Sunday, April 7, 2019

පියාපත් ලැබී 32


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



" ඇයි , මොකද බං " නාරද අසිතගේ මුහුණේ ඉරියවු නිරීක්ෂණය කරමින් ඇසුවේය .

" මිස්ටර්  දසනායකගේ ගෙදරින් " අසිත පැවසුවේය .

" මොකක් හරි අවුලක්ද දන්නේ නෑ . . "

" හෙලෝ . . . "

" අසිත අයියා . . නාරද ඔෆිස් ආවද . "

" හ්ම් . . . ප්‍රශ්නයක් වගේ නම් තමයි ." අසිත දුරකථනය අතින් වසාගෙන නාරදට කිවේය .

" ඔවු ඔවු ආවා මිස් . මොකක් හරි අවුලක් ද ? "

" නාරදට ඔයා කතාකරන ඒවා ඇහෙනවද ? "

 " ම්ම් . . . නෑ . . . "

" අනේ නෑ . මේ . . නාරදගේ ෆෝන් එක වැඩකරන්නේ  නෑ . ඒකයි බැලුවේ . මම හිතන්නේ කාලත් නැතිද කොහෙද . ඒකයි චුට්ටක් බැලුවේ . "

" ආ . . . ඒකද මේ . හරි වැඩේනේ . නේද . . " අසිත සිනහව තද කරගෙන කතා කරයි .

" අනේ ඔයා චුට්ටක් බලනවද අසිත අයියා . . . මේ . . මම කතාකළා කියන්න එහෙම එපා හෝදේ . .  "

" ඔකේ මිස් . මම බලන්නම් . එයාට ෆෝන් එක දෙන්නද මිස් "

" එපා එපා . . . මම තියනවා . " පාරමි දුරකථනය විසන්ධි කළාය .

අසිත දුරකථනය අත තබාගෙන බැරෑරුම් දෙයක් කල්පනාකරන මෙන් රගපෑවේය  . ඔහු විඩෙන් විඩ නාරද දෙස බලමින් කල්පනා කරන බවක් පෙන්නුවේය . අසිතගේ මුවට සිනා ආවත් ඔහු එය අමාරුවෙන් වළක්වා ගත්තේය .

" මොකද මචං ප්‍රශ්නේ . . " නාරද යලි ඇසුවේය .

" පොඩි ප්‍රශ්නයක් බං . "

" ඉතින් කියපන්කෝ . "

" මට පොරොන්දු වෙයන් උඹ හිත කලබල  කරගන්නෑ කියලා " අසිත චරිතාංග නලුවෙකු ලෙස රගපෑමේ යෙදෙයි .

"  නෑ . නෑ . . . ඉතිං කියපංකෝ " නාරදගේ සිතට බියක් දැණුනි . පාරමීට මොකද්ද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ . . .

" පාරමි  කිව්වා . . . . "

" ඉතින් . . "

" පාරමි කිව්වා . . " අසිත මනමාල සිනාවක් ආරූඪ කරගත්තේය .

" ඉතිං , මොකද්ද පාරමි කිව්වේ . "

" උඹට . . . " යලිත් නොකියා නාරදගේ ඉරියව් බලමින්  අසිත ඔහුව කුලප්පු කළේය .

" ඉතිං මට මොකද්ද ? " නාරදගේ මුහුණ මනමාල පාටට හැරෙමින් මැකෙමින් තිබුණි . ඔහු තම හැගිම් සගවන්න වෙරදරන බව අසිතට හොදටම හැගුනි .

" උඹට කැමති කිව්වේ නෑ තාම ." අසිත මහ හඩින් හිනැහෙමින් කීවේය .

නාරදට ඌරුජුවල්‍ ය . අවස්ථාවෙන් ප්‍රයොජන ගෙන කරන විහිළු වලට අසිතව නොමරා ඉන්නේ කළ නොහැකි ම නිසාය . නැතිනම් නාරද  අසිතව මරලා හංගලාය .

" උඹ හිතුවා නේද කැමතියි කිව්වා කියලා . ආ . . . ඇත්ත කියපං . "

" මේ අසිතයා විහිළු වලත් සීමාවක් තියෙනවා . " අසිත පෙරලි පෙරලී සිනාසෙයි .

" ඕක නවත්තපං උඹේ ඔය වදුරු මුණ තලාගන්නේ නැතිව . "

" උඹේ ෆෝන් එක ඕෆ්ද . . . ?  " අසිත ඇසුවේය .

" ඔවු . බැට්රි බැහැලා ඇයි "

අසිත යලිත් සිනාසෙන්න විය .

" ෆෝන් එක ඔන් කරලා තියාගනින් . උඹේ අහිංසක ප්‍රේමිය කලබල වෙලා . " අසිත තවමත් සිනාසෙයි .

" උඹට මොනාහරි කවන්න කිව්වා . බඩගිනි ඇති කියලා . අනේ පවු පොඩි එකා . වරෙන් හරහට කුක්කු දිලා නලවලා දොයි කරන්න . "

අසිත උඩ පැන පැන සිනාසෙයි . නාරද කිසිවක් නොකිවේය . මේ කෙල්ලටත් පිස්සු ද මන්දා නිකන් මට ලෙඩ දාන්නේ . නාරද සිතුවේය . දැන් මූත් එක්ක කියවගන්න යන එකෙන් වෙන්නේ ඒවායෙන් තවත් ප්‍රයෝජන ගන්න එක බව නාරද හොදින් දනී. අසිත ඇතිවෙනතුරු සිනාසී නාරද දෙසට හැරුනේය.

"  මේ අහපං . කෙල්ල අමුතුවෙන් හා කියන්න දෙයක් නෑ . කෙල්ල කැමතියි . අනික මම දන්නවා කෙල්ලට වැඩිය උඹ කැමතියි . ඒත් පුතේ හිතෙන් තිරණ ගන්න යන්නෙපා මේ වේලාවේ. මොලෙන් .. මොලෙන් තීරණ ගනින් . කලබල නැතිව ඉස්සෙල්ලා දෙපැත්තෙම තියෙන ප්‍රශ්ණ ටික විසදගනින් . මොකද දසයටත් හාට් ඇටෑක් . එකපාරටම ඕක දැනගෙන කූරියා ගහන්ඩත් බැරි නෑ . . . අසිත යලිත් සිනාසුනේය . විහිලු නෙමෙයි බං . ඉස්සෙල්ලා දසයව ගොඩදාගමු . ඊට පස්සෙ උඹලගේ ගෙදර ප්‍රශ්ණ ටික බලපං . එතකොට පුලුවං ලවු එක . . "

" එතකං මම ඉදියි ද බං . . "

" පිස්සුද බං . ඔය ඔක්කොම විසදගන්න මේ ආත්මේ බැරි වෙයි . . " අසිත යලිත් සිනාසුනේය .

" ඉස්සෙල්ලා දසයව ගොඩදාගමු . අනිත්වා ඉබේට විසදෙයි . වැඩිය හිතන්න යන්න ඕන නෑ . හොද විදියකට හැමදේම වෙයි . මට එහෙම දැනෙනවා . " අසිත නාරදගේ උරහිසට තට්ටුවක් දැම්මේය .

මද වේලාවක් නාරද දෙස බලා සිටි අසිත තම කැබිනයට යාමට පිටවුණි . මද කල්පනාවක වැටී සිටි නාරදගේ සිතට නොසන්සුන් කමක් දැණුනි . හිත එකලාසියක් නැත . ඔගු දුරකතනය අතට ගෙන නිවසේ අංකයට ඇමතුමක් ගත්තේය .

" හෙලෝ . .  මල්ලී . ..  "

" ආ කියන්න ලොකු අයියේ . . "

" දානේ වැඩ දැං මොකද මල්ලී . පන්සලට ආරාධනා කළාද . "
" ඔවු අයියේ . අම්මයි නංගියි සුදු නැන්දත් එක්කද කොහෙද ගිහින් තිබ්බා . හත් නමකට ආරාධනා කළාය කීවා . "

" එතකොට දානේ උයන්න එහෙම කට්ටිය . . ? "

" ඔය අහල පහල කට්ටියත් ඉන්නවනේ අයියේ . සුදුනැන්දත් ඉන්නවනේ ."

" හ්ම් . . . මම හෙට සල්ලි ටිකක් දාන්නම් උදේම . මොනවාහරි කෙරෙන්ඩ  ඕන දේවල් බලලා කරන්න . මම ඉතුරු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා මගේ ලග . "

" හරි අයියේ . අයියගේ සල්ලි වලින් අට පිරිකරකුත් ගන්නද අයියේ . "

" හ්ම් . . . ගන්න හැමදේම . මදිවුනොත් කියන්න මම තව සල්ලි දාන්නම් . . .  "

" අයියා එන්නේ නැතිද එතකොට . "

මේ දවස් වල අම්බානට වැඩ . මම ට්‍රයි එකක් දෙන්නම් . ඒක නෙමෙයි , මට පොඩි වැඩක් කරලා දෙනවද . . "

" මොකද්ද අයියේ . "

" අර හීනටිගල වෙද මහත්තයා ගැන පොඩ්ඩක් හොයලා දෙනවද . වෙදමහත්තයා  ඉන්න තැන , බේත් කරන දවස් එහෙම . "

" හරි අයියේ . .  ඒත් කාටද හදිසෛයේම . "

" අපේ බොස්ට මල්ලි . බොස්ට ටිකක් සනීප නෑ මේ දවස් වල . අනේ චුට්ටක් බලලා කියනවද එහෙනම් . "

" හරි අයියේ . මම බලලා කියන්නම් ."

" එහෙනම් මම තියන්නද මල්ලි ."

" හරි අයියේ . බුදුසරණයි  . . . "

" බුදුසරණයි මල්ලි . . ."


  . . . මතු සම්බන්ධයි . . .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට . . .