Followers

Monday, December 26, 2016

පියාපත් ලැබී . . . 14


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . දාහතරවෙනි කොටස . . .

රිය වේගයෙන් පැදවූ නාරදට පැයකට ආසන්න කාලයකදී රාජගිරියට ලඟාවීමට හැකිවිය. දිසානායක මහතාගේ නිවස ලංවත්ම නාරදගේ සිතට දැඩි බියක් දැනුනි. වාහනයේ වේගය මදක් බාල කළ නාරද පාරමී දෙස බැලුවේ සිත උපන් මහත්වූ දුකකිනි. පවු , නින්ද ගිහින්. දසනායක මහතාගේ තෙමහල් නිවසේ ගේට්ටුව හැර තිබුණි. ලයිට් සියල්ලම පාහේ දල්වා තිබුණි. රිය නිවස ඉදිරියේ නවත්වත්ම දසනායක මහතා අසලට ආවේය.

" මම බයවෙලා උන්නේ නාරද. "

නාරද යන්තමින් සිනාසුනා මිස කිසිවක් නොකීවේය. පසුපස දොර විවෘත කළ දසනායක පාරමීට කතාකළේය.

" දුව . . . දුව . . .දෙයියනේ මේ කෙල්ලට හොඳටම නින්දගිහින්. දුව . . . දැන් කොහොමද නාරද මේ ළමයව ගෙට එක්කගෙන යන්නේ. මේ ළමයා නිදාගත්තහම නැගිට්ටනවා බොරු."

දසනායක නාරද දෙස බැලුවේය. ඒත් එක්කම වගේ මැදිවියේ පසුවන කාන්තාවක් ද නිවසින් එළියට ආවාය.

" මාර වැඩේ මේරි අම්මේ. මේ කෙල්ල නැගිටින්නේ නෑනේ. නිදි හිඳටෝම. "

" චූටි බේබි.. චූටි බේබි.. "

" ම්ම්.. " කෙඳිරියත් සමඟ අනිත්පැත්තට හැරුණු ඇය ඇඟිල්ල කටේ දාගෙන උරන්න පටන් ගත්තාය. දසනායකටත් මේරිටත් හොඳටම හිනාය.

" මේරි අම්මේ, අපි දෙන්නා අල්ලලා උස්සගෙනවත් කාමරේට එක්ක යමු. වෙන මොකද කරන්නේ. "

" සර් බේත් ගෑවා විතරයි නේද. බර උස්සන්න හොඳනෑනේ."

" කමක් නෑ මේරි අම්මේ. ඔන්න ඔහේ අල්ලමු. "

" හනේ හනේ පොඩි බබාගේ සූප්පුව නම් අතැරිලා නෑ නේද ලොකුමහත්තයා. "

මේරිත් දසනායක මහතාත් එකතුවී දියණියව නිවසට ගෙනයාමට වෙරදරණු නාරද ඔහේ කණුවකට හේත්තුවී බලා උන්නේය.

" කෝ ඉන්න සර්. මම එක්කන් යන්නම්. " එකවරම නාරද දෙස මේරි අම්මාත් දසනායකත් බැලුවෝය. ඉන්පසු දෙදෙනාම ඔවුනොවුන්ගේ මූණට මූණ බලාගත්තෝය.

දෙදෙනා දෙසම නොබැලූ නාරද එකවරම කාරයට එබී මලක් දෝතට ගන්නාක් මෙන් පාරමීව දෑතින් ඔසවාගත්තේය. කිසිවක් කියාගත නොහැකිව හුන් දසනායක පුදුමයෙන් බලා උන්නේය.

" මෙහෙන් එන්න සර් . . " මේරි අම්මා කීවාය.

මේක නම් සසර පුරුද්දට ගත්ත ගැනිල්ලක්. ඕ තමාට සිතින් කොඳුරාගත්තාය. ඒත් කවුද මේ හාදයා. අහින්සක පාටයි. හොඳ හැන්ඩි කොල්ලෙක්. මහත්තයාගේ අලුත් ඩ්‍රයිවර් වත් ද. . හෑ . . .

" මේ කාමරේ මහත්තයා . " මේරි අම්මා කාමරයක දොර හැර දුන්නාය.

නාරද කාමරයට ඇතුළුවී පාරමීව දෑතින් ගෙනවිත් ඇගේ යහන මත සෙමෙන් තැබුවේය. තමා කවුරුන්දැයි දන්නවානම් ඇය කිසිවිටෙකවත් මෙලෙස තම කර බදාගෙන එන්නේ නැත. " සමාවෙන්න " ඔහු සිතින් කොඳුරුවේය. ඇය කරවටා දමාගෙන හුන් අත නාරද සෙමෙන් ගෙන ඇඳමතම තැබුවේය. ඔහුට ඇයගෙන් නික්මුණු උනුසුම් හුස්ම හොඳින්ම දැණුනේය.

නාරද තම දියණියව පුළුන් රොදක් ගෙනයන්නාසේ ගෙනවිත් යහන මත තබා පසෙකටවනතුරු බලා සිටි දසනායක කටහඬ අවදිකළේය.

" නාරදට මහන්සිත් ඇති. මේරි අම්මේ මේ මහත්තයට බොන්න මොනවාහරි ලෑස්ති කරන්න. "

" හොඳයි මහත්තයා. " පාරමීගේ ඇඟට රෙද්ද පෙරවූ මේරි අම්මා කාමරයෙන් පිටවෙන්න ලෑස්ති වුණාය.

" එපා සර්. මම යන්නම්. හොඳටම රෑ වෙලානේ. "

" හරි එහෙනම්. හොඳයි නාරද. බොහොම පිං මට අද මේ කරපු උදවුවට. මගේ ඇස් දෙක තමයි මේ නාරද බොහොම පරිස්සමට මට ගෙනත් දුන්නේ. "

" මම ගිහින් එන්නම් සර්. " නාරද අහින්සක ලෙස හිනැහුනේය. නාරදගේ ඇඟට මහත් වෙහෙසක් දැනුනි. සිතටද මහත් බරක් දැනුනි.

" සර් වාහනේ මෙහෙම්මම තියන්නද. ගරාජ් එකට දාන්නද. "

" නෑ නාරද කොහොමත් නාරදට ඔෆිස් එකෙන් කාර් එකක් හම්බෙනවා. එතකන් නාරද මේ වාහනය පාවිච්චි කරන්න. "

" හරි සර්. . "

" නාරද පොඩ්ඩක් ඉන්න. " දසනායක නිවස තුළට ගොස් 5000 සේ නෝට්ටුවක් ගෙනවිත් නාරද අත තැබුවේය.

" මේකෙන් නාරද වාහනයට තෙල් ගහගන්න."

" හරි සර්. "

" නාරදට පුළුවන්ද මට තව එක උදවුවක් කරන්න." 

" මොකද්ද සර්. "

" මගේ ඩ්‍රයිවර් සිරිපාල ටිකදවසකට ගමේ ගිහින්. මට ටිකක් ඩ්‍රයිව් කරන්න හොඳ නෑ. මට කරන උදවුවක් විදියට නාරදට පුළුවන්ද හෙට උදේ දහයට විතර වගේ මාව ගෙදරින් ගන්න. ඩොක්ටර් වික්‍රමසූරියව පොඩ්ඩක් හම්බවෙන්න."

" හරි සර් මම එන්නම් "

රිය පදවාගෙන මහපාරට ආවත් නාරදට නිවසට යාමට තරම් හිතක් නැත. පාරට යාබදව තිබූ රෑ කඩයකින් දුම්වැටියක් මිලට ගත් ඔහු යලිත් රතය පනගැන්වීය. මදදුරක් ඉදිරියට පැදවූ ඔහු විසල් මැයි ගසක් අසල රිය නවතා දුම්වැටිය දල්වාගත්තේය. මම මොකද්ද ඒ කලේ. ඒ මිනිස්සු මොනවා හිතුවද දන්නේ නෑ. නෑ එහෙම මොනවත් හිතන එකක් නෑ. සර්ට බැරි නිසානේ මම පාරමීව ඇඳට ගිහින් දැම්මේ. නාරද සිතුවිලිත් සමඟ පොරබැදුවේය. අතැඟිලි අතර දැල්වී සිරව තිබූ දුම්වැටිය ඔහේ දැල්වෙමින් තිබුණත් ඒ ගැන ඔහුට නිච්චියක් නොවීය.


"හ්ම්.." සුසුමක් පිටවුවත් ඒ කුමකටදැයි ඔහු සෙව්වේ නැත. දුම්වැටිය ඉවතට විසිකළ නාරද නැවත රිය පනගන්වාගෙන තම බෝඩිම දෙසට දාවනය කලේය.

              
                ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේරි අම්මාත් දසනායකත් දෙතැන එකම සිතුවිල්ලේ වූවෝය. දෙදෙනාම සිදුවූ දෙය විශ්වාස කිරීමට කැමති නැත. මේරිඅම්මා සෙමෙන් සෙමෙන් දසනායක මහතා වෙත පියමැන්නාය.

" මහත්තයා රෑට මුකුත් හරියට කෑවෙත් නෑ නේද ? "

" මම බිස්කට් කෑවා මේරි අම්මේ. ඒ ඇති. "





. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට . . .