Followers

Thursday, October 6, 2016

වලවුකාරයෝ . . .

බොහෝම ඉස්සර දවසක මාව කැන්දලියද්ද වලවුවට එක්කගෙන එනවා මට අද වගේම මතකයි. ඒ බොහොම පුංචි සන්දියේ. ඒත් මාව අරං ආවේ කොහේ ඉඳලද කියන එක අදටත් මට හරි හැටි නිච්චියක් නෑ. කොහොම වෙතත් එදා ඉඳලා කැන්දලියද්ද වලවුව මගෙත් ගෙදර වුණා.

වලවු පැලැන්තියේ වංශක්කාරයෝ ගැන මට ඒ කාලේ ඒහැටි තේරුමක් තිබුනේ නෑ. ඒත් වලවුවේ හැදෙන වැඩෙනකොට මමත් ඉබේටම වලවුකාරයෙක් වුණාදෝයි හිතුන වෙලාවල් නොතිබුණාමත් නෙමෙයි. සමහරු මම දිහා බැලුවෙත් මට සැලකුවෙත් වලවුකාරයෙක්ට හා සමානවමයි.

මට හිටපු හොඳම යාළුවට හැමෝම වගේ කිව්වේ, කතාකරේ පුංචි හාමු කියලයි. ඒත් බංඩාරයි මමයි අතරේ කවදාවත්ම උස් පහත්කමක් තිබුනේ වත් දැනුනේ වත් නෑ.

අපි දෙන්නම එදා හති වැටෙනකන් සෙල්ලම් කළා. දන්නේම නැතුව අපි එහා වත්තටත් පැනලා. ඒ වෙලාවේ නම් අපිට නිකන්වත් ගිරිගෝරිස් මාමව මතකයට ආවේ නෑ.

"මොකද මොකද ඔය කොරාන්නේ පුංචි හාමු" ගිරිගෝරිස් මාමා ඇහුවේ ටිකක් තදින්.

අපි දෙන්නටම නොතේරී මාමගේ කොරටුව සම්පූර්ණයෙන්ම වගේ විනාස වෙලා. ඒක දැක්කම මට නම් ගොඩාක් බය හිතුණා. මට හිතුණා පුංචි හාමුගේ ඇඟත් හීතල්වෙලා යන්නැති එවෙලේ. මගේ පපුවේ ගැස්මත් එළියටත් ඇහෙන්නා වගේ තිබුණා.

"හා යන්නයි කිව්වේ දෙන්නම ආපහු වලවුවට. " ගිරිගෝරිස් මාමා රවාගෙන උන්නා.

මාමා ඒ වචන ටික කිව්වෙ තරහින් බව අපි දෙන්නටම හොඳටම තේරුණා. අපි දෙන්නම පස්ස බලන්නේ නැතුව වලවුවට දිවුවා. ගිරිගෝරිස් මාමාගේ ගොරක මද වගේ දිලිහුණු ඇස් ගෙඩි දෙක ඒ හතරැස් මූණත් එක්ක අපි පස්සෙන්ම එනවා වගේ දැණුනා. අපි දෙන්නම බයේ උන්නේ ගෙදරින් අපිට කෝටු පාර කන්න වෙයි කියලා. ඒත් මාමා ඒ කිසි වගක් වලවුවේ කාටවත්ම කියලා තිවුනේ නෑ.

ඔහොම ටික කාලයක් ගෙවුණා. බංඩාරගේ ඉගෙණුමට කියලා ටවුමේ ලොකු ඉස්කෝලෙකට ගියා. ගිහිං නැවතුණා එහෙම. මම මෙහෙ තනිවුණා. මුලදි මුලදි මගේ හිතටත් සාංකාවක් වගේ දැණුනා. අම්මපා මම කීප දොහක්ම කටහරියකට මෙලෝ දෙයක් ගත්තෙත් නෑ. කිසි පිරියක් තිබ්බෙ නෑ. ඒත් ටික කාලයක් යනකොට මම ඒ දැණුන තනිකමට හුරුවුණා. අවුරුදු ගානක් යනකන් මම බංඩාරව දැක්කේ නෑ. ඒත් හදිස්සියේම දවසක් බංඩාරට වලවුවට එන්න සිද්දවුණා. ඒ ලොකු අප්පොගේ මරනෙට. එදා මම හොඳටම ඇඬුවා. මම දැක්කා බංඩාර එහෙන් මෙහෙන් යනකොට එයාගේ ඇස්වලත් කඳුලු පුරෝලා තිබුණා.

බංඩාර අඳුරගන්න බැරි තරමට වෙනස් වෙලා උන්නා. ලොකු ඉලංදාරියෙක් වෙලා. මම බලං උන්නා නිකමට හරි බංඩාර මාත් එක්ක කතාකරයි කියලා. මගේ පොඩි කාලේ යාළුවා. ඒත් නිකමට එක වචනයක් වත් මාත් එක්ක කතා කරන්න ආවේ නෑ. බංඩාරටත් මාව අමතකයි එහෙනම්. මට ඉබේටම සුසුමක් හෙලුණා. සමහර විට මට ඕනවුණා වෙන්න ඕනෙ ඒ වෙලාවෙ හැටියට දුක බෙදාගන්න. ඒත් අවසන් කටයුතු කළ දාට පහුවෙනිදා උදේම බංඩාර ආපහු කොළඹ ගිහින් තිබුණා.

සතියකට විතර පස්සේ කට්ටියක් ආවා අපේ වලවුවට. ඒ අය වලවුවට හිතෙන හිතෙන දේවල් කළා. තීන්ත ගෑවා, වත්ත හැදුවා. අනේ මංදා සමහර දේවල් නම් මහා විපරියාස. මගේ පරන බක්කි කරත්තය උස්සං ගිහින් මුං ටික තිබ්බේ  ඉස්තෝප්පුවේ. අයිංකරලා තිබුණු රෝදෙකුත් ගෙනිහිං සාලෙං තිබ්බා. වෙලාවකට හිනහත් යනවා. අන්තිමේට වලවුවේ ඉතුරුවුණේ මම විතරයි. පස්සෙයි දන්නේ, බංඩාර ලොකු අප්පොගේ මිනියේ උනුහුම යන්නත් කලියෙන්ම වලවුව කාටදෝ විකුණලාය කියලා.

මට යන්න වෙන තැනක් තිබුණේ නෑ. මම ඔහේ කරබාගෙන උන්නු තැනම ලගින්න හිත හදාගත්තා. දැනුයි මට තේරෙන්නේ වලවුවේ උන්නට මම වලවුකාරයෙක් නොවන වග. දැං ඉඳලා හිටලාවත් කාටහරි මාව මතක් වෙනවනම් ඒ කාගේ හරි මගුලක් තියෙන දාට බක්කි කරත්තෙ ඇදගෙන යන්නයි.

ඒත් ඉඳලා හිටලා හවහට ගිරිගෝරිස් මාමා යංතං මොනවාහරි තොලගාගෙන ඇවිත් මගේ ඔලුව අතගගා මොනවදෝ කියලා යනවා. උන්දැත් දැං හරි වයසයි. උන්දැ කියන ඒවා මට තේරෙන්නේ නෑ. හැබැයි ඒ හැම වෙලාවකම උන්දැගේ ඇහෙත් අගට වෙන්න යන්තං තෙතමනයක් තිවුණා මම දැක්කා. සමහරවිට උන්දැත් මං වගේම මේ කැන්දලියද්ද වලවුවත් එක්ක මොකක්දෝ කියාගන්න බැරි බැඳීමකින් බැඳිලා ඇති.

1 comment:

  1. දිගටම ලියන්න, කියවන්න රස විඳින්න අපි එනවා.

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට . . .