Followers

Saturday, January 21, 2017

පියාපත් ලැබී . . . 26


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිහයවෙනි කොටස . . .

" අපි යමු නේද ? මේරි අම්මා බයවෙලත් ඇති. " නාරද කිව්වේය.

" මේරි අම්මා නෙමේ මෙයා බයවෙලා වගේ ඔක්කෝටම වැඩිය. " පාරමී සිතුවා මිස නොකීවාය.

" යමු . . . ඒත් ඔහොමද නිදාගන්න හදන්නේ. "

" හෙට උදේ යන්නත් බලාගෙන ඇඳගත්තේ තව පැය කීයද තියෙන්නේ. මෙහෙම යමු. " නාරද කීවේය.

" හ්ම් . . . "

නාරද ඇනෙක්ස් එකේ ලයිට් සියල්ල නිව්වේය. ඉන් පසු දොර ලොක්කර වාහනයට නැග්ගේය. කාරියවසම් පෙනෙන්නට නැත. යලි කතාවට හසුවුනොතින් ගැලවීමක් නැතිවෙයි. නාරද ඉක්මනින් වාහනය එළියට ගත්තේය.

" තාත්තට දැන් මොකද දන්නේ නෑ නේද නාරද ? "

දැන් හොඳට නිදි ඇති. ඩොක්ටර් කිව්වනේ නින්ද යන්න බේත් දෙනවා කියලා. "

" මට තාත්තා ගැන පවු කියලා හිතෙනවා නාරද. එයා මම වෙනුවෙන් තමයි එයාගේ හැමදේම කැපකළේ. අම්මා නැතිවුණ දා ඉදලා මට එයා අම්මයි තාත්තයි දෙන්නම වුණා. කවදාවත් මට බැනලා නෑ. මම ඉල්ලපු හැමදේම මට දුන්නා. දැන් මට ඕන තාත්තා සතුටින් ඉන්න එක විතරයි. " පාරමී කියාගෙන ගියාය. 


" මටත් එහෙම තමයි. මගේ පවුල අන්ත අසරණ තත්වෙට ඇද වැටිලා ඉන්නකොට ඔයාගේ තාත්තා තමයි මට රස්සාව දීලා අද මේ තත්වෙට එනකන් මාව ගොඩනැගුවේ. එයා මට රස්සාව නොදුන්නනම් සමහරවිට මම කොහේ හරි කුලී රස්සාවක් කරනවා වෙන්න පුළුවං. ඔයාගේ තාත්තට මම ණය ගැතියි. ඒ වෙනුවෙන් මට එයා ඉල්ලන ඕනම කැපවිමක් කරන්න පුළුවන්. "

නාරද සියල්ල එකතුකර කීවේය. ඉන් කියවෙන සියල්ලම දෙදෙනාම තේරුම් ගත්තෝය. දැන් තමන්ට වඩා තම වගකිම්වලට වැදගත් තැනක් දියයුතුව ඇති බව දෙදෙනාම වටහාගත්තෝය.
නිවසට වාහනය පැමිනෙන විට මේරි අම්මා දොරකඩට වී හිඳගෙන උන්නාය.

" මොකද පුංචි බේබි වුනේ. කෝ ලොකු මහත්තයා " මේරි අම්මාගේ දෙනෙත් කඳුලින් බොඳවි තිබුනේය. ඒ අසත්ම පාරමීගේ ද නෙත් තෙත්වන්නට ඇත.

" දැන්නම් අමාරුවක් නෑ කිව්වා මේරි අම්මේ. උදේට බලන්න එන්න කිව්වා. දැං නින්දයන්න බේත් දීලලු තියෙන්නේ. " පාරමී තතු පැවසුවාය.

" දෙයියනේ කුරා කූඹියෙකුටවත් වරදක් කරන්න නොහිතන අපේ මහත්තයටම මේ දේවල් වෙන්නේ මොකද මන්දා. " මේරි අම්මා විස්සෝප වුණාය. නාරද හෙමින් සැරේ ඩ්‍රයිවින් සීට් එක නවාගත්තේය. එකවරම නාරදගේ දොර හැරුනි.

" ඇයි මේ බහින්නේ නැත්තේ. එන්න ගෙට . . " පාරමී නාරදට කතාකළාය.

" නෑ මම මෙහෙම ඉන්නම්. ඔයා ගිහින් නිදාගන්න. " පාරමී මුහුණ බේරිකරගත්තාය. 

" මාව තවත් අඬවන්නද ඕන ඔයාට. අනේ ප්ලිස් එන්න ගෙට. " නාරද ඈ දිහා බලාගෙන උන්නේය.

" ප්ලීස් . . " ඈ තවත් වරක් කීවාය.

නාරදට අවනත වනු මිස කිරිමට කිසිවක් නොතිබුණි.

" එහෙනම් මම පුටුවකට වෙලා ඉන්නම්. දැන් ගිහින් නිදාගන්නකෝ. " නාරද සුදු මුහුනෙන් ඇස් ඉවතට ගන්න ලෝබකමේ කීවේය. 

" නෑ එහෙම බෑ . . " මේරි අම්මා මේ මහත්තයට විසිටර්ස් රූම් එක ලෑස්ති කරලා දෙන්න ඉක්මනට. "

" අනේ එහෙම ඕන නෑ මේරි අම්මා. තව පැය කීයද තියෙන්නේ. මම මේ පුටුවට වෙලා ඉන්නම්. "

" ඒ වුනාට ඔහොම හිටියහැකියැ මහත්තයා. මහත්තයටත් මහන්සි නැතෑ. "

" මේරි අම්මා මම කියන දේ අහන්නකෝ. ගිහින් හදන්න. " පාරමී එසේ කියාගෙන උඩට තරප්පු පෙල දීගේ දිවගියාය.

" අපේ පුංචි බේබිට එහායින් ලොකු මහත්තයාවත් යන්නේ නෑ. " මේරි අම්මා සිනාසි සාලයේ පැත්තට ගියාය. උඩට ගිය පාරමී ටික වෙලාවකින් පහලට ආවේ යමක් අතේ ඇතිවය.

" ආ . . . මේක ඇඳගෙන නිදාගන්න. මේක අලුත් එකක්. බය නැතිව අදින්න. " ඇය සිනාසෙමින් කීවාය.

" ඕන නෑ. මෙහෙම ඉන්නම්. "

" කියන දේ අහන්නකෝ ඉතින්. මේරි අම්මා . . . . මේරි අම්මා . . . හරිද . . . "

" හරි බේබි. "

" එන්න යමු . . . " පාරමී ඉස්සර වුණාය. 

එය කුඩා නැති විශාලත් නැති හුරුබුහුටි කාමරයකි. ඇතුල්වූ පසු හිතට සෞම්‍යයක් දැණුනි.

" ලස්සන කාමරයක් " නාරද කීවේය. 

" හ්ම් . . " මමත් මගේ කාමරයට පස්සේ වැඩියම ආස මේ කාමරේට. හරි සැහැල්ලුවක් දැනෙනවා. " නාරද සිනාසුනේය.

" එහෙනම් නිදාගන්න. " තුරුළුකරගෙන හුන් සරම නාරද අතට දෙමින් පාරමී කීවාය. පාරමීත් මේරි අම්මාත් කාමරයෙන් පිටවුනෝය.




. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴