Followers

Wednesday, May 11, 2016

වැටෙන් එහා . . .

          මේක මම කාටවත් කියනවා තියා මතක් කරන්නවත් කැමති නැති කතාවක්. ඒත් මම මේක මෙහෙමවත් නොකිව්වොත් ඒක මගෙ උන්දෑගෙ ආත්මෙ යන්තමින් හරි නිදහස් කරන්න තියෙන අවස්තාව නැතිකරගත්තා වගේ වෙන නිසයි මේ විදියට කියන්න පටන් ගත්තේ.

ඒක හරි ලස්සන දවසක්. මම අපේ පවුලේ කට්ටියත් එක්ක ඔයට බැහැල හිතේ හැටියට නාමිනුයි හිටියේ. වස්සාන කාලෙත් නිසා ඔය පිටාර යනතරමට වතුරත් ටිකක් වැඩි වෙලා. හිතේ හැටියට වතුරේ එහා මෙහා පීනුවා හැර ටිකෙන් ටික මාව වතුරෙන් ඈතට යනවග නිච්චියක් වුනේ නෑ. අප්පච්චියි අම්මයි මම එකම කෙල්ල නිසාත් ටිකක් හැඩකාර නිසාත් ඇස් මට්ටමේ කොයි වෙලාවෙත් තියාගත්තත්, උන්දෑලගේ නිච්චියත් ඒවෙලේ මගේ දඟ මල්ලියා ගාව තිබුණා වෙන්න ඔනේ. එක පාරටම වගේ මට දැනුනා මගේ එක කකුලක් ටික ටික වලකට යනවා. එක පාරට කකුල ගන්නවත් එතනින් එහාට වෙන්නවත් මට බැරිවුණා. අඩුම තරමේ උදවු ඉල්ලලා කෑගහන්නවත් මට නිච්චියක් උනේ නෑ. මාව යටටම ගියා.

එක පාරටම මට දැණුනා කවුදෝ මගේ අතකින් ඇදලා ගන්නවා. මමත් ජාතියක් ජම්මයක් නොහොයා දනි පනි ගාලා වලෙන් මෑත් වෙලා ඒ හැඩි දැඩි ඇඟට වාරුවුණා. එදා තමයි ඉස්සෙල්ලාම අපේ ඇස් කතාකලේ. මම හොඳින් කියලා තේරුම් අරගෙන වගේ එයා මා දිහා ටික වේලාවක් බලාගෙන ඉඳලා ඔලුව හොල්ලලා යන්න ගියා. එවේලේ එක වචනයක්වත් මගේ කටට ආවේ නැත්තේ ඇයි කියන්න මම දන්නේ නෑ. ඒත් එයා ඈතට යන දිහා මම ඔහේ බලාගෙන උන්නා. ඒ මොන හැඟීමකින්ද කියන්න මට අදටත් තේරුම් බේරුම් කරගන්න අමාරුයි. 

අපේ  අප්පච්චිලා ලඟටම එනවා මට යන්තමින් වත් දැනුනේ නෑ.

"මොකද ළමයෝ තක්බීරි වෙලා වගේ ඉන්නේ. මොකද උනේ . . . ." අප්පච්චි ඇහුවා.

"මාව ගිලෙන්න ගියා . . ." මම කිව්වා.

"කොහේද මේලෝකෙ සිහියකින් නෙමෙයි නේ ඉන්නේ. . ." 

අම්මාත් අප්පච්චිත් මොන මොනවදෝ කියනු ඇසුනත් ඒ කිසිවකට ඇහුන්කම් දීමට තරම් හිතක් මගේ ලඟ තිබුණේ නෑ. මම හෙමින් හෙමින් ගොඩට ගියා.

දවසක් ගෙවුණා, දෙකක් ගෙවුණා, සතියක් ගෙවුණා... කල්පයක් වගේ දැනුනා. ඒ හැඩිදැඩි රුව, කතාකරන ඇස් මගෙ ඇස් මානයට ආවේ නෑ. ඒත් ඒ දැනුන සුවඳ එදාවගේම මට ලඟ ලඟම දැනුනා. ඒ කල්පනාවත් එක්කම දවස ගෙවපු මට වෙලාවක් අවේලාවක් දැනුනේ නෑ. රූස්ස ගහකොල අතරේ එහෙ මෙහෙ ඔහේ යන්නයි හිත් වුණේ. ඔය විදියට ඇවිදගෙන යන මට දවසක් එකපාරටම හරි ලස්සන, තේජස් වගේම ගැඹුරු කටහඬක් මාව වෙලාගත්ත කියලා මගේ දෙසවන මට තට්ටුකරලා කිව්වා. 

"කොහේද යන්නේ . . . ?" එයා තවටිකක් ලංවෙලා ආයෙමත් ඇහුවා.

"කොහෙවත් නෑ . . ." මම බිම බලාගත්තා.

ටිකකින් මට දැණුනා අපේ අතැඟිලි අපිටත් නොදැනීම අපිටත් හොරෙන් පටලැවෙනවා. විරුද්දත්වයක් පෙන්නන්න හිත කිව්වත් තව තවත් දැවටෙනවා මිස ඒ මුකුත් කරගන්න වාරු නැතිවුණා. අපි එහෙම්මම තව තවත් තුරුළුවෙලා උන්නා. ඔන්න ඔහොමයි අපේ ජීවිත කතාව පටන්ගත්තේ.

මගේ දෙමවුපියන්ටත් ඒ හැටි අමනාප වෙන්න කියලා දෙයක් තිබුනේ නෑ. ඉතින් අපි ඉක්මන්ටම අපේ වුණා.

ඔය විදියට ජීවිතේ මුල්කාලේ ගෙවද්දි තමයි අපේ පුන්චි එකා බඩට ආවේ. එයාගෙන් ලැබුණු ආදරේ වැඩිවුණා කියලා මට හිතුණා. මම කනවද, බොනවද, හොඳින්ද, දුකෙන්ද, සනීපෙන්ද නැත්නම් අසනීපයක්ද ඔය හැම දෙයක්ම හෙව්වා බැළුවා. ඔය ආදරෙත් එක්ක අපේ පැටික්කි මේ ලෝකේ එළිය දැක්කා. ඔය අස්සේ හරි කලබැගෑනියක් සිද්දවෙමිනුයි තිබ්බේ.
 කොහෙන් ගෙනා නීතියක්ද, කවුරු හොයාගත්ත පොතක් පෙරලලාද මන්දා අපිට සින්නක්කර අයිතියක් තිබුණු අපේ ගෙවල් දොරවල් අනවසර ඉදිකිරීම් වුණා. කාට කියන්නද දෙයියනේ... මේ අසික්කිතයින්ගේ සංවර්ධනය කියලා අපි මැරෙන්නද. මෙහෙම කියන්නේ උන්ගේ ඔය සංවර්ධනයට ඉරිසියාවේ එහෙම නොවෙයි. තවකෙනෙක්ගේ දියුණුවට කෙනෙක් දෙයක් කැප කරනවා. ඒක හරි. යුතුකමක් ඉටු කළා හා සමානයි. ඒත් එහෙමයි කියලා උන්ට වැජඹෙන්න අපිව මරාදාල හරියන්නේ නෑ නෙවැ. අපේ කීපදෙනෙක්ටම ඒ වෙනකොටත් වියයුත්ත මොකද්ද කියලා තීරනය වෙලයි තිබුනේ.

අපේ එක්කෙනත් මේ දේවල් දිහා බොහොම කේන්තියෙන් බලාගෙන උන්නේ. ඒත් පොඩි එකී ගැන හිතලා ඒකිවයි මාවයි රැකගන්න තැනුවා මිසක් උන්දෑ ඉක්මන් වෙන්න ගියේ නෑ. ඒත් දවසක් මගේ පොඩි එකී උන්ගේ වැට පැත්තට ගිහින්. අපිටත් ඒ හැටි නිච්චියක් උනේ නෑ. අම්මේ කියනවා ඇහිලා දුවගෙන යද්දී ඒකි වැට ලඟ වැටිලා උන්නා. ඒත් ටිකවෙලාවක් යද්දී අපි තට්ටු කර කර කෑමොර දෙද්දී ඒකිට සිහිය ආවා. එවෙලේ නම් අපේ උන්දැට බොහොම කේන්තිගියා.

මේ කාලකන්නි අපිව එලෝලා දැම්මා. අපේ උන්ව මරලා දැම්මා. දැං ඒ මදිවට අපේ ඉඩං උඩම උන්ගේ මායිම් දාලා. උන්දැ කේන්තියෙන් එතන තිබ්බ මායිම් කනුවකට පයින් ඇන්නා. ආයෙමත් ඇන්නා. "යකෝ තොපි දැනගනියවු, මේවා අපේ අත්තලා මුත්තලාගෙන් දායාද වෙච්ච බිම් යකෝ. තොපිට අමු කැවිලද අපිට මේ සන්හදිය කරන්න යන්නේ. " උන්දෑ වියරුවෙන් කෑගැහුවා.මම ටිකකින් දැක්කා එයාගේ හම කම්බි වලට පිච්චිලා ගැලවිලා ගිහින්. ඒත් එයාට ඒවායේ රිදීම, සීරීමකටවත් දැනුනාය කියන්න බැරිතරම් අවේගයකින් දැවෙමිනුයි උන්නේ. මම කෑගහුවා අපි යමු මෙතනින් කියලා. ඒත් . . . එකපාරටම ලොකු දුමක් එක්ක සද්දයක් ආවා. මම දැක්කේ එයා මා දිහා අහින්සක විදියට බලනවා. එයාගෙන් පිටවුනේ "දුවන්න රත්තරනේ කියන වච්චන ටික විතරයි. එයාව කම්බි වැට උඩටම දඩාස් ගාලා ඇදගෙන වැටුනා. නලලින් පටන්ගත්ත ලේ කැටිති සාප කරගෙනම බිමට වැටුනා. ලේ විලක් මැද ඔයා පනගැටගහගන්න වෙරගන්නවා දැක්කම මගේ ජීවිතයම කෙලවර වුණා. අනේ රත්තරනේ මට ඔයා වෙනුවෙන් මුකුත් කරගන්න බැරිවුණා නේද? ඒත් මම අපේ පොඩි එකීව තුරුල් කරගෙන ඔයා වෙනුවෙන් ඔයා කියපු වචනේ අදහනවා. මගේ ජීවිතේට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ අපේ පොඩි එකී වෙනුවෙන් ඒකිව බේරගන්න උන්ගෙන් ඈතට දුවන එක. ඒත් කවදාහරි අපිටත් මොකකින් මොකක් වෙයිද කියන්න උඩ ඉන්න දෙයියොවත් හරියට දන්නවද කියන්න හරි හැටි හිතාගන්න බෑ.

ඒත් කවදාහරි ඔය ආත්මෙට සැනසීමක් ලැබෙන්නේ අපේ එවුන්ට ජීවත් වෙන්න අයිතියක්, නිදහසක් ලැබිච්ච දාටයි කියන එක මම හොඳටම දන්නවා. ඒත් ඒ අදද හෙටද නැත්නම් කවදාද කියන්න ගනින්න මගේ ඇඟිලි ටික මදිවේවි. මේ කන් වලට දෝංකාර දෙන ඔයාගේ ගාම්භීර කටහඬට මම මගේ කෙල්ලවත් තුරුළුකරන් මුමුනනවා අපි වැරදි නෑ රත්තරනේ කියලා. ඒත් කාටවත් නෑහෙන්න කඳුළුත් එක්ක , හිතින් . . . 

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට . . .