" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
. . . විසිතුන්වෙනි කොටස . . .
" යමං ප්ලේන්ටියක් ගහලා එන්න. "
අසිතත් නාරදත් කිසිවිටක කම්පැනියෙන් පිළියෙල කර දෙනු ලබන තේ නොබීවෝය. එත් එහි කිසිදු වරදක් හෝ වෙනත් හේතුවක් නිසා නොව , කාර්යාලයේ පවතින පිඩනයෙන් මදක් මිදීමට මගක් කැන්ටිමට ඇවිද ගොස් ප්ලේන්ටියක් බී පැමිනෙත්දී දැනෙන නිසාය.
සිය වැඩකටයුතු හමාර කරන විට රාත්‍රි 7 ට ආසන්න විය. දසනායක මහතාට කතාකොට වාහනයට කුමක් කළ යුතුදැයි අසා එයද ඉවරයක් කර ගෙදර යා යුතුය. දුරකතනය ගෙන දසනායකගේ නොම්බරය සටහන්කර ඇමතුම ගත් නාරද එයට ප්‍රතිචාර දක්වනතුරු මදක් රැඳි සිටියේය. ෆෝන් එක උස්සන පාටක් නෑ වගේ. නාරද තමන්ටම කියාගත්තේය.
" හෙලෝ . . . " අනෙක් පසින් ඇසුනේ ගැහැණු කටහඬකි. මේ කටහඬේ අයිතිකරු කවරෙක් දැයි නාරද දනී. එකවරක් " හෙලෝ " කී පසු යලි වචනයක්වත් අනෙක් පසින් ඇසුනේ නැත. දැන් තමා ප්‍රතිචාර දක්වන තෙක් බලා ඉන්න බව නාරද දනී. නාරදගේ හිත ගැස්සුනි. කුමක්දෝ නුහුරු බියක් සිතට දැණුනි. නාරදට නොදැනුවත්ම දුරකතනය නාරද අතින් විසන්දි වන්නට ඇත. වැඩි වෙලාවක් ගතවුනේ නැත. තම දුරකතනය නාද වුණි. ඒ දසනායක මහතාගේ දුරකතනයෙන්ය. නාරද තම දුරකතනය ගෙන ඇමතුම සම්බන්ද කරගත්තේය.
" හෙලෝ . . . . " නාරද ඇමතුවේය.
" මම කතාකළ නිසාද ඔයා ෆෝන් එක කට් කලේ. " ඒ පාරමීය. ඇයට කුමක් කිවයුතු දැයි සිතාගත නොහැක.
" නෑ . . . මේ මම . . "
" ඉන්න මම තාත්තට දෙන්නම්. " පාරමී දුරකතනය ගෙන පියා සොයා ගියාය. ඔහු බැල්කනියට වී පත්තරයක් කියවමින් සිටියේය. දුරකතනය පියාට දීමට ප්‍රථමව නාරදගේ දුරකතන අංකය පාරමී තම දුරකතනයේ සටහන්කර ගත්තාය.
" තාත්තා . . "
" කියන්න පුතේ . ."
" මේ තාත්තට කෝල් එකක් . .
" කවුද පුතේ . . . "
" මිස්ටර් නාරද. පාරමී පැවසුවේය. ඇගේ හඬේහි ගැබ්ව තිබෙන හැඟිම තෝරාබේරා ගැනීමට දසනායක අපොහොසත් විය. දුරකතනය පියාට දුන් පාරමී තම කාමරය වෙත පියමැන්නාය.
ඇයි එයා මගේ කටහඬ අහන්නවත් කැමති නැතිවද. පාරමීගේ සිත දුකින් පිරී ගියේය. අඩුම තරමේ මගේ හිත හැදෙන්නවත් තාත්තට දෙන්න කියලාවත් කිව්වානම් මොකද ? තාත්තට හොරෙන් එයාගේ ෆෝන් නම්බර් එක මගේ ලඟ තියාගෙන මම කොයිතරම් වෙලා බලා උන්නද. ඇයි දෙයියනේ මේ මගේ හිතට මොනවා වෙලාද මට තේරෙන්නේ නෑ. නාරදව මට වෙලාවකට තේරුම් ගන්න බෑ. එයා හිතේ ගොඩාක් දේවල් පුරෝගෙන ඉන්නවා කියලා දැනෙනවා. සමහර විට ගොඩක් ප්‍රශ්න ඇති. පවු. ඇයි ඔයාගේ ඇස්දෙක ඔයතරමට අසිංසක පාරමී කොට්ටයේ මුහුණ ඔබාගත්තාය.
" ඔවු කියන්න නාරද . . "
" සර්. සර්ගේ වාහනයට මොකද කරන්නේ. "
" ආ නාරද ඒක අපේ ගෙදරට ගෙනත් දාන්න. නාරද මෙහේ තියෙන කාර් එක අරන්යන්න. "
" ඕකේ සර්. "
දැන් යලිත් දසනායක මහතාගේ නිවසට යායුතුව තිබේ. නාරද ෆයිල් ටික සකසා මේසය උඩ තැබුවේය. ගතටද සිතටද තෙහෙට්ටුය. නාරද තම කාමරයේ දොර වසා දමා තරප්පු පෙල දිගේ පහලට බැස්සේ අසිත හමුවෙන අදහසිනි. අසිතගේ කාමරයට යනවිට ඔහු කුමක් හෝ කියවමින් සිටියේය.
" ආ වරෙන් . . . ඉඳගනින් "
" ඉඳගන්න නෙමේ යන්නේ නැත්ද . . ? "
" යන්නත් ඕන බං. හිටහන්කෝ ටිකක්. "
"උඹ වැඩටික ඉවර කරන් වරෙන්. මම යන්නම් "
" කියන දේ අහලා ඉඳින්කෝ. මට උඹට කියන්න දෙයක් තියෙනවා. "
නාරද අසිත ඉදිරියේ අසුනකට බර වුනේය. අසිත පුටුවේ පස්සට ගොස් නාරද දෙස හොඳින් බැලුවේය.
" මට ඇත්තම කියපන් නාරද. උඹ පාරමී ගැන මොකද හිතන්නේ " අසිත ඇසුවේය.
" මම මොනවා හිතන්නද බං ඇයි උඹට පාරමී මිස් ගැන හිතක් පහල වෙලාද " නාරද අහක බලාගෙන කතා කළේය. අසිත දිගටම නාරද දෙස බලාගෙන සිටියේය.
" ඇයි අසිත කන්න වගේ බලාගෙන ඉන්නේ. "
" කන්න. කන්න නෙමේ උඹට . . . මම ඉතින් කිව්වා කියලා හිතාගනින්කෝ. "
නාරද හිනැහුනේය.
" ඇයි උඹට තද වුනේ. "
" තද වෙන්නේ නැද්ද. මේ අහපං නාරද. මම දැං කිව්වා කියලා මතක තියාගනින් උඹ හැමදාම උගුරට හොරා බේත් බොන්න බෑ. "
" මට තේරෙන්නේ නෑ අසිත උඹ මොනවා කියනවද කියලා. "
" ඔවු ඔවු උඹට තේරෙන්නේ නෑ. උඹ බබා. මට ඇත්ත කියපං උඹ ඒ කෙල්ලට කැමතියි නේද ? "
" අසියා උඹ දන්නවනේ මම මොනතරම් ප්‍රශ්ණ ගොඩක ද ඉන්නේ කියලා. එහෙව් මම උඹ ඔය කියන දේවල් හිත හිත ඉන්නවා කියලද හිතන්නේ. මට ආදරයක් ගැන දැන්ම හිතන්න පුළුවන් කමක් නෑ. "
" ඒ කියන්නේ උඹ කැමතියි. ප්‍රශ්ණ නිසා අකමැතියි. "
" පොඩ්ඩක් හිතපන් අසිතයා. උඹ මම ඔය කතාකරන්නේ අපි දෙන්නගෙම බොස්ගේ දුව ගැන. මේ බිත්තිවලටත් කන් තියෙනවා. අන්න ඒක මතක තියාගනින්. නිකන් හරි ඕවා කාගේහරි කණකට ගියොත් උඹත් ගෙදර , මාත් ගෙදර. අනික අන්තිම පාරටත් අහගනින්. මගේ හිතේ පාරමී මිස් ගැන එහෙම අදහසක් නෑ. "
" හරි හරි අපි දැන් ඔය කතාව නවත්තමු. ඒත් මේකත් කියලම නවත්තන්නම්. ඔතන මොකක් හරි දෙයක් බොහොම ඉක්මනින් වෙන පාටයි. "
" මළ විකාර. " නාරද කැබිනයෙන් පිටවුයේ තරහෙනි. හැමදෙයක්ම විහිළුවකට ගන්න එක මුගේ තියෙන ලොකුම අවුල. නාරද සිතුවේය.
" මස්සිනා. මම විහිළු කළා කියලා හිතන්න එපා. මේවා විහිළුවට කියන ඒවා නෙවෙයි. "අසිත නාරදට කෑගැසුවේ තවත් අවුස්සන අටියෙනි. අසිත නාරද පසුපස දිවගියේය.
" මොකද බං උඹේ අවුලක් නැත්නම් ඔච්චර ඕවට තරහාගන්නේ. "
" මේ අසිත මගුල් නැතුව වරෙන් ගමනක් යන්න. "
" කොහෙද ? "
" මිස්ටර් දසනායකලගේ ගෙදර "
" ඒ මොන ඉලව්වකට ද මේ රෑ ජාමේ එහෙ යන්නේ. උඹ පාරමීව බලන්න යන්න ද හදන්නේ මාවත් එකතුකරගෙනද ? අනේ මහත්තයෝ මට බෑ. "
" මේ මේ උඹේ කාර් එක තියලා නැගපන් මේකට. මට තනියෙන් යන්න බෑ. මේක දිලා එමු බං. මම උඹව ගෙදරට දාන්නම්. "
" අඩෝ උඹ මාර කපටියා. කොහොම හරි කෙල්ලව බලන්න යන්න පොටක් පාද ගන්නවා. නේද ? " අසිතද වාහනයට ගොඩ වුනේය.
" මගුල . . . අර සිරිපාලයව ඉක්මනට ගෙන්නුවේ නැත්නම් මට ඩ්‍රයිවින් ජොබ් එකත් භාරගන්න වෙනවා. "
" මේ නමටත් බෙදන්න කිව්වලු. ඔය පනින්නේ අයිඩියාස්. මම හෙටම සිරිපාලට කෝල් එකක් අරන් උඹේ නිවාඩුටිකක් අරගෙන තව පහුවෙලාම එන්න කියන්නම්. " නාරදගේ රතු කට්ට පැන හමාරය. අසිත තව තවත් නාරදව බයිටට ගනී.
" මමත් කරපු ගොන් කමක් උඹව මේගමන අරන් ඇවිත්. " අසිත තවත් සිනාසෙයි.
" ඔවු එතකොට උඹට පුළුවන්නේ තනියම කෙල්ලට ඇහැ දාගෙන ඉන්න. අඩෝ මට උඹලව චාටර් උනේ නැත්නම් උඹ කොහොමත් මේ ගමන මාව ගෙනියන්නේ නෑ තමයි. " නාරදට උන්හිටි තැන් නැත.
" අනේ මචං ඕක නවත්තපං. ප්ලීස්. "
" හරි හරි " අසිත විහිළු කරන එක නවතා දැමුවද සැරෙන් සැරේ නාරද දෙස බලා සරදමට සිනාසුනේය. වාහනය ගේට්ටුව ලඟ නතර කොට හෝන් එක නාදකොට ටික වෙලාවකින් ගෙදර මෙහෙකාරිය පැමිණ ගේට්ටුව හැරියාය. වාහනය නිවස ඉදිරියේ නතර කළ නාරද තමාට රැගෙනයාමට කියු කාරය වෙත පියමැන්නේය.
" ඉන්න මහත්තයලා මම ලොකු සර්ට එන්න කියන්නම්. "
" නෑ දැං කතාකරලා කරදර කරන්න එපා අපි වාහනේ දාලා යන්න ආවේ . . " නාරද පැවසුවේය.
" ආ එන්න අසිත ඇතුලටම. එන්න නාරද වාඩිවෙන්න. " එවිටම දසනායක ගෙතුළින් විත් කතාකළේය. දෙදෙනාම ඉස්තෝප්පුවේ අසුන් දෙකකට බර වුනෝය.
" මේරි අම්මා අපිට බොන්න දෙයක් ගේන්නකෝ. මොනවා හරි බොමු. දසනායක මාරුවෙන් මාරුවට බල බල කීවේය.
" නෑ සර්. දැන් නම් ඕනත් නෑ . . . "
" මම හිතුවේ නෑ අසිතත් ඒවි කියලා "
" නාරදට තනියෙන් එන්න බෑ කියලා මාවත් ඇදගෙන ආවා මිස්ටර් දසනායක. "
" ම් . . ඇයි නාරදට තනිකන්දෝසේද "
ඒක තමයි මිස්ට දසනායක මාත් මේ එනකන් අහා අහා ආවේ. පහුගිය ටිකේ මොකකට හරි බයවුණාවත්ද කියලා " අසිත ඇඟට නොදැනි දෙපැත්ත කැපෙන වචනයකින් ගැලපුවේය.
" ආ බොන්න . . . " මේරි අම්මා තේ දෙකක් රැගෙනවිත් තිබුණාය. තේ පිලිගැන්වු ඇය යලිත් ගෙතුළට ගියාය.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
මාපට ඇඟිල්ල කටේ ගසාගෙන කොට්ටයත් තුරුළුකරගෙන සිටි පාරමීට අද නින්දක් පේනතෙක් මානයක නැත. කල්පනා කළ දෙයක්ද නැත. එහෙට මෙහෙට පෙරලි පෙරලී සිටි පාරමී. තම යෙහෙලියට ඇමතුමක් ගැනීමට සිතුවාය.
" හෙලෝ . . "
" ආ මම හිතුවා උඹට මාව අමතකම වෙලා ඇති කියලා. "
" උඹට මතක තිබ්බානම් කෝල් එකක් දෙන්න එපෑ. මම ගන්නකන්ම උන්නේ. මම හිතුවේ උඹට අමතකවෙලා කියලා. "
" හරි හරි. අපි ඕක නවත්තමු. මොනවද විස්තර. තාත්තා එදා පරක්කු වුණා කියලා බැන්නේ නෑ නේද . . "
" නෑ බැන්නේ නම් නෑ "
" උඹ මොකද්ද කටේ තියාගෙන කතාකරන්නේ. කියපං මොකද්ද ප්‍රශ්නේ. "
" ප්‍රශ්නයක්මත් නෙමෙයි. "
" එහෙනම් . . . "
පාරමී යාළුවට වාරියපොලින් පිටවු තැන සිට මේ දක්වා සියලුම තතු එකිනෙක දිගහැරීයාය. "
" ඒ කියන්නේ එදා ඇවිත් තියෙන්නේ ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයිද. "
" නෑ බං නෑ. "
" දෙයියනේ මම ඌට කියපුවා. කවුද බං හිතන්නේ ඌ මැනේජර් කාරයෙක් කියලා. "
" එදා අපි එයාට සලකපු විදිය මතක් වෙද්දිත් මට දුක හිතෙනවා බං. පවූ. "
" හ්ම් ඇත්තට . . . ඉතින් එහෙනම් උඹ කතා කරලා සමාවගන්නෙපෑ. "
" ඔවු මම ගත්තා. "
" ඈ . . . "
පාරමී ඉන්පසු සිදුවූ සියල්ල ඇයට කීවාය.
" මට පේන විදියට උඹ ඌට ලව් නේද ? " පාරමී කිසිවක් නොකීවාය.
" ඇත්ත කියපං කෙල්ලේ . . "
" මම දන්නේ නෑ බං. මට තේරෙන්නේ නෑ. "
" හ්ම් හ්ම් කෙල්ල ගිහින් තියෙන දුර. "
" කවුරු හරි ඇවිත්. මම උඹට ගන්නම්. "
පාරමී දුරකතනය විසන්දිකොට බැල්කනියට ගොස් බැලුවාය. තාත්තගේ වාහනය මිදුලේ නවතා ඇත. ශුවර් එකටම නාරද වාහනය දෙන්න පැමිණෙන්නට ඇත. ක්ෂනිකව තරප්පුපෙල දිගේ පහලට දුව ගියාය. තව පොඩ්ඩෙන් පඩිපෙලේ ඉහලට නගින මේරි අම්මාගේ ඇඟේ හැපී දෙදෙනාම බිමට රෝල්වී යනු ඇත.
" කොහෙද පුංචි බේබි මේ දුවන්නේ. " මේරි අම්මා ඇසුවාය.
" වතුර බොන්න යනවා . . " පාරමී පැවසුවාය.
" ඇයි පුංචි බේබි අර ඇඳ ලඟ තියලා තීයෙන්නේ වතුර ජෝගුවක්ම. "
" ඒකේ වතුර නෑ මේරි අම්මේ . . . " කියමින් පාරමී පහලට දුවගියාය.
වතුර බොන්න යයි කීයු නිසාවෙන් කුස්සිය දෙසට ගිය පාරමී වතුර වීදුරුවක් , පුරවා ගත්තාය. ඉන්පසු සාලය දෙසට ඇස දැම්මාය. සාලයේ කිසිවකු පෙනෙන්නට නැත.
" කට්ටිය මිදුලට ගියා " මේරි අම්මා පාරමීගේ පසුපසට විත් පැවසුවාය. පාරමී තිගැස්සුනි.
" ඉතින් මට මොකද . . . ? "
" මට මොකද කියන්නේ. බේබි ඔළුව දදා කාවද හොයන නිසයි කීව්වේ. " මේරි අම්මා සිනාසී කුස්සියට ගියාය.
" මේයාටත් ඕන නැති දෙයක් නෑ . . " පාරමී මේරි අම්මට කීව්වාය. සෙමෙන් සෙමෙන් සාලය දෙසට ගිය පාරමී තාත්තාත් අසිතත් කතාකර කර සිටිනු දුටුවාය. නාරද ඇවිත් නැත්ද. පාරමී විමසිලිමත් වුවාය.
" පුංචි බේබිව උස්සන් ආ මහත්තයා අනිත් කාර් එක ගාව. " මේරි අම්මා යලිත් පැමිණ හොරෙන් කියා මහා හයියෙන් හිනැහුනාය.
" කෑගහන්න එපා මෝඩීයේ " පාරමී මේරි අම්මාගේ කට ඇගේ අතින් වැසුවාය. අනෙක් අයට එය ඇසෙන්නට ඇත.
" පොඩී දූ . . . " තාත්තා කතාකළේය.
" ඕ . . . " පාරමී කට බෙරි කරගත්තේය.
" මොකද පුතේ කෑගහන්නේ "
" මේ මේරි අම්මට පිස්සු තාත්තේ " පාරමී ලැජ්ජාවෙන් අසිත දෙස බැලුවාය.
" මේ ළමයට මොනවා වෙලාද මන්දා. " දසනායක සෙමෙන් කීවේය.
" අසිතද පෙරලා සිනාසුනා මිස කිසිවක් කීමට නොගියේය. " නමුත් ඒ සිනාවේ මම නම් පාරමීට මොකද වෙලා තියෙන්නේ කියලා දන්නවා යැයි හොඳින් බැලු කෙනෙකුට කියවාගත හැකිවනු ඇත.
" අසිත, කාර් එකේ වතුර යනවා වගේ. වතුර ටිකක් දාගත්තොත් හොඳයි. නාරද කාරයේ හැරතිබූ බොනට්ටුව අල්ලාගෙනම පැවසුවේය.
" මේරි අම්මේ අර බෝතලයකට වතුර එකක් අරන් එන්න. " දසනායක පැවසුවේය.
" ඇයි තාත්තා ඔතන ටැප් එක නේද. හෝස් එකත් ගහලා ඇත්තේ. " පාරමී කියූවාය. අසිත ඒ දෙසට යන්න වූයෙන් පාරමීද ඔහු සමඟ සෙමෙන් කාටත් නොදැනෙන්න පියනැගුවාය.
" කපටි කෙල්ල . . " දසනායකටත් අසිතටත් එකවර සිතුනා විය හැක. දසනායක ඔවුන් දෙස බලා සිටියා මිස ඒ අතරට යාමට නොසිතුවේය.
" මොනවද මිස්ටර් අසිත ඉල්ලගන්න එපෑ හොඳ වාහනයක් තාත්තිගෙන්. මේ කබලක් උස්සන් දුවන්නේ. " පාරමී තාත්තා දෙස බලමින් අසිත ගෙන් ඇසුවේය.
" අනේ මේ මට නෙවේ මිස්. මේක දීලා තියෙන්නේ අපේ නාරද මහත්තයටනේ "
" අපෝ එහෙමද එහෙනන් මේකත් වැඩියි. මීට වඩා හෙමින් යන්න පුළුවන් එකක් හොයලා දෙන්න. මොකද මෙයාගේ ගමන උඩින්නේ. "
නාරද හිස නොඋස්සා වාහනයට වතුර දමමින් සිටියේය. අසිතද සිනාසෙමින් සිටියේය. දසනායක මහතා පෙනෙන්නට නැත.
" ඒකනම් හරී මිස් වාහනේ වේගෙන් යන එක වගේම හෙමින් යන එකෙත් වාසි තියනවා. කොහේද අපේ මෝඩයට ඒවා තේරෙන්නේ නෑනේ. " අසිත ඇඟට පතට නොදැනී කීවේය. පාරමී බිම බලාගෙන සිනාසුනා මිස කිසිවක් නොකීවාය. අසිත සමග කතන්දර කීමට ගොස් වැඩ වරදාගත යුතුව නැත. එනිසා ප්‍රවේශම් වීම නුවනට හුරුය.
" හැබැයි පාරමී මිස් මූ කොයිවෙලේක හරී අර මෝටර්ක්‍රොස්වල වගේ හයිජම්ප් එකක් දාන්න බැරි නෑ. " අසිත යලිත් හිනැහෙමි කීවේය. නාරද බොනට්ටුව තදකර වසා අසිත දෙස ඔරවමින් බැලුවේය. අසිත සැනෙන් අහක බලාගත්තේය. පාරමී දිගින් දිගටම හිනැහුනාය.
" හරි හරි අපි යමු. " නාරද අසිතට කීවේය.
" ආ මෙයාට මාර හදිසියක්නේ තියෙන්නේ. පාරමී නාරද දෙස බැලුවාය. "
" ඒක නේන්නම් මිස් පාරමී. මෙහෙමයි අපේ නාරදට ඕනම දේවල් වලදී කිසිම හදිසියක් නෑනේ. නිකමට බලන්න අපේ අර ඔෆිස් එකේ " කමනි " මොනතරම් ලස්සන කෙල්ලෙක්ද. එඩියුකේටඩ් ආ . . . මූට පණ ඇරලා ලව්. ඒත් මෙයාට කිසිම හදිස්සියක් නෑනේ. චික් අපරාදෙනේ නේද ? "
පාරමීගේ මුහුණ මැලවීයනු අසිත මෙන්ම නාරදද දුටුවේය.
" හැබැයි ලඟදීම නම් අපිට කේක් කෑල්ලක් කන්න බැරිවෙන එකක් නෑ. එහෙම ලකුණු පහල වෙමින් තියෙන්නේ. "
පාරමී බිම බලාගත්තාය. පාරමීගේ සිත කුමක්දෝ වේදනාවකින් පිච්චීගියාක් මෙන් දැනෙයි. නාරද පාරමී දෙස බලුවේය. අසිත ඇසක් ඉඟිමරා හොරෙන් හිනැහුනේය. නාරද එරෙව්වා මිස කිසිවක් නොකිව්වේය.
. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
No comments:
Post a Comment
ඔබේ අදහස් දිරියක් මට . . .