Followers

Wednesday, March 27, 2019

පියාපත් ලැබී . . . 27


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිහත්වැනි කොටස . . .


" හරිම මහන්සියි මේරි අම්මේ . තාත්තා පවු . " පාරමී කල්පනා කරමින් කීවාය .

" බයවෙන්න එපා පුංචි බේබි . ලොකු මහත්තයාට රත්නත්තරේ පිහිටෙනුත් ජේසු පිහිටෙනුත් ඉක්මනින් හොද වෙනවා ." මේරි අම්මා කීවාය .

ඇය උපතින් කිතුණු බක්තිකයෙකු වුවත් බුදුදහම ද එකසේ අදහනුලබයි . 'කොයි දහමත් එකයි , අදහන ක්‍රමේ තමයි වෙනස් ඇය සැමවිටම කියයි . කාලයත් එක්ක මිනිස්සු එක එක කෝලං ක්‍රම හදාගත්තට කිසිම ආගමක වැරදි කරන්න්ඩ අනුබල දීලා නෑනොවැ . ඒ ඇයගේ ඇදහිල්ලයි .

" මම වොශ් එකක් දාගෙන එන්නම් " පාරමී නාන කාමරයට රිංගුවාය .

මේරි අම්මා ඇදේ රෙද්ද සකස්කර ඇද ගැසුවාය . වතුර ජෝගුවට වතුර පුරවා තැබූ ඇය නිදාගැනීමට පහලට ගියාය .

මේ එදා පොඩි බේබිව උස්සගෙන ඇවිත් ඇදෙන් තියපු මහත්තයා නේද . ඉලන්දාරියා නම් බොහොම හොඳ පාටයි . අපේ බේබිට කැපෙන හාදයා . හරියට දෙන්න එකට ඉන්නකොට අපේ බේබි කිරිල්ලියක් වගේ . කොල්ලගේ මූණ නම් අහිංසක පාටයි . ඒ වුණාට අමුතු තේජසක් තියෙනවා . අපේ බේබිට ඒ වගේ කෙනෙක් තමයි හරියන්නේ . දෙන්නා ගැලපෙනවා . අපේ බේබිටත් හිතට අල්ලලා වගේ . ඒත් ඉතිං ඕවා හරියාවිද කියලා දෙයියෝ තමයි දන්නේ . ලොකු මහත්තයා මොනවා කියයිද කවුද දන්නේ . හැබැයි අපේ බේබි කැමති නම් මම බේබිගේ පැත්තේ . පවු අම්මත් නැතිව හැදිච්ච කෙල්ල . ලොකු මහත්තයත් පවු . ඉක්මනට සනීපවෙන්න ලොකු මහත්තයා . මේරි අම්මා එසේ සිතමින් නින්දට ගියාය .

වෙලාව රාත්‍රි 12 පසුවී විනාඩි 20කි . නින්ද පේන මානයක නැත . නාරදට ගෙදර අය සිහිවුණි . ඔවුන් මෙවෙලේ සුවසේ නිදනු ඇත . තාත්තාගේ දානයේ කටයුතු සදහා මේ සති අන්තයේ වත් ගෙදර යායුතුය . හදිසියේම මේ උද්ගතවූ තත්වය නිසා සියලු කටයුතු අඩාල වී ඇත . කරදරයකට පත් මොහොතක මොවුන් අතැර යාම කිසිසේත් කළ නොහැක . තව දවස් තුන හතරක් තියෙනවනේ . නාරද සිතුවේය . පවු , පාරමී මේ වෙලාවේ ගොඩාක් දුකෙන් අඩපනවෙලා ඉන්නේ . මම දන්නවා ඔයා මං ගැන හිතනවා කියලා . ඒත් ඔයාගේ තාත්තා . . අපිට කවදාවත් කැමති වෙන එකක් නෑ . අනික මගේ ගෙදර මිනිස්සුන්ව පාරට ඇදලා දාන්න පුලුවන් කමක් නෑ . මොකද ඒ අය ජීවත් කරවන්නේ මම . එයාලගේ හැමදේමත් මම . මටත් ඔයාව ඕන . මගේ හිතත් ඔයාව ඉල්ලලා පොරබදිනවා . ඒත් එහෙම කලොත් මම මගේ ගුරාට කෙනෙහිලිකමක් කළා වගේ නේද . මාව මේ තත්වෙට ගෙනාපු කෙනාට එහෙම කරන්න මට බෑ මිස් . මම මොකද්ද ගන්න තීරනේ . මට ඇත්තටම තේරුම්ගන්න බෑ . අපිට තියෙන එකම විසදුම අපේ ජීවිත කොහොමද ලියවෙන්නේ කියලා කාලයට ඉඩදීලා බලාන ඉන්න එක විතරයි . මටත් ආසයි ඔයාව ලගට අරන් ඉඹින්න . ඔයාව හයියෙන් තද කරන් ආදරෙයි කියන්න . ඒත් මම අසරණයි . අපි කාලයට ඉඩ දෙමු . නාරද සිතුවේය .

කොයිපැත්‍තකට හැරුනත් නින්ද පේන මානයක නැත . සමහරවිට පාරමී නම් ඇගිල්ලත් කටේ ගහගෙන නිදි ඇති . නාරදට සිනාවක් නැගුනි . තමන් පෙරදා පාරමීව තුරුල්කරගෙන ඔසවාගෙන ආ හැටි සිහිවුණි . පාරමී ලගින් හිත හිරිවැටෙන සුවදක් එන්නේ . දැනුත් හරියට නිකන් ලග ඉන්නවා වගෙයි දැනෙන්නේ .

"හ්ම් . . සුවදයි . . . . "  නාරදට කියවුණි .

" මොනවද . . . ? "

පාරමී නාරද ලගට විත් සිටියාය . උලුවස්සට හේත්තුවී සිටින පාරමී දෙස බැලූ නාරද උඩ විසිවුණි .

" මම නාරද නිදිද බලන්න ආවේ . මොනවද නාරද සුවද . .. " පාරමී බිම බලාගෙන හිනැහුනාය .

" මුකුත් නෑ ." නාරද බිම බලාගෙන පිළිතුරු දුන්නේය .

" එහෙනං සුවද නැද්ද . " පාරමී පෙරලා යලි ඇසුවාය .

" නෑ . . සුවදයි . " නාරදට සිහින් සිනාවක් නැගුනි .

" මොනවද . . ? " ඇය යලිත් නාරදගෙන් ඇසුවෙ හිනැහෙමිනි .

නාරද කිසිවක් නොකීවේය . පාරමී නාරද දෙස විමසිල්ලෙන් බැලුවාය . නමුත් ඈ පිළිතුරක් පෙරලා නාරදගෙන් බලාපොරොත්තු නොවූවාය .

" මම දන්නවා . . " ඈ සෙමින් කෙදිරුවාය .

" නිදියන්නේ නැත්ද . දැං ගොඩාක් රෑ වෙලා ." නාරද පාරමී දෙස බලා ඇසුවේය .

" නින්ද එන්නේ නෑ . " පාරමී මුහුණ බෙරිකරගෙන නාරදගේ ඇස් පතුලට එබී මිමිණුවාය .


. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට . . .