" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
වෙලාව හතර පසුවි ඇත . කළයුතු වැඩ ඉහටත් උඩින් ඇති බවක් නාරදට පෙනුනත් ඒ කිසිවකට හිත සන්සුන් නැත . දසනායක මහතා ඇමතුමක් දීමට පෙර සියල්ල පසෙකින් තබා රෝහල වෙත යාමට නාරද සිතුවේය . මේසය මත විසිර තිබු සියල්ල එක්තැන් කර නැගී සිටියේ පිටව යාම සදහායි . ඒ සමගම අසිත කැබිනය වෙත හිසපොවා බලනු නාරද දුටුවේය .
" උඹ කොහෙ යන්නද ? "
" මම හොස්පිටල් එකට යන්න මචං . හවස ඩිස්චාර්ජ් කරනවා කිව්වා සර්ව . "
" හරි එහෙනම් මට කෝල් එකක් දියන් . සර්ව එක්කගෙන ගියාට පස්සේ . මම දසනායක සර්ගේ ගෙදරට එන්නම් . "
" හරි මචං . "
" මේ . . . ඒක නෙමෙයි . නාරද "
" කියපං "
" නෑ මුකුත් නෑ . උඹ පලයං . මම එහෙට එන්නම් . "
අසිත කුමක් දෝ කියන්නට ගොස් යලිත් එය ගිලගත්තේය .
වාහනයට ගොඩවුණු නාරද කෙලින්ම රෝහල වෙත පදවාගෙන ගියේය . යන අතර සිතුවිලි දහස් ගණනක් සිතපුරා ඒ මේ අත සැරිසරණ බවක් දැණුනත් ඒ කිසිවකට තේරුමක් මේ යැයි නාරදට දැනුනේවත් සොයන්නට සිතුනේවත් නැත . නාරද රිය රෝහලේ රථගාලේ නවතා යනවිටත් දසනායකව ඩිස්චාර්ජ් කර තිබුණි .
" ආ නාරද . මම මේ කෝල් එකක් ගන්න කියලා හැදුවා විතරයි . "
කාමරයේ දොර හැරගෙන එන රුව දෙස බලාගෙන දසනායක තෙපලුවේය . "
" මම කෝකටත් කියලා වේලාසන ආවා සර් . "
" හ්ම් . . නාරදටත් අපි නිසා මේටිකේ හරියට කරදර නේද ? "
" අනේ නෑ සර් . මම සර් වෙනුවෙන් ඕන දෙයක් කරනවා . මම ඒ කිසිදේකට තප්පරයක්වත් පරක්කු වෙන්න කැමති නෑ . මම මොනාවා උනත් මනුස්සයෙක් විදියට අද මේ තත්වෙන් ඉන්නේ සර්ට පිංසිද්ධ වෙන්න . මම ඒ දේ අමතක කරන්නේ නෑ . "
" නෑ නාරද . ඔයා මේ තත්වේ ඉන්නේ මම නිසා නෙවෙයි ඔයාගේ කැපවීමයි උත්සාහයයි නිසයි . "
" ඒ මොනවා වුණත් , සර් මම වැටිලා හිටි වේලාවේ අත දුන්නේ නැත්නම් මම මෙතැන නෑනේ සර් "
" හරි හරි . "
දොරට තට්ටු කරමින් කාමරය වෙත ඩොක්ටර් වික්‍රමසිංහ පැමිණියේ නාරද දෙසත් දසනායක දෙසත් මාරුවෙන් මාරුවට බලමින් සිනාසීගෙනමය .
" ආ . . . මිස්ටර් දසනායක නම් ගෙදර යන්න රෙඩි වෙලා වගේ . නේද ? "
" ඔව් ඩොක්ටර් . නාරදත් මාව එක්කගෙන යන්න ඇවිත් ඉන්නේ . මුකුත් ප්‍රොබ්ලම් එකක් නෑ නේද ඩොක්ටර් . "
" නෑ නෑ . මේ . . කිසි ප්‍රශ්නයක් නෑ . මිස්ටර් දසනායට ගෙදර ගියහැකියි . " ඩොක්ටර් වික්‍රමසිංහ සිනාසුනේය .
" කවුද මේ . . . නාරද නේද . "
" ඔවු ඩොක්ටර් . . " නාරද හිස ඔසවා ඩොක්ටර් වික්‍රමසිංහ දෙස බැලුවේය .
" මිස්ටර් නාරද යන්න කලින් මගේ රූම් එකට පොඩ්ඩක් එන්න . මිස්ටර් දසනායකගේ රිපෝට්ස් ටික අරගෙන යන්න .
" ඔකේ ඩොක්ටර් . "
" තෑන්ක්ස් අ ලොට් ඩොක්ටර් වික්‍රමසිංහ මට කරන උදව් වලට . " දසනායක වික්‍රමසිංහගේ අතගෙන මිරිකුවේය .
" ඒ මගේ යුතුකම මිස්ටර් දසනායක . මගේ වගකීම . ඕකේ ගුඩ්ලක් . "
" තැන්ක්ස් ඩොක්ටර් . "
" මිස්ටර් නාරද අපි යමුද . . . "
" ඔකේ ඩොක්ටර් .
නාරද ඩොක්ටර් වික්‍රමසිංහ පසුපස පියමැන්නේය .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
" පොඩි පුතේ . . පොඩි පුතේ . . . මේ ළමයා කොහෙට වෙලාද මම දන්නෑ . පොඩි පුතේ . ."
" මේ එනවා අම්මේ . . . " දර්ශණ සාලය වෙත පියමැන්නේය . "
" පුතේ අයියා කතා කළාද ? "
" ඔවු අම්මේ . අයියා කතාකළා . අර හීනටිගල වෙදමහත්තයගේ විස්තර හොයලා දෙන්න කිව්වා . කාටද බෙහෙත් ගන්න කියලා . "
" ඒ කාටද හදිස්සියේම . "
" කවුද , බොස්ට ද කොහෙද කිව්වා . "
" හ්ම් . මේ ළමයට රටේ නැති වැඩ . පවු . දානේ විස්තරයක් අයියට කිව්වේ නැත්ද ? "
" මම මතක් කළා අම්මේ . දවස් කිට්ටු කරලා එයි . "
" අනේ මන්දා . මේ ළමයට නිවාඩුවක් ගන්න බැරිවෙයිද දන්නෙත් නෑ . "
දර්ශණ කාමරය දෙසට සෙමෙන් පියමැන්නේ අයියා ගැන කල්පනා කරමින් ය . හෙට උදේම ගොස් වෙදමහත්තයාව බැලිය යුතුය . අයියා ලේසියෙන් කාගෙන්වත් උදව්වක් ගන්නෙකු නෙමෙයි . නමුත් ඔනෑම කෙනෙකුට දෙවරක් නොසිතාම නොපැකිලව උදව් කිරිමට ඔහු සැදි පැහැදී සිටියි . ඒ සදහා ප්‍රතිඋපකාරයක් ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවෙයි .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
ජීවිතේ කිසිදාක නොවිදි නුහුරු හැගීම් සමුදායකින් සිත වෙලාගෙන ඇත . සිත නැවුම් සිතුවිලි දාමයකින් පිරී තිබුණත් ගත ඔත්පලවී ඇති බවක් හැගේ . අඩුම තරමේ ඇහිපිල්ලමක් ගැසීමටවත් ඇගේ සිතට සිත් නොදෙයි . පාරමී දෑස් තදකරගෙන ඇදේ වැතිර සිටියාය .
ක්‍රීං . . ක්‍රීං . .
ක්‍රීං . . ක්‍රීං . .
දුරකතනය මහ හඩින් නාද දුන්නත් පාරමීගේ සවනත මානයකට ඒ හඩ දැවටුණේ නැත .
" පුංචි බේබි . . . පුංචි බේබි . .
" ම්හ් . . . ." පාරමී මේරි අම්මගේ ගඩින් දෑස් ඇර බැලුවාය .
" පුංචි බේබිට කෝල් එකක් . දැං ගොඩක් වෙලා ඉදන් එන්නේ . හදිස්සි පණිවිඩයක්ද දන්නේ නෑ නේද බේබි . "
පාරමීට තම පියාව සිහිවුණි . ඇය සැනෙකින් දුරකතනය අතට ගත්තාය .
" හෙලෝ . . "
" මොකද බං උඹට වෙලා තියෙන්නේ . හෑන්ඩ් ෆෝන් එකත් වැඩ නෑ . බැරිම තැන ගෙදරට ගත්තේ . මොකක්හරි ප්‍රශ්නයක් ද . .? "
" මහන්සියට ටිකක් ඇදට වෙලා හිටියා . ඇහුනේ නෑ . . "
" ඒ මොකද බං ඔයතරමට මහන්සි . "
" තාත්තිට සනීප නැතිවුණා බං . හොස්පිට්ල් නැවැත්තුවා . "
" නෑ . . . ඒ මොකද බං හදිස්සියේම . අංකල්ට මොකද දැං . . . "
" දැං නං අවුලක් නෑ . ඊයේ තාත්තිට හාට් ඇටැක් එකක් ඇවිල්ලා . සිහිනැතිව වැටුණා . අසිත අයියයි නාරදයි හිටපු නිසා ටක් ගාලා හොස්පිට්ල් ගෙනියන්න පුලුවන් වුණා . ඒක නිසා අවුලක් වුණේ නෑ . ."
" හ්ම් . . තෑන්ක් ගෝඩ් . "
" හරි ඒක නෙමේ . මොකද දැං උඹ හදිස්සියේම ගත්තේ . "
" හදිස්සියක් නෑ බං . මම මේ ගත්තේ දැං උඹේ වැඩේ තත්වේ මොකද අහන්න . " කේතකී සිනාසුණාය .
" තත්වේ . . . මොනවැඩේද බං . "
" මම මේ කිව්වේ උඹෙයි නාරදගෙයි වැඩේ ගැන . " ඇය යලිත් සිනාසෙයි .
" මේ නිකං ඉදපං බං පද හදන්නේ නැතුව . "
" පද . . පද නෙමෙයි බං ඒක තමා ඇත්ත . උඹ කතාකරනකොට නාරද ගැන උඹේ හිතේ තියෙන ඒවා හංගන්න හැදුවට නිකංම අනිත් අයට පේනවා . මෝඩි . උඹ එදා කතා කරපු විදියට මම හිතුවා . . . "
" මොකද්ද . .. මොකද්ද . .. මොකද්ද උඹ හිතුවේ . "
" නෑ නෑ . . මුකුත් නෑ . මම කටවහගෙන ඉන්නම්කෝ . අපි බලමුකෝ . . . ."
" හරි හරි ඔය ඝාන්ඨාරේ ගහන එක නවත්තපං . "
" ඒක නෙමෙයි , දැං අංකල්ව කවද්ද බං ඩිස්චාර්ජ් කරන්නේ . "
" අද ඩිශ්චාර්ජ් කරනවා . සමහරවිට නාරද දැං එක්කගෙන එනවත් ඇති . "
" අප්පද බොල නාරදට ඩ්‍රයිවින් ජොබ් එක හිතට අල්ලලා වගේ . " කේතකී යලි සිනාසෙන්න පටන්ගත්තාය .
" මේ ඒක මායි නාරදයි බලාගන්නම් . උඹ හොට නොදා ඉදපං . "
" ආ . . . . දැං ඒ තරමට දුර ගිහින්ද දෙන්නා . "
පාරමීත් කේතකීත් දෙදෙනාම එක්ව සිනාසුනෝය .
"මොනවද කේති . විහිළු එපා බං . . " පාරමීගේ මුහුණ රතුවී ඇත .
" හරි හරි මේ අහපං . කොල්ලව දැක්කම නම් අහිංසකයි කියලා තේරෙනවා තමයි . ඒත් අපිට ඇතුලාන්තය පේන්නේ නෑනේ බං . කාලා බලන්න ද . නේ . . "
" හ්ම් . ." පාරමී ඊට වඩා කිසිවක් නොකීවාය .
" මේ ඇත්ත කියපං . නිකමටවත් උඹ කාලා බලන්න ගියේ නෑ නේ . . . "
" නිකං ඉදපං බං . .." දෙදෙනාම එක්ව සිනාසුනෝය .
නාරද කවරෙක්ද යන්න වග පාරමී මේවනවිට තරමක් දැන හැදිනගෙන උන්නාය . නමුත් ඒ ගැන කිසිවක් කේතකීට හෝ වෙන කිසිවෙකුට කීමට ඇයට අවශ්‍ය නොවූවාය .
කේතකී බොහෝවේලාවක් කතාකරමින් සිට දුරකතනය විසන්දි කළාය .
. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
No comments:
Post a Comment
ඔබේ අදහස් දිරියක් මට . . .