Followers

Thursday, September 22, 2011

බෝට්ටුව . . .


පොද වැටෙන්න පටන් අරන් . මේ වැස්ස කලටද අකලද කියන්න නම් මට හරි හැටි තේරුමක් නෑ . බිංදු බිංදු වැටි වැටි තිබුණු වැස්ස ටික ටික මෝරන හැටි පුංචි කවුලුවට ඇස් තියාගෙන මම ඔහේ බලාගෙන උන්නා . මටම දැණුනා මම වැස්ස දිහා බලාගෙන උන්නේ මහා හිස් බැල්මකින් කියලා . මේ හැගීම මොකද්ද කියලා තෝර බේරා ගන්න මම හිතන්නේ මට ඉස්සර වගේම අදටත් වුවමනාවක් නෑ . මට ඕනේ උනේ ඔහේ බලාගෙන ඉන්න . එදා වගේම මේ දැණුත් . ඒ වුණාට එකදෙයක් නම් මම හොඳටම දන්නවා . මම මේ වැටෙන වැස්සට ගොඩාක් ආදරෙයි .

ඉස්සර අම්මට හොරෙන් පරණ පොතකින් මැද පිටුවක් කඩාගෙන තකහනියේ හදාගන්න බෝට්ටුවත් අරගෙන වහලෙන් වතුර වැටෙන පීල්ල ලගට වෙලා වතුරෙන් හැදුණු දිය පාරවල් දිගේ මමත් ඒ බෝට්ටුවේම හිතින් යාත්‍රා කළා . ඒ කාලේ මට හිතුණා මේ බෝට්ටුවට තව අත් උදවු කාරයෙක් හිටියානම් කියලා . ඒත් ඒ වෙනුවට හිටියෙත් මමම තමයි . ඒ ඒ චරිතත් එක්ක මම ජීවත් වුණා .  

ඔන්න ඔය කාලේ තමයි අපේ ගෙදරට අමුත්තෙක් ආවේ . ඒ මගේ මල්ලි . ටික ටික මගේ ලග දැවටිච්ච ආදරය හැමෝම මගෙන් ආපහු උදුරගෙන මල්ලිට දීලා කියලා දුකක් දැනෙන්න ගත්තත් මගේ  බෝට්ටුවට මල්ලිත් උදවුවට ඒවි කියලා හිතලා මම ඒක සතුටකට හරවගත්තා .

එදා එහෙම හිතුවට , මට උදවුවට මල්ලි ඒවි කියලා ඒක කවදාවත් එහෙම උනේ නෑ . එයාට ඒ ගැන ආසාවක් තිබ්බේ නෑ . එයා කලේ මම කඩන පොත් කොලේ ගැන නිතර අම්මගේ කනේ තියපු එක විතරයි . ඒත් මගේ බෝට්ටු ගමන නම් නවත්තන්න කාටවත් බැරිවුණා . මල්ලි නිසා මම කොයිතරම් බැනුම් අහුවත් මම මල්ලිට හැමදාමත් ගොඩාක් ආදරය කළා . එයාගෙ හැම දේම හොයලා බැලුවා . ඉතින් ඔය විදියට කාලයත් එක්කම අපිත් කර දඬු උස් මහත් වෙලා වැඩුනා .

ඔය අතරට මගේ ජීවිතේට තීරනාත්මක දවසක් එක් වේවි කියලා මම කවදාවත් හිතුවේ නෑ . එදා දූවිල්ලෙන් පිරුණු වේලිච්ච දවසක් . ඉස්කෝලෙන් ඇවිත් ගෙට ගොඩවුණා විතරයි මුලු ගේම එකම කාලගෝට්ටියක් වුණා . තාත්ත මාව අල්ලගෙන හොඳටම ගැහුවා . මොනවාදෝ කිය කියා මට බැන්නා . මම නොදැනීම මගෙ අතින් වරදක් වුණාදෝ යි හිතන ගමන් මම කරබාගෙන හිටියා . එකම එක වචන පේලියක් වෙනකන් විතරක් . " උඹව මම හදාගන්න ගත්තට ගොඩාක් පසුතැවෙනවා "  අදටත් මගේ කන් වල මේ වචන ටික දෝංකාර දෙනවා . මහමෙරකටත් වඩා බර වුණු මේ වචන ටිකත් උස්සගෙන අතේ පිච්චියක්වත් නොතිබ්බ මම බලංගොඩ ඉඳන් මීගමුවට එනකන් කෝම ආවාදැයි මා ආ ලොරියේ ඩ්‍රයිවර් උන්නැහේව මෑතක හමුවන තුරුම මට හීනයක් වෙලා තිබුණා . වෙලාවකට ගිණිවැල්ලේ එක්ක ජින්නා ගම අතැරලා ආව වගේ නේදැයි හිතෙන කොට මම මටම තනියම හිනාවෙනවා . ඒ අඬන්න බැරි කමට හිනාවුණු හිනාවක්  කියලා හිතන්න මගේ හිත කීයටවත් ඉඩ දුන්නේ නම් නෑ . මම හිතන්නේ ඒ මගේ උරුමය හොයාගෙන ආපු ගමනක් .

කාලයත් එක්කම කීතු කීතුවලට ඉරිලා තිබුණු මගේ හිත මුහුදු වැල්ලේ පහසත් එක්කම ආයෙමත් ටිකෙන් ටික හැදුණා . අලු යට ගිණි පුපුරු ඇති බව දන්නවා මුත් මම කිසිම වෙලාවක ඒ පුපුරු අවුස්සන්න නොයන්න වග බලාගත්තා . ඔය හැමදෙයක් එක්කම මමත් නැග්ග මගේ නොවුනත් බෝට්ටුවකට . ඒ බෝට්ටු පදින්න ආසාවටම නෙමෙයි . මගේ ජීවිත බෝට්ටුව පැදගන්න ඕන නිසාවෙන් මේ බෝට්ටු එක්ක හැප්පෙනවා . තවමත්ම මම තනියම .

කොයිතරම් බලා උන්නත් මේ වැස්ස මට නම් කවදාවත් ඇතිවෙන දෙයක් නම් නෙවෙයි . පුංචි බෝට්ටුවක් හදලා වතුරේ පාවෙන හැටි බලං ඉන්න අදටත් මම ආසයි . එදා වගේම . . . .

2 comments:

  1. ජීවිත බෝට්ටුව හරි පුදුමයි අප්පා....

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට . . .