වාසනාව අවාසනාව ගැන කියන්න ඇත්තටම මට ඒ හැටි තේරුමක් නෑ . මගේ අම්මා තාත්තා ලංකාවේලු . ඒත් මම ඉපදිලා තියෙන්නේ ඉන්දියාවේ . මම උපදිනකොටම මගේ අම්මා තාත්තා මේ ලෝකෙන් යන්න ගිහින් තිබුණා . ඒක නිසාම දෝ මට ඒ හැටි ඒ ගැන හැගීමක් තිබුණේ නෑ . හැබැයි පොඩි දුකක් නොතිබුණාම නෙවෙයි කිසිම දාක දකින්න නොලැබීම ගැන . මම සතුටු වුණා ' ඉන්දියාවෙන් ආවට ලංකාවෙ උන් නැත්නම් මුං ගොට්ටෙත් නෑ ' කියලා මිනිස්සු කියද්දි . එතකොට මං ඉන්දියන් ද ? නැත්නං ශ්‍රී ලංකන් ද ? අනේ මන්දා මට තේරෙන්නෑ ඕවා . හැබැයි මං මතක ඇති කාලෙක ඉදන් උන්නේ තට්ට තනියම . කාත් කවුරුවත් නැතිව .
ඔහොම කාලයක් ඉන්නකොට තමා මට උඹව මුණගැහුනේ . වෙලාවකට මට හිතෙනවා මමත් සමලිංගිකයෙක් ද කියලා . මොකද මටත් තිබුණේ පිරිමි හැගීම් . ඇයි එහෙම වෙන්න බැරිද ? එහෙම වුණත් නොවුණත් මම උඹ ගැන ඒ තරමට හිතුවා . වෙලාවකට හිතෙනවා උඹ මගේ ප්‍රථම ප්‍රේමය කියලත් .
දැක්ක දවසේම හිතගියා උඹට . අපි හම්බෙලා ලොකු කාලයක් නෑ . ඒත් ඒක හරි හයිය බැදීමක් වෙලා තිබුණා . තට්ට තනියම මුල්ලකට වෙලා උන්නු මට ඇත්තටම එළියට එන්න පුලුවන් වුණේ උඹ හින්දා . පලවෙනි දවසේ අපි යාළුවෝ වගේ හැසිරුණත් උඹේ ඇස් වල එයිට එහා ගිය හැගීමකින් පිරිලා තිබුණා .
පළමු දවසෙම ඒ විදියට ලෙංගතු වුණු අපි ගොඩාක් ලගින් ආස්‍රය කළා . කාලයත් එක්කම හිතේ තියෙන ගොඩාක් දේවල් උඹ මගේ ලගින් ඉදගෙන දිගහැරියා . ගොඩාක් වෙලාවට අපි දෙන්නා අතර රහසක් තිබ්බේ නෑ . හැබැයි කවුරුවත් නොදන්න ගොඩක් රහස් අපි දෙන්නා බෙදාගත්තා . මමත් හුලං පොදක් වත් නොයන විදියට ඒ හැම රහසක්ම හිරකරලා තියාගත්තා .
උඹට මතකද මාත් එක්ක ගිහිං අඩියක් ගහපු දවස . එදා මට අමතක වෙන්නැති දවසක් . පොඩ්ඩක් වෙරි වුණාම උඹ හරියට ආදරණීය වෙනවා . මං නං උඹට ටිකක් වෙරි වෙනවට කැමතියි . මොකද එතකොට තමයි ගොඩාක් වෙලා උඹ මා ලගින් ඉදගෙන ඔහේ කියවන්නේ . මමත් ආසම උඹේ ඔය කියවිල්ලට . බිම බලාගෙන අහං ඉන්න . හැබැයි උඹ එදා නං කියෙව්වේ උඹේ මහලොකු කෙල්ල ගැන . ඒකිගේ ගෙදරින් උඹට අවුල් ලූ . . උඹ වෙරි මරගාතේ ඔහේ ඔක්කෝම කියෙව්වා . මගේ හිත රබර්ද බං . . දුක හිතුණා . ඇත්තටම දුක හිතුණා . ඒත් මං කරබාගෙන අහං හිටියා . කාටද පුළුවං තමංගේ ආදරේ වෙන කාටවත් බෙදෙනවා බලන්න . පුළුවං ද . . . මට නං බෑ . . . ඒත් මම ඉවසුවා . මොකද ඒ තරමටම මම උඹට ආදරෙයි . ඇත්ත , මට තියෙන්නේ පිරිමි හැගීම් . එතකොට ඒවා හැගීම් නෙමෙයිද බං . ඉවසුවා බං . ඉවසුවා . . . එදා හරි අමාරුවෙන් උනත් මම උඹව වත්තන් කරගෙන ගෙදර ගියා . උඹට ගෙදර යනවා වත් මතකද ? නෑ නේ . . ඒ උඹට තියෙන ආදරේට බං . වෙන එකෙක් නං යනගමන් තල්ලු කරලා හෙලකට . මට එහෙම බෑ බං . මගේ හිත රබර් ද බං ඕන ඕන අතට ඇදෙන්න . මට එහෙම බෑ . . .
කොච්චර කිව්වත් උඹ නං හැදෙන එකෙක් නෙමෙයි . උඹ එදත් නැගිටිනකොට හොදටම පරක්කුවෙලා . දඩි බිඩි ගාලා ඇදගෙන මාත් එක්කම උඹ ආවේ හැත්තෑවත් පන්නලා වේගෙන් . පාර නම් ටිකක් නිස්කලංකයි තමයි . එහෙම ඇවිත් උඹ තියෙන තදියමට ආපු විදියටම ටවුම පැත්තට හැරෙවුවා .
ෆ්‍රීඊඊඊඊඊඊඊක් . . . .
මං බැලුවා කවුද කියලා . ලයිට් කණුව අස්සේ උන්නු පොලිස් මහත්තුරු දෙන්නෙක් . ලගටම ආවා .
" ආ . . කොහෙද මහත්තයා ඉගිල්ලෙන්නේ . නිකං හරි කවුරුහරි පැන්න නම් එහෙම . කෝ ගන්න බලන්න රියදුරු බලපත්‍රය . ."
" සර් පොඩ්ඩක් පරක්කුවෙලා සර් .. "
" පරක්කුවෙලා කියලා ඔහොම ගිහින් බෑ නේ මහත්තයෝ . අනතුරක් වුණාම ඔයගොල්ලො ඔහොම කතා කියලා හරියන්නේ නෑනේ . . කෝ බලපත්‍රය ගන්න . . "
මම සද්ද නැතිව හිටියා . දෙන්නෙක් කටදාන්න ගිහින් වැඩේ දෙල් කරගන්න ඕන නෑ නේ .
" එහෙම නෙමේ සර් . වැරැද්දක් තමා වුණේ . මම පිලිගන්නවා . මොකක් හරි කරලා දෙන්න සර් . . "
මට උඹේ මූණ දැක්කම හිනා යන්නත් එනවා . යකෝ හරියට පාරේ ආවනම් කාටවත් නැවෙන්න ඕන නෑනේ . අනේ මන්දා . කොහෙද උඹ හැදෙන එකෙක් යැ . මට දුකත් හිතුණා . පොලිසියේ මහත්තයත් වටේ යන ගමන් කතාව .
" හරි දැං මොකද්ද මහත්තයා කරන්න කියන්නෙ . මාර්ග නීතිවලට අවනත නොවීම . එතකොට අවදානම් ලෙස රිය පැදවීම . වැරදි ගොඩයි මහත්තයෝ . . . "
" මෙන්න මේක ගන්න සර් . . "
උඹ තමා මිනිහා . හැමෝටම හොරෙන් පන්සීයේ කොලේ සාක්කුවේ ඔබනවා මම දැක්කා . අනේ යකෝ . . . උඹට තදවෙලා ඉන්න වෙලාවේ නිකං බැනුම් අහන්න ඕන නැති නිසා මම සද්ද නැතිව හිටියා .
" ආයේ අපේ කවුරුහරි නැවැත්තුවොත් අහවලා අදුරනවා කියලා කියන්නකෝ මහත්තයා . කරන්න පුළුවන් උදවුවක් කරලා දෙයි . "
" හරි සර් . . තෑන්ක් යූ . .. "
" හැබැයි කෝකටත් ඔය වාං පතුල් ගලවලා විසිකරන්න . ලිස්සලා ගියොත් ආයේ නවතිනවා බොරු . මහත්තයාගේ හොදට කියන්නේ . . "
"හරි සර් . . මාරු කරගන්න ඕන . ."
ඔක්කෝම තේරුණත් අන්තිම ටික තමා තේරුණේ නැත්තේ . ඒ වෙලේ උඹේ හැසිරීමෙත් මම මහ අමුත්තක් දැක්කා . උඹ මං දිහා බලාගෙන හිටියා . උඹට ඒ වෙලේ තිබුණේ හරි අසරණ වෙච්ච මූණක් .
" පඩි ගන්නකං ඉවසපං බං . "
උඹ මට කිව්වේ අහිංසක විදියට හිනැහිලා .
සුපුරුදු විදියට දවස් කීපයක් ගතවුණා . ඒ අතරේ උඹට කිසි නිදහසක් තිබුණේ නෑ . උදේම යනවා රෑ වෙලා එනවා . ඒත් හැමදේම සල්ලි නෙමෙයි බං . ජීවිතේ විදින්නත් ඕන . මට උඹට කියන්නත් හිතුණා . ඒත් අපි අතරට මොකටද නැති ප්‍රශ්ණ . .
සෙනසුරාදාවක උදේ . උඹ උදේම නැගිටලා . ඒ මදිවට මාවත් ඇහැරෙව්වා . උදේ පාන්දර උඹව දැක්කම මට නිකං පිස්සු වගේ . ඩෙනිමට ගැලපෙන්න ලස්සන නිල්පාට ශර්ට් එකක් ඇදලා ලස්සන ශූස් දෙකක් දාලා හිටියා . ඇත්තටම ලස්සනයි . මගේ හිතට නිකං මොකද්ද වුණා . හිරිවැටිලා වගේ . සන්ග්ලාස් එකත් තිබ්බනම් ගති කියලා කියන්න හදනකොටම උඹ ආයේ ටක්ගාලා ගෙට දුවලා සන්ග්ලාස් අරගෙන ආවා . වෙලාවකට හිතෙනවා උඹට මගේ හිත කියවන්න පුළුවන්ද කියලත් . අනේ මන්දා . මට කියන්න ලැජ්ජා නෑ ඇත්තටම මගේ හිතත් උඹ ගැන ආදරයෙන් පිරිලා .
" පඩි වැටිලා බං . යමං ඉක්මනට . සෙනග පිරුණම මුකුත් කරගන්න වෙන්නේ නෑ . "
උඹ එහෙම කියනකොට මගේ හිතට එක එක ඒවා ආවා . මගේ හිතේ වල් කම මූණෙන් පෙනෙයි කියලා මම බිම බලාගෙන හිටියා . මට පුදුමත් හිතුණා උඹ ගැන . අනේ මන්දා . . ..
අපි ගියේ වෙලක් මැදින් . ඒ ගිහින් කෙලවරට වෙන්න අපි නැවතුනා . හරි ලස්සන පැත්ත . මම වෙල් යාය මැද්දෙන් එන ආදරණීය සුලගේ පහස වින්දා . .
" පාල අයියා . . "
" ආ මහත්තයා උදේම ඇවිත් ."
" ඔවු පාල අයියා . නැත්නං කට්ටියම පිරුණම වෙලා යනවනේ . ඒකයි . "
" මොනවද මහත්තයා කරන්නේ "
" ෆුල් සර්විස් . ඔන්න ඔය ඉලවු හතරත් ගලවලා විසිකරලා දාන්න . අලුතෙන් දාමු . යන දිහා නෙවෙයි යැවෙන්නේ . කම්බි මතුවෙන්නත් එන්නේ "
" හරි මහත්තයා . අලුතෙන් ආපු සුපිරි සෙට් එකක් තියෙනවා . ඉන්දියන් . කට්ටත් හොදයි . මෙහේ පාරවල් වලට ඔරොත්තු දෙනවා . වැඩි කාලයක් දිවුවහැකි ."
පාල කියාගෙන කියාගෙන ගියා . මාව ගැලවිලා මුල්ලකට විසිවෙලා යනකොට මම ඔහේ බලාගෙන හිටියා . මගේ හිතට හරි හිස්කමක් දැණුනා . උඹට ටිකක්වත් දුක හිතුන් නැත්ද . . . මම මගේ හිත තද කරලා අල්ලගත්තා . . .
- නිමි -
No comments:
Post a Comment
ඔබේ අදහස් දිරියක් මට . . .