Followers

Saturday, April 13, 2019

පියාපත් ලැබී 35

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට  මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



" ඔවු . . , මම ආදරෙයි . . . ඒත් , "

" ඒත් උඹ දන්නේ නෑ  ඒ කෙල්ල උඹට ආදරෙයි ද නැත්ද කියලා . එහෙම නේ . . ? ඒකනේ උඹේ ප්‍රශ්ණේ . .  "

" නෑ . . මම දන්නවා පාරමී මට ආදරෙයි කියලා . " නාරද බිම බලාගෙන කිව්වා . .

" මගුලයි . . උඹ කොහොමද දන්නේ . .? ඒ කෙල්ල උඹට කිව්වද මේ ටිකට . " අසිත ඇස් ලොකු කරගෙන නාරද දෙස බලාගෙන හිටියා .

" උඹට පිස්සුද බං . ඒ කෙල්ල එහෙම කියයිද . . .? "

" එහෙනම් උඹ කොහොමද කියන්නේ ඒ කෙල්ල උඹට LOVE  කියලා . "

" ඒක නොදැනෙන්න මම මී හරකෙක් නෙමෙයිනේ අසිත . ඒත් . ."

" ඇයි ඒත් , මොකද්ද ප්‍රශ්ණේ . .. "

"  මචං ඒ මගේ බොස්ගේ දුව . අනික බං මගේ ගෙදර තත්වේ ගැන හිතනකොට මට මොන LOVE ද බං . . "

" හ්ම් . .  "   අසිත සුසුමක් හෙලා නාරද දෙස බලා සිටියේය .

" මම අසරණයි අසිතයා . මට ඕන හැමදේකින්ම ඈත්වෙලා පැනලා යන්න . හැමෝටම හොරෙන් . . "

" මේක අහපං නාරද . මම ආදරයෙන් පැරදිච්ච කෙනෙක් . අපිට බෑ ලැබෙන දේ වෙනස් කරන්න . සමහරවිට මට හරි කෙනා හම්බෙලා නැතිව ඇති . මට හිතෙනවා කවදාහරි කොහේහරි තැනකදි මගේ ජීවිතෙත් වෙනස් වේවි කියලා . මචං පාරමී උඹේ කෙනා නම් ඒක සක්කරයා ආවත් වෙනස් වෙන්නේ නෑ . එහෙම නෙමෙයි නම් ඉතින් කරන්න දේකුත් නෑ . හැබැයි මට හිතෙනවා උඹ කිසිම දේකට කළබල නොවී ඉන්නවා නම් හොදයි . හැමදේම විසදෙයි . "

" මට තේරෙන්නේ නෑ අසිතයා මොනවා කරන්නද කියලා . මට හිතෙනවා හොදට තිබ්බ හැමදේම අවුල් වෙලා කියලා ."

" පාරමී නිසාද . . "

" නෑ එහෙම නෙමෙයි බං . . "

" එහෙනං . "  අසිත නාරද දෙස බලා හිනැහුනේය .

" උඹ මට හිනාවෙනවා නේද බං ."

" පිස්සුද යකෝ . මම උඹට හිනාවුණේ නෑ . හිනා ගියා . ." අසිත යලිත් හිනැහෙන්නට වුණා . .

" උඹට නම් විහිළු . "

" හරි හරි . . බය නැතුව ඉදපන් . මමත් ඉන්නවනේ බං උඹ එක්ක . දැං ඔය මනස්ගාත අතඇරලා ගෙදර ගිහින් නිදාගනින් . දැං දහයත් පහුවෙලා . "

" හ්ම් . . . "

" මේ මතක් කරලා උඹේ ඔය මගුලේ ෆෝන් එක චාජර් එකට ගහපන් . නැත්නං අපිටයි වදේ . " අසිත වාහනයට නගින ගමන් කීවේය .

"  මේ ඒක නෙමෙයි . උඹ කොහෙද මෙහෙ . "

" මම ද . . . "  පාරමී නාරදව සෙවූ බවක් කියනවා ද නැත්ද යන්න මදක් කල්පනා කලේය .

" මොකද බං . ."

" පාරමී උඹට කතා කරලා තිබ්බා . ෆෝන් එක වැඩ නෑ කියලා මට කෝල් කළා . මම එච්චර ගණන් ගත්තේ නෑ . උඹ ගෙදර ඇවිතුත් නැති නිසා මට පොඩි සැකයක් ආවා මොකක් හරි දෙයක් උඹලා දෙන්නා අතර වෙලා ඇති කියලා . "

" එහෙම දෙයක් වුණේ නෑ බං ." අසිත බිම බලා ගත්තා .

" හරි හරි . දැං ඒවායෙන් වැඩක් නෑ . පොඩ්ඩක් පාරමීව පැත්තක තියලා ජොබ් එක ගැන හිතපං දැං . මම යනවා . උදේට වරෙන් . "

" හරි අසිතයා .. ගුඩ් නයිට් මචං . . ."

" ස්වීට් ඩ්‍රීම්ස් . . . " අසිත නාරද දෙස බලා නක්කලයට සිනාසෙමින් යන්න ගියේය .
ඒ කියන්නේ පාරමී මාව හොයලා . වාහනයේ රැදි චාජරයට ෆෝන් එක අමුණන ගමන් නාරද සිතුවේය .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


වෛද්‍ය උපදෙස් වලට අනුව පියාට රාත්‍රියට බර ආහාර වේලක් නොදීමට පාරමී සැලකිලිමත් වූවාය . බේත් නිසියාකාරව ලබාදුන් ඇය පියාට නිදාගැනීමට ඉඩ සලසා ලයිට් ඕෆ් කර කාමරයෙන් පිටතට පැමිණියාය .

නාරද දැං ගෙදර ගිහින් ඇති . පාරමී සිතුවාය . මගේ හිතේ ඇත්තටම ආදරයක් පිරිලා නේද . . පාරමීට සිතුනා . ඒත් ඒ ආදරය මගේම කරගන්න පුළුවන් වෙයිද . . ? නාරද මට අකමැතියි ද . . ? මට ආදරේ කරයි ද . . .? ප්‍රශ්ණ කන්දරාවකින් හිත පිරිලා . හෙමින් හෙමින් ඉස්තෝප්පුවට පැමිණි පාරමී නාරදට ඇමතුමක් ගත්තාය . නමුත් ඔහුගේ දුරකතනය විසන්දිකොට තිබුණි . කිහිප විටක් ඇමතීමට උත්සාහ කළත් එය අසාර්තක විය .
පාරමී අසිත ඇමතුවේ එනිසායි .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


නාරද රිය තරමක් වේගයෙන් පදවාගෙන ගියේ ඉක්මනින් නිවසට යාමටයි . නුගේගොඩට කිට්ටුවනවිට නාරදගේ දුරකතනය නාදවණු ඇසුනි .
පාරමී නේද . . . නාරදගේ හිත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තේය . සෙමින් රිය පාරේ අයිනට කර නවතා නාරද ඇමතුම ගත්තේය .

" හෙලෝ .. ."  නාරද හිතේ තිගැස්ම සගවාගන්නට වෙරදැරුවේය .

" හෙලෝ . ." පාරමී තම හද ගැස්ම නාරදට ඇසේ යැයි බියෙන් පපුව තදින් තදකරගත්තාය .

" ආ ඇයි මිස් . මොකක් හරි හදිස්සියක්ද . .? " නාරද තම හැගීම් යටපත් කරගෙන කතා කලේය .
පාරමීගෙන් කිසිදු පිළිතුරක් නැත .

" හෙලෝ . . " නාරද නැවතත් විමසුවේය .

" නෑ මම නිකන් ගත්තේ . ගෙදර ගියාද බලන්න . අපි නිසා ගොඩාක් කරදර වෙනවානේ . " පාරමී බිත්තියකට වාරු වුණාය .

" ආ . . මම ඒත් හිතුවා මොකක් හරි උවමනාවක් වෙන්න ඇති කියලා . මේ යන ගමන් මිස් . . . "

" ඇයි මේ තරම් රෑවෙලා . තවම පාරෙද ඔයා ඉන්නේ . "

" හ්ම් . . . " නාරද අනෙක්පස හිද පැවසුවේය .

" මේතරම් රෑ වෙනකන් තනියෙන් ඇවිදින්න යන්නේ ඇයි . මහන්සිවෙලානේ ඉන්නේ . "

නාරද කිසිවක් නොකීවේය . මේ කෙල්ල හරියට කතාකරන්නේ මාව අයිතිකරගෙන වගේනේ . නාරදට සිතුණා ..

" සමාවෙන්න . . "  පාරමී මිමිණුවාය . සමහර විට පාරමීටත් එලෙසටම සිතුණා වියහැක .

" නෑ මිස් . එහෙම සමාව ගන්න දෙයක් නෑ . මිස් මගේ හොදටනේ කිව්වේ . " නාරදගේ හිත ගැස්සී තිබුණත් ඔහු එය පිටතට නොපෙන්නුවේය . කිසිදු සම්බන්ධයක් ඇති නොවන්නට නාරද වග බලාගන්න උත්සාහ කළේය .

" හ්ම් . . තාමත් ඔයා ඩ්‍රයිව් කරන ගමන් ද . . .? "

" නෑ මම වාහනය නවත්තගෙන ඉන්නේ .  "

" හ්ම් . . මම එහෙනම් තියන්නම් . තවත් පරක්කුවෙනවා ගෙදර යන්න . "

" නෑ මිස් . මට හදිස්සියක් නෑ . . "

" නෑ නෑ . දැං ගෙදර යන්න . පුළුවන්නම් මට එක පොඩි උදවුවක් කරන්න . "

" ඒ මොකද්ද මිස් . කරන්න පුළුවන් දෙයක් නම් අනිවාර්‍යෙන්ම කාරන්නම් . " නාරද සිනාසෙමින් කීවත් හිතේ ගැස්මක් තිබුණි .

" බැරි නෑ . ඔයාට පුළුවන් . ."

" හරි ඉස්සෙල්ලා කියන්නකෝ බලන්න ."

" මේ දුරස්කම ටිකක් හරි නැතිකරගන්න ඕන නාරද . මට මිස් කියන එක නවත්තන්න නාරද . ඒක මාව රිද්දනවා ගොඩාක් . ප්ලීස් . .  ඔයා එහෙම කරනවා නම් විතරක් මට ගෙදර ගිහින් කෝල් එකක් දෙන්න . බැරි නම් කෝල් එකක් ඕන නෑ . මම හිතාගන්නම් . පරිස්සමින් ගෙදර යන්න .  මම බලාගෙන ඉන්නම් . බුදු සරණයි . . !  "

නාරද කිසිවක් කීමට කලින් පාරමී දුරකතනය විසන්දි කළාය . ඔහුට කිසිවක් කරගැනීමට නොහැකි විය . මද වේලාවක් සිටි අයුරින්ම සිටි ඔහු රිය පනගන්වාගෙන නිවස දෙසට පැදෙවුවාය .



. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට . . .