Followers

Wednesday, March 27, 2019

ජයමල්ල . . .



කොහේදෝ තිබුණු අදුරක් අහසට ඇවිත් . වෙලාවකට හිතෙනවා අහස , පොළොව , ඉර , හද  මුං ඔක්කෝම එක්කහුවෙලා මට කෝචොක් කරනවද කියලත් . හරියට මගේ හිත කියවනවා වගේ . ධර්මදාස අහස දිහා බැලුවේ නොරිස්සුමකිනුයි .


ඇත්ත , මට මොනතරම් දෙයක් මේ ජේවිතේ ලැබිලා තිබුණත් මගේ හිතට මහත් හිස්කමක් දැනෙනවා . මං දන්නවා ඒක කාගෙන් හැංගුවත් මගේම හිතෙන් මට හැංගෙන්න බෑ කියලා .


එකවරම සර සර හඩින් රෝලර් ගේට්ටුව එසවිනි . ඒ අමන්දා අලුතින් ගත් අවුඩි රතයයි . ගරාජය තුළ රතය නැවැත්වූ අමන්දා ගෙට ඇතුලු වුණාය .


" මොකද අප්පච්චි එළියට වෙලා අහස දිහා බලාගෙන . මොකක් හරි ප්‍රශ්නයක් ද ? "


ඒ පාර මෙයත් පටන්ගත්තද ? යි ධර්මදාසට සිතුනත් හේ එය වචනයය නොපෙරලුවේය . ඔහුගේ මුවගට නිතැතින් සිනාවක් නැගුනි .


" එහෙම මොකවත් නෑ පුතේ . මං මේ හුලං ටිකක් වදින්නත් එක්ක එළියට ආවා . "


" ඒ නං බොරු වගේ . එහෙනං හිනාගියේ ඇයි කියන්න . මොකද පරණ  කෑල්ලක්වත් මතක් වෙලාද ? " අමන්දා ඇසුවේ සිනාසෙමිනි .


" මේ . .   දුවන්නයි කිව්වේ මගෙන් කුණුහරුප අහගන්නේ නැතුව . එනවා මෙතන කෑල්ල ගැන අහන්න . "  ධර්මදාස බොරු තරහක් හිතට ගත්තේය .


අමන්දා හිනැහෙමින් නිවස තුළට දිවගියාය .


" අප්පච්චිටත් තේකක් ගේන්නද . . . ? "


" හා . . හා . . පොඩ්ඩක් බොමු . "


අමන්දාට දැන් ලබන්නේ විසිතුනටය . කුඩා කළ හිදම හැදී වැඩී මේවනතෙක්ම ධර්මදාස ඈ පසුපසින්ම උන්නේය . ධර්මදාසත් අමන්දාත් ජීවත් වූයේ දුවත් පියාටත් ලෙසට වඩා  මිතුරන් ලෙසිනුයි . පාසල් කාලය තුළ පාසලේ ඉහලම දස්කම් දක්වා ඉගෙනුම ලබා සිටි අමන්දා උසස්පෙළ විශ්‍යවිද්‍යාල සුදුසුකම් ලාබියෙකු වුවත් ඈ ඒ සදහා මැලි වූවාය . ටිකෙන් ටික තම ව්‍යාපාර කටයුතුවල නියැලෙන්න පටන්ගත් ඇය දැන් සම්පූර්ණයෙන් තම ව්‍යාපාරයේ කටයුතු බලා හදාගනී . ඇය ඒ සදහා ඇප කැප වී සිටින්නීය . සතියකට වරක් පමණ කාර්‍යාලය වෙත ගොස් කටයුතු සොයා බැලූ ඔහු දැං කාර්‍යාලයට නොයන තරම්‍ ය.


" ඇත්ත කියන්න අප්පච්චි . මම සීරියස් අහන්නේ . අප්පච්චිට මොකක් හරි ප්‍රශ්නයක් ද ? " අමන්දා තේක දෙනගමන් ඇසුවාය .


" අනේ නෑ ළමයෝ . එහෙම දෙයක් නෑ . මං ඉතිං මේ නිකං ඔහේ කම්මැලිකමට හිටියා . වෙන දෙයක් නෑ . "


" හරි හරි . . අපි බලමුකෝ . . . " අමන්දා තර්ජනාත්මක බැල්මක් හෙලුවාය .


" පිස්සි . " ධර්මදාස ඇගේ ඔලුව අතගෑවේය .


" ආ . . මට අමතක වුණානේ . අප්පච්චි ඊයේ නිදි වෙලාවේ ලොකුහාමුදිරුවෝ කතා කලා. නිදියි කිව්වම පස්සේ කෝල් එකක් ගන්නම් කිව්වා . මම කියන්නයි කියලා හිටියේ . අමතක වුණා . " ඈ තේක බොන අතරතුර හොරෙන් මෙන් බැලුවාය.


" යසයි පණිවිඩ කියන වෙලාව . ඊයේ එක අද ද කියන්නෙ . " ඔහු අමන්දා ට සෙමෙන් ටොක්කක් ඇන්නේය .


" ඌයි .. අමතක වුණානේ ඉතිං . " අමන්දා තොදොල් වූවාය .


" දුවත් යමුද පන්සල පැත්තට ගිහින් එන්න ."


" යමු අප්පච්චි . ඒත් ඇයි මේ හදිස්සියේ . "


" නෑ ළමයෝ හදිස්සියකට නෙමෙයි . දුවගේ උපන්දිනයත් එනවා . අම්මගේ දානෙත් දෙන්න ඕන . ඉතින් පන්සලට ආරාධනා කරන්ටත් එපැයි . අනික ලොකු හාමුදුරුවෝ මතක්කරලා එවලා තිබුණා ධාතු මන්දිරයේ වැඩ පටන්ගන්නවා කියලා . ඉතිං ඒකට අපිත් මොනවා හරි දායකත්වයක් දෙන්න ඕනනේ . නේද . . . "

" හ්ම් . යමු එහෙනං . මම වොශ් එකක් දාගෙන ලෑස්ති වෙලා එන්නම් . කෝ දෙන්න අප්පච්චි කෝප්පේ . "  අමන්දා හිස් තේ කෝප්පයත් රැගෙන නිවස තුළට ගියාය .

ධර්මදාස කල්පනාවට වැටීමට ගතවූයේ නිමේශයකි . යාන්තමට පොද ගහනවා . ඔහුට අහස දිහා බැලුණා . හරියට මගේ හිත ඇතුළ වගේ . ධර්මදාසට නිකමට හිතුණා . කොළඹ අතහැරලා කුරුණෑගල පදිංචියට ඇවිත් දැං අවුරුදු විසිතුනක් විතර වෙනවා . අමන්දාගේ වයසට පොඩ්ඩයි අඩු . මේ කාලේ ඇතුලේ මොනතරම් පෙරලියක් වුණාද .

එදත් මේ වගේම අදුරු දවසක් . ඔහුට ආයෙත් මතක් වුණා . ඒ අදුරු දවසේම ජීවිතයේ ලැබුණු ලොකුම ආලෝකයත් ලැබුණු බව හැබෑව . ඒත් ...

ඒ වෙනකොට ධර්මදාස වැඩ කළේ මට්ටක්කුලිය පැත්තේ කොම්පැනියක . හැමදාම වගේ ගේට්ටුව ලගට එන චන්දරේ ගෙන් ස්වීප් එකක් දෙකක් ගන්න ධර්මදාස පුරුදුවෙලා උන්නා . හැමදාකම හම්බෙන නිසා දෙන්නා අතරේ ලෙංගතු කමක් ඇතිවුණා . ධර්මදාස දැක්කා චන්දරේගේ දින චර්යාවේ වෙනසක් තිබුණා .දවසක් මෙහෙම ඉදලා චන්දරේගෙන් මේ ගැන ඇහුවා .

"  මං මේ  අහන්නමයි හිටියේ , තමුසේ මොකද දැං උදේටත් බීලා . දැං හැමතිස්සෙම ඉන්නේ බීගත්ත ගමන් . "

" දන්නැද්ද ඉතිං මහත්තයා . අපේ ඔය ගෙවල්වල ත් පොඩි පොඩි ප්‍රශ්ණ වෙනවනෙ . "  චන්දරේ ඕනාවට එපාවට උත්තර දුන්නේය .

ධර්මදාස එතනින් එහාට කිසිවක් කීමට නොගියේය .

ටික ටික මිනිහා එන එක අඩුවෙලා ගියා . ඊට පස්සේ සැරෙන් සැරේ ඇවිත් එක එක ඒවා කියලා සිකුරුටිලාගෙනුයි වැඩ කරන කොල්ලන්ගෙනුයි කීය කීය හරි ඉල්ලන් ගිහින් තිබුණා . ඒ ඉල්ලං ගිහිල්ලා කරලා තිබ්බේ ඒ සල්ලිවලින් බීපු එකලු . ගෙවල් ලග කොල්ලෙක් මම දවසක් චන්දරේව අහපුවෙලාවක කිව්වා මට මතකයි .

" අප්පච්චි යමුද ? "  අමන්දාගෙව් හඩින් ධර්මදාස පියවි සිහියට ආවේය .

" ආ . . යමු . " ඔහු කාමරය වෙත ගොස් ලක ලෑස්ති වුණා .



  ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


" ආ . . මං ඒත් මේ බැලුවා කවුද කියලා . මේ අපේ උපාසක මහත්තයා නේ . අද දුවත් එක්කගෙනම ඇදිත් තියෙන්නේ . "
" එහෙමයි අපේ හාමුදුරුවනේ . " දෙදෙනාම ලොකුහාමුදුරුවන්ට නමස්කාර කළෝය .

" මං බුදුන් වැදලා එන්නම් අප්පච්චි  . "  අමන්දා ඔවුන්ගෙන් ඈත්ව බුදුගේ දෙසට පියමැන්නාය .

" දැං ඉතිං මේ දරුවගේ අනිත් කටයුතු වලටත් ලක ලෑස්ති වෙන්ට වෙයි නේද මහත්තයෝ . දැං හොද වයස . " ලොකුහාමුදුරුවෝ  සුපුරුදු ලෙංගතු කමින් කීවේය .

" එහෙමයි . "

" අපි හොද ගුණ යහපත් තැනකින් බලමුකෝ හෙමින්සැරේ . දුවව අප්පච්චි තරමට බලාගන්න පුළුවං කෙනෙක්ව එපායැ හොයන්ඩ . කෝකටත් මට ඒ දරුවගේ හදහන ගෙනල්ල තියමුකෝ . "

" හොදමයි හාමුදුරුවනේ . "

" ඒත් මේ දරුවා එහෙම දෙයකට තාම බෑ කියනවනේ අපේ හාමුදුරුවනේ. "

" අපි ඒක බලමුකෝ "


  ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


අප්පච්චී ලොකු හාමුදුරුවොත් එක්ක බර කතාවක බව පෙනේ . බුදු මැදුරට ගොස් බුදුන් වැන්ද අමන්දා බෝ මලුවේ ඇවිද්දාය . ඇගේ ගතටත් සිතටත් අමුතු සිසිලසක් දැණුනි . ඇය වළාකුළු බැම්මට පිටදී හිද ගත්තාය . එහා මෙහා යන සැදැහැවතුන් දෙස ඇය බලා සිටියාය . නන්නාඳුනන මුත් ඇතමෙක් ඇය හා සිනාසුනාය . අපිත් එක්ක ජීවිතයේ දන්න නොදන්න කොයිතරම් දෙනෙක් බැදීම් ඇති කරගත්තත් ඒ කිසි කෙනෙකුට , කිසිම දෙයකට තමන්ගේයි අයිතියක් කියන්න බෑ නේද කියලා ඇයට සිතුනා .

සමහරවිට අප්පච්චි ලබන මාසේ දානේ ගැන කතාකරගන්නවා වෙන්න ඇති . තම උපන් දිනයේදීම තම මව මියගොස් තිබුණු නිසාවෙන් ඇය යමක් කමක් තේරෙන වියේ පටන් උපන්දින සැමරීමක් නොකළාය . කිසිදු සාදයක් නොපැවැත්වූවාය . හැම වසරකම මෙන් මෙවරත් ඇය වැඩිහිටි නිවාසයකට දානය බාරගෙන තිබුණි . හැම උපන් දිනයකටම පසුදා අප්පච්චී පන්සලට දානය පිළියෙල කර පිලිගන්වයි . මේ ඇවිදින් හිදින්නේද ඒ කටයුත්ත වෙනුවෙන් පන්සලට ආරාධනා කිරීමටයි . තම පියා හා බලන කළ තමන් ද ඔහුසේම දනට පිනට නැඹුරු වීම ගැන අමන්දා අතිශය සතුටට පත්වූවාය . කවුරුන් අතින් හෝ " තාත්තා වගේමයි දූ " යනුවෙන් ඇසීමට ඈ ප්‍රිය කළාය .

සැබැවින්ම ඔහු ඇතැම්විට තේරුම් ගැනීමට නොහැකි තරම් ප්‍රෙහේලිකාවකි . ඔහු මේ කරන පිංකම සිදු කරණුයේ තම මවටත් තම හොදම යහලුවාටත් පිං පැමිනවීමටයි. යහලුවා මියගොස් ඇත්තේද ඒ ලග දවසක යි දිනක් අප්පච්චි කීවා මතකය . අම්මාගේ මල්මාලයක් දාපු පිංතූරය එක බිත්තියක සවිකර තිබෙන අතර අනෙක් බිත්තියේ තම යහලුවාගේ මල්මාලයක් දැමූ පිංතූරයක් කාර්‍යාල කාමරයේ ඔහු තබාගෙන හිදී . ඔහුව කිසිදාක අමතක නොවන බව ඔහු කීප විටකම පවසනු ඇසී තිබේ .

" අපි යමු නේද දුව . . ? "

ධ්‍යානයකට සමවැදී මෙන් හුන් අමන්දා හිස එසෙවුවාය .

" යමු අප්පච්චි . "

නිවසට එන අතරතුර දී දෙදෙනා අතර වැඩි කතා බහක් නොවුනි .

" අම්මගෙයි අප්පච්චිගෙයි වැඩිය ෆොටෝස් නෑ නේද අප්පච්චි . "

අමන්දාගේ වචන ධර්මදාස ගේ හිතේ මහ බරට එල්ලුනි .

" ඒ කාලේ එච්චර ඕවාට එලෙවුවේ නෑ දරුවෝ . " ඔහු අහක බලාගෙන උත්තර දුන්නේය .

" අප්පච්චි "

" ම්ම් . . "

" අපි මේපාර හාමුදුරුවෝ ගෙදට්ට වඩම්මලා දානේ දෙමු . " අමන්දා ඇසුවාය .

" ඇයි දරුවෝ එකපාරටම එහෙම හිතුනේ . "

" නෑ අප්පච්චි අපි ගෙදරට වඩම්මලා දානේ දෙමු . පැං වඩලා අටපිරිකර පූජා කරලා . . "

" හ්ම් . .. පුතා කැමති විදියට කරමු . " ධර්මදාස ගේ දෑස් දිලිසුනේය .

"ඇයි අප්පච්චි අප්පච්චිගේ ඇස් වල කදුලු . "

" නිකං පුතේ . අපි අංගසම්පූර්ණව දානේ වැඩ ටික කරමු . " ධර්මදාස අමන්දා දෙස බලා සිටියේය .


   ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


දිනය එළඹින . අමන්දා වැඩිහිටි නිවාසයේ අම්මලා තාත්තලා පිරිසවද කාර්‍යාල මණ්ඩලයේ පිරිස සමග කතාකොට කෙසේ හෝ නිවසටම ගෙන්වා ගැනීමට හැකිව තිබුණා . නිවසට වැඩමකිරීමට යෙදුණු මහා සංඝරත්නය උදෙසා සැවොම එකතුවී පිළියෙල කළ දානය පිළිගැන්වූවෝය . එමෙන්ම සෑම වැඩිහිටියෙකුටම පිරිකර පූජා කිරීමට හැකි වන පරිදි පිරිකර අමන්දා ලෑස්ති කොට තිබීමත් විශේෂයක් .

කාර්‍යාල කාමරයේ බිත්ති දෙකක සවිකොට තිබූ පිංතූර දෙක ලං ලංව තබා තිබුණා .ධර්මදාසත් අමන්දා ත් එක්ව මියගිය දෙපලට පැං වඩා පිං අනුමෝදං කළා .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


සියලු කටයුතු නිමාවෙන් පසු නිවස තුළ තිබි නිහැඩියාව නිහැඩියාව යලිත් පෙර ලෙසම විහිදී තිබුණි . නිහැඩියාව ද ඇතැම්විට සිතට මහත් බරක් දනවයි . එකට තබා තිබි ෆොටෝ දෙක ධර්මදාස අතට ගෙන බලාසිටියේය .

එදා චන්දරේ තම කාර්‍යාලය් වෙත දුව ආ සැටි ධර්මදාස ට සිහිවින .

" අනේ මහත්තයෝ අපේ ගෑනිට ගොඩක් අමාරුයි . මට මේ රුපියල් 500 ක් පුළුවන්නම් දෙන්න . " එදා චන්දරේ දුවගෙන ඇවිත් කිව්වා . මෙතන ටිකට් 50 ක් විතර තියෙනවා . අනේ මහත්තයෝ මේ පොත අරගෙන දෙන්න . පිං සිද්ද වෙයි .

" රු 500 ක් . මොකද්ද චන්දරේ තමුසෙට වෙලා තියෙන්නේ . දැං එක එක ඒවා කිය කියා කීදෙනෙක්ගෙන් සල්ලි ඉල්ලං ගිහින් බි බී හිටියද . බලනවකෝ තමුසේ දැං තමුසෙගේ ගෑනිවත් විකුණගෙන කන්නද හදන්නේ . ඔය බේබදුකම නවත්තගන්නවා අයිසේ . යනවා යන්න මෙතනිං මගේ යකා අවුස්සන්නේ නැතුව . "

" අනේ නෑ බුදු මහත්තයෝ . බුදුන් පල්ලා . මයේ මේ ජීවිතේ පල්ලා මගේ ගෑනිට අමාරුවෙලා ඉන්ජෙක්ෂන් එකක් අරං එන්න කියලා දොස්තර මහත්තයා කිව්වා . අනේ බුදු මහත්තයෝ මං මේ ඇත්තමයි කියන්නේ ."

" යනවා මෙතනින් චන්දරේ . මට වැඩ තියෙනවා . තමුසෙ මට පේන්නේ අද උදේම ගහලද කොහෙද . මේ මේ ටිකට් ටිකත් අරගෙනම යනවා . මට ටිකට් ඕන නෑ . "

කිසිවක් නොකියූ චන්දරේ ටිකට් ටික දෙස බැලුවත් එය එතනම දමා පාර දිගේ දිවගියේය .

" ඕකගේ බොරු සර් . ඔය ටිකටුත් බොරු ඒවද දන්නේ නෑ . බේබද්දා . . . " ලග සිටි වැඩ කරන කොල්ලෙක් කීවේය .

" හ්ම් . . . "

මට තරහ වෙන එහෙකට නෙවෙයි ගෑනිවත් උකසට තියලා මුං බොන්න සල්ලි හොයන එකටයි . බීලා බීලා පිස්සො වෙලා ඉන්නේ . අපරාදෙ මූ හොද මිනිහා . නිකං බේබදුකම නිසා නිකං ජීවිතේ විනාස කරගන්නවා .

ෆෑන් එකේ හුලං පාරට දමා ගිය ස්වීප් පොතේ කොල ඉහල පහල යයි . ධර්මදාසට හිතට අමුත්තක් දැනිනි . මූ කොහේ යන්න ඇත්ද .

" අනිල් . . අනිල් . . " සේවකයෙකුට කතාකලේය .

" ඇයි ධර්මදාස මහත්තයා . "

" අර තමුසෙලාගේ ගේ ගාව ඉන්න අනිල්ගේ ගෙදර කොහෙද තියෙන්නේ . "

" ඇල පාරේ හතරවෙනි ගේ මහත්තයා ."

ඔහුගෙන් පාර අසාගත් ධර්මදාස චන්දරේ ගේ නිවස  වෙත යාමට සිතා වාහනය වෙත පියමැන්නේය .

" සර් සර් . . . අර මනුස්සයා බස් එහෙකට හැප්පිලා . " සිකුරුටි කෙනෙක් දුව විත් කීවේය .

" කවුද ? චන්දරේ . අනෙ දෙයියනේ . "



  ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



මෙය සිහිවන වාරයක් පාසාමතම දෙපා වාරු නැතිවී යන්නාක් මෙන් ධර්මදාසට දැනෙන්නය .

චන්දරේ මෙළොව අතැරගොස් සිටියේය . ඔහුගේ  බිරියට දරුවකු ලැබෙන්නට සිටීමද සැබෑවකි . එ නිසාම ඔහු අරක්කු බීමෙන්ද ඈත් ව සිට ඇත . මෙ බවක් ආරංචි වූයේ ද බොහෝ පසුවය . දරු ප්‍රසූතියේ දී ඇතිවූ ගැටලුවක් නිසාවෙන් ඔහුගේ බිරියද මෙළොවින් සමුගෙන ඇත . ඔහු එ වේලේ පවසා ඇත්තේ මුසාවක් නොවන බව දැනගන්නාවිට සියල්ල සිදුවී හමාරය .

මට සමාවෙන්න චන්දරේ . මට තිබුණා  උඹව බේරගන්න . උඹේ පවුලවත්  සමහර විට . මට දුකයි උඹලා දෙන්නගේ ෆොටෝ දෙක දෙපැත්තකට කරලා තියන්න . ඒත් මට සමාවෙයන් චන්දරේ . මට බෑ ඒ දෙක එකට තියන්න . මට උඹලව පේන වාරයක් පාසා හිතෙනවා නිකං හරි එදා උඹව එලෝගත්තේ නැත්තං කියලා . උඹ මගෙ ගාව තියලා ගිය ඒ ටිකට් පොත තාම මගේ ලාච්චුවේ චන්දරේ . ඒකෙත් තෑගි තියෙන්න ඇති . ඒත් මම ඒක බලන්න ගියේ නෑ චන්දරේ . මට උඹ ජය මල්ලම දීලයි යන්න ගියේ . සැරෙන් සැරේ මගේ හිත පෑරෙනවා . ඒත් මම ටිකක් හරි සැනසෙන්නේ අමන්දා දිහා බලලා චන්දරේ . සමහරවිට උඹත් බලාගෙන ඇති කොහේහරි ඉදං . මට එහෙම හිතෙනවා .

" අප්පච්චි . . .  , මොකද කරන්නේ . . ? " අමන්දා කතා කළාය .

" මං මේ අස් කළා දුව . " ධර්මදාස සැනෙකින් තෙත්ව තිබූ ඇස් කොන පිසදා ගත්තේය .

" ආ . . . මේ ෆොටෝ මොකද ඔඩොක්කුවේ . කෝ දෙන්න . අපි මේ දෙක සාලෙන් තියමු . "

අමන්දා ෆොටෝ දෙක රැගෙන ගොස් කැබිනට්ටුව මත ලං ලංව තැබුවාය .

" එහෙම හොදයි නේද අප්පච්චි  . . . " ඇය ධර්මදාස අසලින් සෙටියේ හිදගන්න ගමන් ඇසුවාය .

" හ්ම් . . . " ධර්මදාස තම ආදරණීය දියනියගේ හිස සිපගත්තේය . . .



නිමි . . .


කුරුටුගෑවේ : සුශාන් ප්‍රියනාත් රත්නායක
17-03-2019

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට . . .