය නොහැකි නිසාවෙනි . තම එකම දියනිය වන පාරමී වැඩි දුර අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්කර හැරියේද තමන්ට අත්කරගත නොහැකිවූ අධ්‍යාපනය මෙන්ම සියළු දේ ඇයට ලබාදීමේ අරමුන සහ ආශාව නිසාය . අනෝමා නැතිවෙත්දී පාරමීට හරියටම අවුරුදු හතර ලබා සති දෙකක් නැතිනම් තුනක් වෙන්නට ඇත . ජීවිතයේදී ආ සියළු ගැටලු නිරාකරමය කරගැනීමටත් හිතේ ශක්තියෙන්  මුහුණ දීමටත් ලැබුනේ අනෝමාට පිංසිද්ධ වන්නටය . අනුන්ටම කඹුරමින් සිටි අවදියක තමන්ගේම කියා ව්‍යාපාරයක් ගොඩනඟා ගෙන දියුණුව සලසා ගැනීම අනෝමාගේ එකම අභිලාශය වීපැවතිණි . එහෙත් කෙමෙන් කෙමෙන් දියුණුවේ මං පෙත් කරා එළඹෙද්දී අනෝමා මා අතැර මෙලොවින් සමුගත්තේ හිතේ රැඳි සියළුම ශක්තියත් අතුගාගෙනය . ඇය සෙම්ප්‍රතිශ්‍යාවක්වත් වැලඳෙන අයෙකු නොවූවාය . ඇයට හදිසියේම ඇතිවූ පපුවේ කැක්කුමට ප්‍රතිකාර ගැනීමට පරීක්ශන කරීමට පටන් ගනිත්දී ඇගේ සිරුර වසා ගත් පිලිකාව ඒ වනවිටත් උඩුදුවා තිබින . සති තුනක පමණ කාලයක් රෝහලේ ගතකල ඇය හදිසියේම මියගිය පුවත දැනගන්නට ලැබුණු අවස්ථාවද අදටත් දැන් වූවාක් මෙන් සිහියට නැඟේ . හදිසියේම ඇතිවූ සෝචනීය තත්වය හේතුවෙන් තම ජීවිතය අන්සභාග රෝගියෙකුගේ තත්වය හා සමාන වූ අයුරු මැවි මැවී දැනුදු පෙනේ . තම දියනිය නිසා නොවෙන්න ත්මන් අද මේ තත්වයේ නොව ඉබාගාතේ යන උන්මත්තකයෙකු වන්නට තිබුණායැයි මෙලෙස සිහිපත්වන අනන්තවාරයක සිහියට නැඟේ . 



ඇයගේ මව මෙන්ම පාරමීද උත්සාහ වන්ත කෙනෙක් වූවාය . කුඩාකල පටන්ම තම වැඩකටුයුත් තමන්ම කරගන්න පුරුදුවූ ඇය කිසිම වෙලාවක කිසිම දෙයක් නැතැයි කනස්සලු නොවූවාය . ලද දෙයින් උපරිම සතුටක් විදීමටත් ඇති සැටියෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමටත් පුරුදු වූ ඇය කුඩාකළ තමන්ටද දැනමුතුකම් දුන් අවස්ථාවන් සිහියට නැගෙත්ම සිනාවක් නැගිනි . " මගේ පැහිච්ච කෙල්ල ." දසනායකගේ මුවින් ඉබේටම මිමිනින . මීට අවුරුදු තුනකට පෙර ලංකාවෙන් පිටත්වුණු ඇයව දැකීමේ ආශාවෙන් හිත පිරී ඇතැයි හැඟේ .දුරකතනය අතට ගත් දසනායක අසිතට කතාකිරීමට කෙටි අංකය එබුවේය .


" අසිත මම ටිකක් එලියට යනව වැඩකට . පොඩ්ඩක් වැඩ ටික බලන්න . මොනව හරි තිබුනොත් මට call එකක් දෙන්න . "


" OK සර් . "


ආයතනය ආරම්භයේ සිට හිඳින විස්වාසවන්ත සේවකයෙක් ලෙස අසිත හිත දිනාගෙන තිබුණි . කලකට ඉහත මොනම හෝ රැකියාවක් සොයා තමා හමුවට පැමිනි අසිත ඇරඹුවේ නුපුහුණු තත්ව පරීක්ශකයෙකු ලෙසයි . අද වනවිට ඔහු පැමිණ ඇති තැන ගැන හිතෙන විට දසනායකට ඉමහත් සතුටක් දැනේ . තමන් ඔහුව පුහුණු කටයුතු සඳහා ජර්මනියට පවා යැවූ අයුරු සිහිවුණි . වෙනත් අය නම් ගතයුත්ත ගෙන මාරුවෙන්නට තැත් කරත්දී අසිත තව තවත් ආයතනයේ කටයුතු පුළුල් කිරීමට මග සෙව්වේය . මෙනිසාම තම ව්‍යාපාරික කටයුතුවලදී අසිත බෙහෙවින්ම ලඟින් හිඳින පුද්ගලයෙකු ලෙස තබාගැනීමට දසනායක උත්සුකවූයේය .



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

" Hello නාරද . . . "

" කියපං . . "

" ලොක්කා ගියා . මොකද කියන්නේ . පොඩි පාටියක් දාමුද . . . ? "

. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පියාපත් ලැබී 06 කියවන්න මෙතන click කරන්න .

Friday, July 15, 2011

පියාපත් ලැබී . . . 04


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

. . . හතරවැනි කොටස . . .


කර්කශව 
ඉබාගාතේ ඇදුණු
ජීවිත සිහිනයන්
බලාපොරොත්තුවේ වැසි පොදින්
තෙමී පන ලැබ
ටික ටික දළුලන්න
තනනවා නොවෙද
දෑස් දල්වාන
බලාන ඉමි එනතුරා
වසන්තයේ හෙට දවස




නිකමට වගේ හිස් කඩදාසියේ ලියැවුණේ සිතේ පැතිරුණු අපමණ සතුට නිසාමැයි නාරදට සිතුනි .


" වෙලාව බලාගනින් . . . "


තම කනට ලංකර උස් හඬින් අසිත එලෙස පැවසත්ම නාරදට උඩ විසිවුණා යැයි හැඟිනි .


" මොකද බං උඹට වෙලා තියෙන්නේ . කෙල්ලෙක් වත් සෙට්වුණාද . තනියම හිනාවෙනවා . මුමුණනවා . ඕවට නම් බේත් නෑ රජෝ . . . ඇත්ත කියපං . . .? "


" උඹ කොයි වෙලේද මෙතන්ට පාත්වුනේ . මම දැක්කේ නෑ නේ උඹ එනවා . "


" උඹ කොහෙ දකින්නද . තනිකර මනෝ පාරක් දාගෙනනේ හිටියේ . මම දැන් මෙතනට ඇවිත් විනාඩි දහයක් විතර . කියපං කියපං . . . කවුද කෙල්ල . මේ ඔෆිස් එකේ එකක් නම් වෙන්න බෑ . කවුද කියපංකෝ . . . "


" මට මොන කෙල්ලොද බං . අපිට කැමතිවෙන කෙල්ලො ඉන්නවනම් මොනවා කරන්න බැරිද . . .  "


" ඕං ඕං අපිට කොලේ වහනවා . අනේ පලයං නාරද . මම බලාගෙන අර කමනිත් උඹට ඇහැදාගෙන ඉන්නේ . වරදක් නම් නෑ . හැබැයි ඉතින් වියදම සැරයි පුතේ . උඹට සැලූන් වලටම පඩිය වියදම් කරන්න වෙයි . "


හිනාවෙමින් අතොරක් නැතිව කියවන අසිතට හසුවුනොත් ගැලවෙන්නට පැයක්වත් දැඟලියයුතු බව නාරද හොඳාකාරවම දනී . කොළඹ ආ පසු තමන්ට සිටින එකම හිතවතා අසිතය . ආ මුල් කාලයේ පටන් අසිත තමන්ට බෙහෙවින්ම සහෝදරත්වයෙන් සැලකීම නාරදට දැණුනේ මහමෙරක් ලෙසය . දන්නා හඳුනන කිසිවෙකුත් නොමැතිව තනිපන්ගලමේ වෙසෙනවාට වඩා මෙවන් මිතුරෙකුවත් සිටීම නිසා හිතට තරමක් දුරට සැහැල්ලුවක් දැනිනි .


" පිස්සු නැතුව ඉඳින් අසිත . මම දැක්කා ගිය සෙනසුරාදත් කමනි කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා යනවා අපූරුවට . ඕවා නෙමෙයි බං . දසනායක කතා කළා . "


" මල කෙලියයි . ඉතින් . . . මොකද්ද දසයා ඇදපු කොක්ක මේපාර . "


"කොක්කක් නම් නෙමෙයි . පොඩි සතුටු දායක දෙයක් කියන්න කතා කලේ . "


" අම්මපා . . . බොරු . යකෝ මම මෙහෙට ඇවිත් දැන් අවුරුදු දෙකහමාරක් වෙනවා. මෙහෙ වැඩ කරන එකෙක් දසයා සතුටු දායක දෙයක් කියන්න කතා කළා කියලා කියනවා ඇහුවාමයි . හරි කියපන් බලන්න මොකද්ද කියලා උඹට කියපු සතුටු දායක කතාව . "


" මට පොඩි ප්‍රොමෝශන් පාරක් සෙට් වුණා අසිතයා . "


" බොරූ .. . . ! ! ඒ ඇත්තමද කියන්නේ . මොකද්ද බ්‍රාන්ච් එක . දුරද . . . "


" නෑ බං වෙන කොහෙවත් නෙමෙයි . මෙහෙම තමයි . Assistant printing manager විදියට . "


" හෙහ් හේ . . . මරුනේ යකෝ . කවද්ද කිව්වේ . උඹ මටවත් කිව්වේ නෑ නේද බං . . . "


" අනේ නෑ බං . අද උදේ තමයි කතා කරලා කිව්වේ . "


" එල එල .  congratulations සහෝදරයා . "


" thank you අසිත . thank you very much . . "


" මේ මේ . දීපං අපිට party එකක් හොඳේ . නැත්නම් ඉතින් දන්නවානේ . "


" හරි හරි . හම්බෙනකන් ඉඳපං ඉස්සෙල්ලා . නොදී ඉන්ඩ පුළුවනෑ උඹලා එක්ක . "


" හෙහ් හේ . .  අපි එහෙමයි . මේ , ඒක නෙවෙයි නාරද . හැබැයි පොඩි කැපිල්ලක් නම් යයි උඹට . "


" ඒ ඇයි බං . "


" ඔය පෝස්ට් එකට අර වජිරයා ඇහැදාගෙන හිටියේ සෑහෙන කල් ඉඳලා . ඒ වුණාට ඌ card එක කුඩු කරගත්තනේ අර Unilever's එකේ order එක වරද්දලා  ප්‍රින්ට්කරලා ඒ ටික හොරෙන් ආයේ ගහලා . හැබැයි පොරට මේක ආරංචි වුණාම උඹත් එක්ක අවුල යයි . "


" ඉතිං බං මම ඉල්ලලා ගත්ත් එකක්යැ . අඬගහලා දුන්න එකක්නේ . "


" හරි හරි උඹ ඕවා හිතන්න එපා . අපිත් මේවෑ ඉන්නවානේ . යමං කැන්ටිම පැත්තට ගිහින් එන්න . ප්ලේන්ටියක්වත් ගහන්න . "




෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

" Hello . .  "

" තාත්තා මම කතා කරන්නේ . මම තාත්තගේ mobile එකට ගත්තා ආන්සර් කරන්නේ නෑ . ඒකයි Office එකට ගත්තේ . "

" ආ , මම mobile එක vehicle එකේ දාලා ඇවිත් පුතේ . ඉතිං කොහොමද . මොනවද තොරතුරු . මගේ පුතා හොඳින් නේද . "

" ඔව් තාත්තේ . මම හොඳින් . මම මේ තාත්තට හදිස්සියේම ගත්තේ තව දවස් දෙකකින් ලංකාවට එනවා කියන්න . අපිට නිවාඩු දුන්නා . "

" අනේ කොයිතරම් දෙයක්ද පුතේ . මට flit එක බලලා  කියන්න . මම driver කෙනෙක්ව එවන්නම් airport එකට ඔයාව ගන්න . "

" හරි තාත්තා . මගේ යාලුවෙකුත් එනවා . එයාවත් ඩ්‍රොප් කරන්න පුළුවං නේද තාත්තා . නැත්නම් මම cab එකක් අරන් එයාවත් ඩ්‍රොප් කරලා එන්නම් . "

" නෑ පුතේ මම සිරිපාලව එවන්නම් . එයාවත් බස්සගෙන එන්නකෝ . "

" හරි තාත්තේ . මම එහෙනම් තියන්නම් . බුදුසරණයි . තාත්තා පරිස්සමින් ඉන්න . "

" බුදුසරණයි පුතේ . මගේ කෙල්ලත් පරිස්සමින් , කල්පනාවෙන් ඉන්න . ok . "

" හරි තාත්තා . Bye . . "

" Bye පුතේ . . "

. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


පියාපත් ලැබී 05 කියවන්න මෙතන click කරන්න .