Followers

Friday, December 30, 2016

පියාපත් ලැබී . . . 16


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . දාසයවෙනි කොටස . . .


" පුංචි බේබි . .  පුංචි බේබි . . . "

" ම්හ් . . . ම් . . . "

" නැගිටින්න බේබි. දැං හොඳටම එළිය වැටිලා. ඊයේ ආපු ඇඳුම පිටින්මයි තාම. කෝ . . කෝ . . . "

" ම් . . . ගුඩ් මෝර්නිං මේරිඅම්මා . . . මේරි අම්මා තවත් හැඩවෙලානේ මම නැති කාලෙදි. ම්ම් . . " ඇය මේරි අම්මාව වැලඳගත්තාය.

" ඊයේ අච්චර රෑවෙනකන් කොහෙද රත්තරනේ ගියේ. ලොකු මහත්තයයි මායි හොඳටම බයවෙලා උන්නේ. අන්න පහල ලොකු මහත්තයා බලාගෙන ඉන්නවා බේබි එනකන්. "

" මේරි අම්මේ තාත්තා බනීද මට. මම ඉතින් මගේ හොඳම යාළුවාව ඩ්‍රොප් කරන්නනේ ගියේ. "

" හරි හරි ගිහින්ම බලන්නකෝ බේබිම. "

" නෑ නෑ, මට බනින එකක් නෑ. මම එනකොට නිදිනේ. තාත්තා වඩාගෙන ඇවිත් තිබ්බේ. මම ඇස් තද කරගෙන බෙල්ල බදාගෙන හිටියේ. ඒනිසා තාත්තා මට මුකුත් කියන එකක් නෑ නේද ? තාත්තට දුක හිතෙන්න ඇති මම එහෙම ඉන්නකොට. තාත්තා මට ආදරෙයි නේ . . . " පාරමීගේ කතාවට මේරි අම්මාට හිනාගියාය.

" බේබි කොහොමද දන්නේ හරියටම ඔහොමයි ඇඳට ආවේ කියලා . " මේරි අම්මා හිනැහුනාය.

" මට හීනෙන් වගේ දැනුනා. ඇයි . . .? "

" නෑ නිකන්. කෝ දැන් බේබි ඇඟපත හෝදගෙන එන්නකෝ. "

" අනේ කියන්නකෝ මේරි අම්මා. මොකද්ද අනේ. මොකද උනේ. ඇයි මේරි අම්මා හිනාවෙන්නේ මට. කියන්නකෝ . . "

" අර . . . ඊයේ පුංචි බේබිව එක්කගෙන එන්න ආපු මහත්තයා තමයි බේබිව උස්සගෙන වඩාගෙන ඇවිත් ඇඳෙන් තිබ්බේ. බේබිත් අපූරුවට බෙල්ල බදාගෙන ආවේ. ඇඟිල්ලත් කටේ ගහගෙන. "

" දෙයියනේ මාව ඩ්‍රයිවර් ද එක්කන් ආවේ. මොන ලැජ්ජාවක්ද. ඇයි මේරි අම්මා ඒ මනුස්සයට මාව උස්සන් එන්න ඉඩ දුන්නේ. තාත්තටයි ඔයාටයි තිබ්බනේ මාව එක්කගෙන එන්න. " පාරමී හැඬුම් මුසුව කීවාය.

" අපි උස්සගෙන එන්න ඉඩදුන්නා නෙමෙයි බේබි. ලොකු මහත්තයටයි මටයි බේබිව වත්තන් කරගෙන එන්න අමාරු වුණා. අපිට අමාරු නිසා තමයි ඒ මහත්තයා  උස්සගෙන ඇවිත් කාමරේ ඇඳෙන් බේබිව තිබ්බේ. "


පාරමී නාන කාමරය වෙත දිව ගියාය. දෙයියනේ එතකොට එයාද මාව වඩාගෙන ඇවිත් තියෙන්නේ. පාරමීගේ සිතට කිසිවක් නොපිවිසෙයි. ඇඳහුන් ඇඳුම පිටින්ම ඇය ශවර් එකට ඔලුව ඇල්ලුවාය. ආයෙමත් එයාව හම්බවෙන්නේ නැත්නම් හොඳයි. ඈ සිතුවාය.


            
               ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



" කෝ මේරි අම්මා දුව. "

" ඇඟ සෝදනවා ලොකුමහත්තයා. ලොකු මහත්තයා බනී කියලා පුංචි බේබි බයේ ඉන්නේ. "

" දැන් ඉතින් මම මොනාට බනින්නද ? "

දසනායකගේ ඒ වචන පෙලේ අදහස් ගණනාවක් ගැබ්ව ඇතැයි මේරි අම්මාට හැඟුනි. නමුත් ඒ කිසිවක් ගැන කතා කිරීමට මේරි අම්මා කැමති නොවූවාය. සියල්ල කාලයට ඉඩදිය යුතුය.

" තාත්තා . . . " පාරමී වරද කර ගුරුවරයෙකුට හසුවූ සිසුවෙකු පරිද්දෙන්  දසනායක වෙත පියමැන්නාය.

" කොහොමද පුතා. මහන්සි අඩුයිද දැන්. "

" ඔවු තාත්තා. මට සමාවෙන්න තාත්තා ආයෙත් මම එහෙම කොහේවත් යන්නේ නෑ. සත්තයි. " පාරමීගේ  නෙතේ කඳුලක් විය.

" හරි හරි දැන් ඒක ඉවරයිනේ මැණික. අපි තේ බොමු. කෝ , මේරි අම්මා . .  මගේ කෙල්ලට තේ දෙන්න. "

" තාත්තා ඇඳගෙන ඉන්නේ ඔෆිස් යන්නද ? " පාරමී ඇසුවාය.

" නෑ පුතේ මම මේ ඩොක්ටර් වික්‍රමසූරියව පොඩ්ඩක් හම්බවෙන්න යන්න හදන්නේ. පොඩි රිපෝට් වගයක් ගන්න තියෙනවා කියලා එන්න කිව්වා. "

" ඇයි තාත්තා හදිසියේම. "

" ඇයි පුංචි බේබි දන්නේ නැත්ද මේ ලඟකදි මහත්තයාට  ටිකක් අමාරු වුණා. ප්‍රෙශර් කොලෙස්ටරෝල් දෙකම තියෙනවලු. හාට් එකටත් එන්න ඉඩ තියෙනවා පරිස්සම් වෙන්න කියනවා මම අහගෙන පුංචි බේබි. "

" මේරි අම්මා මොනවද මේ දරුවට කියන විකාර. ඔය මුකුත් නෑ පුතේ නිකන් චෙකප් එකක් විතරයි. මේරි අම්මත් ඕන නැති දේවල්නේ මේ දරුවට කියවන්නේ. "


" මම බලාගන්නම්කෝ ඇත්ත මොකද්ද බොරු මොකද්ද කියලා. තාත්තා ඉන්න මමත් එනවා. " කිසිවක් කීමට ඉඩ නොතැබූ පාරමී තේක පසෙක තබා කාමරය වෙත ගියාය.

" මේරි අම්මේ ඔය ඕන නැති දේවල් ඔය ළමයාගේ ඔළුවට දාන්න එපා. මේරි අම්මට පිස්සුද ? "

" මට පිස්සු වුණාට කමක් නෑ ලොකු මහත්තයා. ලොකු මහත්තයා මට ඇති තරම් බනින්න. ඒත් මහත්තයා බේබිටවත් ටිකක් ලොකුමහත්තයා ගැන හොයලා බලන්න ඉඩ දෙන්න. "

දසනායක කිසිවක් නොකියා ඉස්තෝප්පුවට පියමැන්නාය. දහයට කිට්ටුය. නාරද දැන් නිවසට එනු ඇත. ඔහු වෙලාවට වැඩ කරන්නෙකි.

" කෝ තාත්තා, අපි යමු . . . " පාරමී ලකලෑස්ති වී ඉදිරියට ආවාය.

" මට ඩ්‍රයිව් කරන්න හොඳ නෑ නේ පුතේ. ඉන්න දැන් නාරද එනවා ඇති. මම නාරදට එන්න කිව්වා. අහ් . .  කියනකොටම ඔය එන්නේ. . . "

" ගුඩ් මෝනිං සර් . . . "

" ගුඩ් මෝනිං නාරද . . . "

" මම පරක්කු නෑ නේද සර්. "

" නෑ නාරද නෑ. වෙලාවටම ආවා. නාරද තේකක් බීලම යමුද ? "

" එපා සර්. මම බීලා ආවේ. "

පාරමී වාහනයෙන් බැස එන ජේත්තුකාරයා දෙස කණුවකට මුවාවී බලා සිටියාය. දෙයියනේ මේ ඊයේ ආපු ඩ්‍රයිවර් නේද ? ඊයේ උන්නේ නිකන්ම නිකන් ටී ශර්ට් එකකුයි කසිකබල් ඩෙනිමකුයි ඇඳගෙන. ඒත් දැන් ඊට හාත්පසින්ම වෙනස්. අත්දිග ශර්ට් එකක් ඇඳලා, ඒකට හරියන්න ගැලපෙන කලු කලිසම. සපත්තු දෙකෙන් මූණ බලන්න පුලුවන්. හිස යන්තමින් බමන ගතියක් පාරමීට දැනිනි. ඇයට මුවාවූ කණුවෙන් එළියට ඒමේ අපහසු බවක් දැනෙන්නට විය. ඇය ශනිකවම නිවස දෙසට දුවන්න හදද්දීම දසනායක ඇයට කතා කලේය.

" පුතේ අපි යමු නේද ? "


පාරමී තිගැස්සුනාය. නාරදද ඇයව දුටුවේ දැන්ය. ඇගේ වෙනස නාරදට හොඳින්ම දැනුනි. " ලැජ්ජා ඇති " නාරද සිතින් තමාටම කියා ගත්තේය. ඒ බව පාරමී දෙස බලා සිටින නාරදගේ මුහුණින්ද පලවන්නට ඇත.

" පුතේ මේ ඉන්නේ අපේ ප්‍රඩක්ශන් මැනේජර් නාරද. ඊයේ මට පුතාලව ගන්න එවන්න කෙනෙක් නැතිවුණ වෙලේ නාරද තමයි මට උදවු කළේ. "


දෙයියනේ මේ මනුස්සයා තාත්තගේ ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි ද. මාර ලැජ්ජාව. අපි මේ මනුස්සයට ඩ්‍රයිවර් කෙනෙක් විදියටනේ සැලකුවේ. අර මෝඩි නිසා තමයි හැමදේම. පාරමීට තම යෙහෙලිය ගැන තරහක් ඇතිවුණාය. දැන් මොකද කරන්නේ . . .







. . . මතු සම්බන්ධයි . . .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Wednesday, December 28, 2016

පියාපත් ලැබී . . . 15


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . පහලොස්වෙනි කොටස . . .

" කවුද ලොකුමහත්තයා අර ඉලන්දාරියා. චූටි බේබිව උස්සලා ගත්තේ නිකන් තාත්තෙක් දුවෙක්ව වඩාගන්නවා වගේ. කවුද මහත්තයා ඇත්තට ඒ. "

" හ්ම් . . . " දසනායකගේ මුවේ සිනාවක් විය.

" ලොකුමහත්තයා එපා කිව්වෙත් නෑ. හා කිව්වෙත් නෑ. ඒකයි මම මේ ඇහුවේ. එකපාරටම ආවා, වඩාගත්තා, අරගෙන ගියා. " මේරි අම්මා දසනායකගේ ඉරියව් එකින් එක මැනගනිමින් සිටියාය. දසනායකගේ කල්පනාවේවත් සිනාවේවත් වෙනසක් ඇති නොවීය.

" ඒ අපේ ඔෆිස් එකේ ප්‍රඩක්ශන් මැනේජර්. හරි හොඳ කොල්ලෙක්. මම කිව්වොත් ඕන දෙයක් ඒ කොල්ලට. " දසනායක මේරි අම්මා දෙස සිනාමුසු මුහුණින් බලා කීවේය. 

" ලොකුමහත්තයා හරියට කියන්නේ පුංචි බේබිව ඒ මහත්තයාට බාර කරලා වගේ නේ. ඒකත් නරක නෑ නේද ලොකුමහත්තයා. "

කිසිවක් කීමට ඉඩ නොතබා මේරි අම්මා ඉවත්වූවාය. ඒ තමයි අපේ පුංචි බේබිගේ හිමිකාරයා. අපේ බේබිටත් ඕනේ තාත්තෙක් වගේ එයාව රැක බලාගන්න පුළුවන් කොල්ලෙක්. පඩිපෙල නගිනකොට කොල්ලගේ ඇස් දෙක දිලිහෙනවා මම දැක්කා. හිඟන්නෙක් වුණත් අපේ පුංචි කෙල්ලව බලාගන්න, ආදරේ කරන කෙනෙක් නම් ලොකුමහත්තයත් අකමැති වෙන එකක් නෑ. ලොකුමහත්තයා මම ඉස්සෙල්ලා කියපුවා ගැන හිතනවා ඇති දැන්. යන්න නරකයි ආයේ ඒ පැත්තට. මේරි අම්මා නින්දට ගියාය.



            
               ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴




ජනෙල් තිර අතරින් කාමරයට හිරු රැස් වැටෙමින් ඇත. නාරදට ඔහේ බලාන ඉන්නවාට වඩා දෙයක් කිරිමට නොසිතෙයි. වෙලාව ඔරලෝසුවේ 8.00 යැයි සටහන්ව තිබේ. කෝකටත් ඔෆිස් එකට යනවා.නාරද සිතුවේය. ඉක්මනින් නා ඇඳ පැලඳගත් නාරද කාර්යාලය බලා නික්මුනේය.

" අඩෝ ... " නාරදට පසුපසින් අසිතගේ හඬ ඇසුණී. 

" ගුඩ් මොර්නින් මචන් "

" ගුඩ් මොර්නින්, ගුඩ් මොර්නින්. උඹ මේ ඔෆිස් ආපු ගමන් ද නැත්නම් කොහේ හරි මගුල් ගෙදරක යන්ඩ ආපු ගමන්ද. ආ . . . "

" ඇයි බං එහෙම ඇහුවේ . . ."

" නෑ  උඹ ඔහොම ජැන්ඩියට ඇඳලා මනමාල හිනාවකුත් දාගෙන යනකොට ඕන පොට්ටයෙකුට හිතෙන්නෙ එහෙම තමයි. "    

" ඉතින් බන් උඹනේ හැමදම කියන්නේ ගොඩයා වගේ අඳින්න එපා කියලා. "

" හරි හරි උඹ දිණුම්. ඒක නෙවෙයි. ඊයේ මොකද වුනේ. උඹේ ෆෝන් එකත් වැඩ නැතුව ගියානේ. "

" ඔව් ඒක බැට්‍රි බැහැලා ඕෆ්. ඊයේ රෑ දෙකටත් කිට්ටුයි මම ගෙදර යනකොට. එපා වුනා. "

" එපා වුනා . . . අනේ පලයන් ගෝතයෝ යන්ඩ. තොට එපා වෙලා නෙවෙයි. මට පේන විදියට ඕන වෙලා වගේ නේ . . . කොහොමද දසයගේ දූ පොඩ්ඩ. නියම කෑල්ල නේද බන් . . ඈ . . . කියපන්කෝ . . . "

" නියම කෑල්ල නෙමෙයි. ඒක ගිණි බෝම්බයක්. මම නූලෙන් බේරිලා ආවේ. එරවිලි, පිප්පිලි, බැනුම් කෝටියයි. "
  
" අනේ පලයං යන්න. ඒකි හෙන අහිංසක කෙල්ලෙක්. ඉස්සර ඔෆිස් එකටත් එනවා. හැමෝම එක්ක හරි විහිලුවෙන් කතාබහ කරන්නේ. මේ ඔෆිස් එකේ හැමෝම ඒකිට හෙන ආදරෙයි. "

" ඒකනම් මම දන්නේ නෑ මචං. මම කිව්වේ වෙච්ච දේ. "

" එහෙනම් ශුවර් එකට ඒකි බය වෙන්න ඇති උඹේ ඔය අහින්සක මූණට ඒකිව අහුවෙයි කියලා. ඒකයි උඹට පුප්පන්න ඇත්තේ. "

" හා හා . . ඔය මගුල නවත්තමු. උදේ වැඩ ටික බලලා බොස් ගේ ගෙදර යන්න ඕන 10.00 වෙද්දී. සර් ට බෙහෙත් ගන්න යන්න ඕන කිව්වා. "


" ඇයි බං,  ඒ මනුස්සයාට යන්න මේ රටේ වෙන වාහන නැත්ද. මේ නාරද  මම උඹට එකක් කියන්නම්. ඔය ඕකුන් කියන එක එක පදේට නටන්න ලෑස්ති වෙන්න එපා. නැත්නම් උඹට මේකේ වැඩි කල් ඉන්න හම්බෙන එකක් නෑ. මමත් උඹ ඔය කරන්න හදනවා වගේ ඔය මිනිස්සුන්ට පැනලා දෙන්න ගියානම් මෙලහට මම මේ ඔෆිස් එකෙන් ගිහින් ගොඩාක් කල්. "

" නෑ බං , දෙන්න යනවා නෙමෙයි. බොස්ගේ ඩ්‍රයිවර් ගමේ ගිහින්. බොසාගේ මොකද්ද අසනීපයක් නිසා ඩ්‍රයිව් කරන්න එපා කියලා ඩොක්ටර් කිව්වලු. ඒකයි මට එන්න පුළුවන්ද කියලා ඇහුවේ. මට එකපාරටම බෑ කියන්න බෑනේ මචං. "

" ඇයි බං ඒ වගේ අයට තමයි මේ රටේ ලෝකේ කැබ් සර්විස් කියලා ජාතියක් තියෙන්නේ. කැබ් එකක් අරගෙන යන්න පුළුවන්නේ. උඹට තියන ආදරේට එන්න කියනවා නෙමෙයි නේ බං. ඔහොම කරන්න ගියාම හැම වැඩේම උන් අපෙන් කරගන්න බලන්නේ ඊටපස්සේ. උඹට තේරෙන්නේ නෑ නාරද. ඕනවාට වඩා අහින්සක වෙන්න එපා. එතකොට හැමෝම තමන්ගේ අහින්සක කමෙන් ප්‍රයෝජන ගන්න බලනවා. මම උඹේ හොඳට කියන්නේ මගේ යාලුවෙක් නිසා. නැතුව දසනායක සර් එක්ක මගේ කිසි අවුලක් නෑ. දසයා එහෙම කරනවා කියලා කියනවත් නෙමෙයි. ඒත් කරනදෙයක් පරිස්සමෙන්, කල්පනාවෙන්. මම යනවා. "

අසිතගේ කීම සැබෑය. අද ලොක්කන් සොක්කන්ගෙන් පතුරු යනතෙක් වැඩගෙන පයින් ගසා එලවන තත්වයක් ඇත. නමුත් දසනායකගේ කීමට බෑ කීමට පුළුවන්කමක් තමාට තිබුනේ නැත. ඔහු කුමක් හෝ දෙයකින් පෙලෙන බවක් ඔහුව දකින විටදී පෙනෙයි. කෙසේ වෙතත් කවුරුන් හෝ වේවා තමන්ගෙන් උදවුවක් ඉල්ලූ විට හැකිනම් එය ඉටුකිරීම කොයිම විටකදීවත් පැහැරහැරීමට නොසිතෙයි. කාර්යාලයේ කටයුතු පිලිවෙලක් කළ නාරද දසනායකගේ නිවස බලා යාමට සැරසුනේය.




. . . මතු සම්බන්ධයි . . .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Monday, December 26, 2016

පියාපත් ලැබී . . . 14


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . දාහතරවෙනි කොටස . . .

රිය වේගයෙන් පැදවූ නාරදට පැයකට ආසන්න කාලයකදී රාජගිරියට ලඟාවීමට හැකිවිය. දිසානායක මහතාගේ නිවස ලංවත්ම නාරදගේ සිතට දැඩි බියක් දැනුනි. වාහනයේ වේගය මදක් බාල කළ නාරද පාරමී දෙස බැලුවේ සිත උපන් මහත්වූ දුකකිනි. පවු , නින්ද ගිහින්. දසනායක මහතාගේ තෙමහල් නිවසේ ගේට්ටුව හැර තිබුණි. ලයිට් සියල්ලම පාහේ දල්වා තිබුණි. රිය නිවස ඉදිරියේ නවත්වත්ම දසනායක මහතා අසලට ආවේය.

" මම බයවෙලා උන්නේ නාරද. "

නාරද යන්තමින් සිනාසුනා මිස කිසිවක් නොකීවේය. පසුපස දොර විවෘත කළ දසනායක පාරමීට කතාකළේය.

" දුව . . . දුව . . .දෙයියනේ මේ කෙල්ලට හොඳටම නින්දගිහින්. දුව . . . දැන් කොහොමද නාරද මේ ළමයව ගෙට එක්කගෙන යන්නේ. මේ ළමයා නිදාගත්තහම නැගිට්ටනවා බොරු."

දසනායක නාරද දෙස බැලුවේය. ඒත් එක්කම වගේ මැදිවියේ පසුවන කාන්තාවක් ද නිවසින් එළියට ආවාය.

" මාර වැඩේ මේරි අම්මේ. මේ කෙල්ල නැගිටින්නේ නෑනේ. නිදි හිඳටෝම. "

" චූටි බේබි.. චූටි බේබි.. "

" ම්ම්.. " කෙඳිරියත් සමඟ අනිත්පැත්තට හැරුණු ඇය ඇඟිල්ල කටේ දාගෙන උරන්න පටන් ගත්තාය. දසනායකටත් මේරිටත් හොඳටම හිනාය.

" මේරි අම්මේ, අපි දෙන්නා අල්ලලා උස්සගෙනවත් කාමරේට එක්ක යමු. වෙන මොකද කරන්නේ. "

" සර් බේත් ගෑවා විතරයි නේද. බර උස්සන්න හොඳනෑනේ."

" කමක් නෑ මේරි අම්මේ. ඔන්න ඔහේ අල්ලමු. "

" හනේ හනේ පොඩි බබාගේ සූප්පුව නම් අතැරිලා නෑ නේද ලොකුමහත්තයා. "

මේරිත් දසනායක මහතාත් එකතුවී දියණියව නිවසට ගෙනයාමට වෙරදරණු නාරද ඔහේ කණුවකට හේත්තුවී බලා උන්නේය.

" කෝ ඉන්න සර්. මම එක්කන් යන්නම්. " එකවරම නාරද දෙස මේරි අම්මාත් දසනායකත් බැලුවෝය. ඉන්පසු දෙදෙනාම ඔවුනොවුන්ගේ මූණට මූණ බලාගත්තෝය.

දෙදෙනා දෙසම නොබැලූ නාරද එකවරම කාරයට එබී මලක් දෝතට ගන්නාක් මෙන් පාරමීව දෑතින් ඔසවාගත්තේය. කිසිවක් කියාගත නොහැකිව හුන් දසනායක පුදුමයෙන් බලා උන්නේය.

" මෙහෙන් එන්න සර් . . " මේරි අම්මා කීවාය.

මේක නම් සසර පුරුද්දට ගත්ත ගැනිල්ලක්. ඕ තමාට සිතින් කොඳුරාගත්තාය. ඒත් කවුද මේ හාදයා. අහින්සක පාටයි. හොඳ හැන්ඩි කොල්ලෙක්. මහත්තයාගේ අලුත් ඩ්‍රයිවර් වත් ද. . හෑ . . .

" මේ කාමරේ මහත්තයා . " මේරි අම්මා කාමරයක දොර හැර දුන්නාය.

නාරද කාමරයට ඇතුළුවී පාරමීව දෑතින් ගෙනවිත් ඇගේ යහන මත සෙමෙන් තැබුවේය. තමා කවුරුන්දැයි දන්නවානම් ඇය කිසිවිටෙකවත් මෙලෙස තම කර බදාගෙන එන්නේ නැත. " සමාවෙන්න " ඔහු සිතින් කොඳුරුවේය. ඇය කරවටා දමාගෙන හුන් අත නාරද සෙමෙන් ගෙන ඇඳමතම තැබුවේය. ඔහුට ඇයගෙන් නික්මුණු උනුසුම් හුස්ම හොඳින්ම දැණුනේය.

නාරද තම දියණියව පුළුන් රොදක් ගෙනයන්නාසේ ගෙනවිත් යහන මත තබා පසෙකටවනතුරු බලා සිටි දසනායක කටහඬ අවදිකළේය.

" නාරදට මහන්සිත් ඇති. මේරි අම්මේ මේ මහත්තයට බොන්න මොනවාහරි ලෑස්ති කරන්න. "

" හොඳයි මහත්තයා. " පාරමීගේ ඇඟට රෙද්ද පෙරවූ මේරි අම්මා කාමරයෙන් පිටවෙන්න ලෑස්ති වුණාය.

" එපා සර්. මම යන්නම්. හොඳටම රෑ වෙලානේ. "

" හරි එහෙනම්. හොඳයි නාරද. බොහොම පිං මට අද මේ කරපු උදවුවට. මගේ ඇස් දෙක තමයි මේ නාරද බොහොම පරිස්සමට මට ගෙනත් දුන්නේ. "

" මම ගිහින් එන්නම් සර්. " නාරද අහින්සක ලෙස හිනැහුනේය. නාරදගේ ඇඟට මහත් වෙහෙසක් දැනුනි. සිතටද මහත් බරක් දැනුනි.

" සර් වාහනේ මෙහෙම්මම තියන්නද. ගරාජ් එකට දාන්නද. "

" නෑ නාරද කොහොමත් නාරදට ඔෆිස් එකෙන් කාර් එකක් හම්බෙනවා. එතකන් නාරද මේ වාහනය පාවිච්චි කරන්න. "

" හරි සර්. . "

" නාරද පොඩ්ඩක් ඉන්න. " දසනායක නිවස තුළට ගොස් 5000 සේ නෝට්ටුවක් ගෙනවිත් නාරද අත තැබුවේය.

" මේකෙන් නාරද වාහනයට තෙල් ගහගන්න."

" හරි සර්. "

" නාරදට පුළුවන්ද මට තව එක උදවුවක් කරන්න." 

" මොකද්ද සර්. "

" මගේ ඩ්‍රයිවර් සිරිපාල ටිකදවසකට ගමේ ගිහින්. මට ටිකක් ඩ්‍රයිව් කරන්න හොඳ නෑ. මට කරන උදවුවක් විදියට නාරදට පුළුවන්ද හෙට උදේ දහයට විතර වගේ මාව ගෙදරින් ගන්න. ඩොක්ටර් වික්‍රමසූරියව පොඩ්ඩක් හම්බවෙන්න."

" හරි සර් මම එන්නම් "

රිය පදවාගෙන මහපාරට ආවත් නාරදට නිවසට යාමට තරම් හිතක් නැත. පාරට යාබදව තිබූ රෑ කඩයකින් දුම්වැටියක් මිලට ගත් ඔහු යලිත් රතය පනගැන්වීය. මදදුරක් ඉදිරියට පැදවූ ඔහු විසල් මැයි ගසක් අසල රිය නවතා දුම්වැටිය දල්වාගත්තේය. මම මොකද්ද ඒ කලේ. ඒ මිනිස්සු මොනවා හිතුවද දන්නේ නෑ. නෑ එහෙම මොනවත් හිතන එකක් නෑ. සර්ට බැරි නිසානේ මම පාරමීව ඇඳට ගිහින් දැම්මේ. නාරද සිතුවිලිත් සමඟ පොරබැදුවේය. අතැඟිලි අතර දැල්වී සිරව තිබූ දුම්වැටිය ඔහේ දැල්වෙමින් තිබුණත් ඒ ගැන ඔහුට නිච්චියක් නොවීය.


"හ්ම්.." සුසුමක් පිටවුවත් ඒ කුමකටදැයි ඔහු සෙව්වේ නැත. දුම්වැටිය ඉවතට විසිකළ නාරද නැවත රිය පනගන්වාගෙන තම බෝඩිම දෙසට දාවනය කලේය.

              
                ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේරි අම්මාත් දසනායකත් දෙතැන එකම සිතුවිල්ලේ වූවෝය. දෙදෙනාම සිදුවූ දෙය විශ්වාස කිරීමට කැමති නැත. මේරිඅම්මා සෙමෙන් සෙමෙන් දසනායක මහතා වෙත පියමැන්නාය.

" මහත්තයා රෑට මුකුත් හරියට කෑවෙත් නෑ නේද ? "

" මම බිස්කට් කෑවා මේරි අම්මේ. ඒ ඇති. "





. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Friday, December 23, 2016

පියාපත් ලැබී . . . 13


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . දහතුන්වෙනි කොටස . . .



නාරද එකවරම කුමක් සිදුවුණේදැයි සිතාගත නොහැකිව පාරමී දෙස බලා උන්නේය.

" මගේ මූණේ පෙරහැරක් යනවද ? අපි යමු . . "

ඇගේ හඬින් පියවි සිහියට පැමිණි නාරද යලි රතය මහමඟට ගත්තේය. ජීවිතේ කවරදාකවත් කෙල්ලෙක් සමඟ මේතරමට ලංව ගමන්ගෙන නැත. ඇය කවුළුවෙන් එළිය බලා උන්නද ඇය දකීවි යැයි නාරද ඇය දෙස බලන්න බියවිය. කවුළුව සම්පූර්ණයෙන්ම විවර කර ඇත. ඇතුලට එන හුලඟත් එක්ක එන ඇගේ සුවඳින් නාරදගේ මුළු ගතම වෙලී ඇති සෙයකි. පිටුපස අසුනේ උන්නා නම් කණ්නාඩියෙන් හොරෙන් හොරෙන් බලන්න තිබුණා. දැන් ලඟටම ඇවිදින් සිටියත් නාරදට ඇය දෙස බලන්න බියක් දැණුනි.

" යක්කල " යැයි සඳහන් කොළ පැහැති නාම පුවරුව පාස් වෙනවාත් සමඟම ඇයත් " යක්කල " යැයි මිමිනුවාය.

" තව කොච්චර වෙලා යනවද ගෙදර යන්න ? "

" ට්‍රැෆික් නොතිබුනොත් තව හරියටම පැයක් යනකොට මිස් ගෙදර. " 

ඇය සිතන්නේ තමා  ඇයගේ පියාගේ රියදුරෙකු කියාය. නාරදද එය හරිගස්සවන්න තරමේ විශේෂයක් නොකළේය. ඇය එයාපෝර්ට් එකේදී හමුවූ තැන සිට මේ වනතෙක් රූප රාමු ඔහු වෙත ගලා ආවේය. නිකමට මෙන් ඇය දෙස බැලෙද්දී ඇය තමා දෙස බලාගෙන ඇතැයි ඔහු කිසිවිටෙක නොසිතුවේය. ඔහුගේ දෑසත් ඇගේ දෑසත් නිමේෂයකට එකට එක්වුණි. එහෙත් අකමැත්තෙන් වුවත් නාරද තම දෑස ඇයගෙන් ඉවතට ඇදගත්තේය. ඉක්මනින් ඇයව නිවසට හැරලිය යුතුය. නාරද සිතුවේය. ඔහු රියේ වේගය වැඩි කරන්නට සිතත්ම . .


" ආයෙමත් ඉගිල්ලෙන්නද හදන්නේ ? "


මගේ හිත කියෙවුවාවත්ද ? නාරදට සිතුවේය.


" මට බඩගිනියි. අපි කාලා යමු. " ඇය කීවාය.


කන මගුලක් මේ කෙල්ලට ගෙදර ගිහින් කන්න බැරිද මන්දා. යකෝ මම උදේටවත් හරියට නොකා ඉන්නේ මේ. මම උදේ තේකක් බීලා ගෙදරින් එළියට බැස්ස ගමන්. මුන් දෙන්නා නම් කුටු කුටු ගගා මොනවද මොනවද කකා ගියේ. දැන් ආයේ බඩගිනීලු. නාරද මද දුරක් රිය ඉදිරියට පදවාගෙනවිත් අවන්හලක් ඉදිරියේ රිය නැවත්වූවේය.


" මම මෙතන කාර් පාක් එකේ ඉන්නම්. මිස් කාලා එන්න. "



" මේ මාව තනියම යවන්නද හදන්නේ. ඕක නවත්තලා එන්න. " ඇය එකවරක් මූණ දෙස බලා යලිත් ඉවත බලාගෙන කීවාය.

" හ්ම්ම් .. " නාරදට ඉබේටම සුසුමක් පිටවුනි.


වාහනය පාර්ක් එක වෙත පදවාගෙන යනගමන් පැති කණ්නාඩියෙන් පසුපස බලනවිට ඇය තමන්ට යන්න හැර දිව දික්කර ඔලොක්කුවට සිනාසෙන අයුරු නාරද හොඳින්ම දුටුවේය.



" මේ කෙල්ල මොන මගුලක් කරන්න යනවද මන්දා " කෙතරම් නිවුණු කෙනෙකු වුවත් තමාව හැමවිටකම ඔලොක්කුවට ගන්නා බවක් දැනෙන විට නාරදගේ හිතටද සියුම් තරහක්ද දැණුනි.

ඇය තමා එනතුරු මගට වී උන්නාය. නාරදත් සමඟම එකට පියනැගූ ඇය එක් අසුනක හිඳගත්තාය. කුමක් කළ යුතුදැයි දෙගිඩියාවෙන් දෙපස බැලූ නාරදට,


" ඉඳගන්න ඔතනින් කැරකෙන්නේ නැතුව. " යැයි පාරමී කීවාය.


මේ කෙල්ලට මාව ජෝකර් කෙනෙක් වගේද දන්නේ නෑ පේන්නේ.


" මම විහිළුවක් වගේද ? " ඔහුගේ මුවින් සැනෙන් පිටවුණි.


එසේ මුවෙන් පිටවේ යැයි නාරද කිසිවිටෙකවත් සිතන්නට නැත. එය තේරුනද ඒ වනවිට නාරදට පිටවූ වදන් යලි ඇදගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබුණි. පාරමීගේ ඇස් රත් පැහැයට හැරුණි. කඳුළු බිඳුවක් දඩස් ගා පහලට ඇදවැටෙනු නාරද දුටුවේය. සැනෙන් පුටුව පස්සට කළ ඇය වාහනය නවතා තිබූ දෙසට දිව ගියාය. ලඟට එමින් සිටි වේටර්ද අන්දුන් කුන්දුන් වී බලා උන්නේය.


" සර් . . " වේටර් නාරද දෙස බලා උන්නේය.


" නෑ මුකුත් එපා. තෑන්ක්ස් . . " නාරද එතනින් එළියට ආවේය. නාරදට පුදුම අසරණකමක් දැනුනේය.



" මිස් . . මිස් . . ." නාරද පාරමී පසුපසින් ගියේය.

" සොරි මිස්. මම හිතලා කිව්වේ නෑ. "


ඇය කිසිවක් නොකියා රියේ පසුපස අසුනේ හිඳ දොර වසාගත්තාය. නාරද රියේ ඉදිරියෙන් ගොස් රියදුරු අසුනේ හිඳගත්තේය.


" මට සමාවෙන්න පාරමී මිස්. මම එච්චර දුර හිතලා කිව්වේ නෑ. අනේ මිස්. "


"නෑ මටයි වැරදුනේ. අපි යමු. ඔයා දවල්ටත් කාලා නැති නිසයි කමු කිව්වේ. කමක් නෑ මට මිනිස්සුන්ව අඳුරගන්න ටිකක් වෙලා යනවා. තමන්ගේ තත්වේ තියාගන්න නොදැන මටයි වැරදුනේ. අපි යමු.



නාරද පෙරලා කිසිවක් නොකීවේය. රිය වේගයෙන් රාජගිරිය කරා ගෙනයාම ඔහුගේ එකම අභිලාශය විය. ඇය හිස පසුපස අසුනට බරකරගෙන උන්නාය. සිහින් කඳුළු රේකාවක් කම්මුල් හරහා ඇදෙනු නාරද කණ්නාඩියෙන් දුටුවේය. " සමාවෙන්න " ඔහු සෙමෙන් මිමිනුවේය. ඇතැම්විට ඇයට එය ඇසුනා වන්නට පුළුවන්ය.


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

තමා කිසිලෙසකවත් ඔහුව විහිලුවකට නොගත් බවට පාරමී තරයේ විශ්වාස කළාය. චාමිගේ ක්‍රියාවන් නිසා ඔහු දවල්ටවත් හරියාකාර අහරක් නොගත් බැව් මතක් වී කෑම ගැනීමට සිතුවා මිස තමන්ට බඩගින්නක් පිළිබඳ සේයාවක්වත් නොතිබූ බැව් සැබෑය. කෙමෙන් කෙමෙන් තමා ඔහුට නතුවන බවක් ඇයට දැනෙමින් පැවතුනි. ඒ අතරට ඔහුව තමා හට විහිලුවක් වී ඇතැයි ඔහු සිතීම පාරමී හට වේදනා ගෙනදෙන්නක් විය. ඒ කෙසේ වෙතත් තම මුවින් පිටවූ වදන් කිසිසේත් උචිත නොවන බව ඇයට සිතුනත් ඒවා යලි ඇදගන්නට ඇයට නොහැකිය. වැඩියෙන්ම ඇයට හැඬුම් ආවේ එනිසාය. එසේ පිටවූ වදන් සමඟම ඔහුව තමන්ගෙන් ඈත් කිරීමට ඇය තරයේ සිතුවාය. එසේ චිත්ත පෙරලියකට මුහුණදෙමින් හුන් ඇයට නොදැනීම නින්ද ආවාය.




. . . මතු සම්බන්ධයි . . .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Tuesday, December 20, 2016

පියාපත් ලැබී . . . 12


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . දොලොස්වෙනි කොටස . . .


බැලූ බැල්මට නම් අහින්සක පාටයි. ඒත් කවුද දන්නේ මොනවගේ කෙනෙක්ද කියලා. උපාසක බළල්ලු තමයි කියනවානේ මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ. ඕ තනිවම සිතුවාය. ජීවිතේටම තාත්තා හැර වෙන පිරිමියෙක් එක්ක මේතරම් දුර කොහේවත් ගොස් නැත. ලඟින් හිත ඇදෙන අමුතු සුවඳක් එනවා. එක අතකට මම මේ මොනවද හිතන විකාර. මටත් පිස්සු. එක අතකට අර චාමි කිව්වා වගේ මේ වගේ ඩ්‍රයිවින් ජොබ් එකක් කරන්නේ මෙයාට මේ රටේ ලෝකේ වෙන ජොබ් එකක් හොයාගන්න නැතුවද මන්දා. එක අතකට මට මොකටද ඕවා. ඈ යලිත් සිත වෙනතකට ගන්න වෙරදැරුවාය.

දැන් බොහෝ වෙලාවක් ගතවී ඇත. වීදුරුවෙන් එපිට පෙනෙන්නේ ඝණ අන්දකාරයයි. ඝණ අඳුර කපාගෙන රිය වේගයෙන් ඇදෙනු පාරමීර දැනුනි. මොකට යනවද මන්දා මේතරම් වේගයෙන්. නාරද සුක්කානම මත එක අතක් තබාගෙන වාහනය හසුරුවන අපූර්වත්වයත් ඉතාමත් හුරුපුරුදු අයුරින් ඔහු අතින් ගියර් මාරුවන අයුරුත් පාරමී හොරෙන් බලා සිටියාය.

" ඉගිල්ලෙන්නේ නැතිව පොඩ්ඩක් හිමින් යමුද. මේක රේස් එකක් නෙමෙයිනේ. . . " පාරමී තම හැඟීම් යටපත්කරගන්නා අටියෙන් ටිකක් සැරෙන් මෙන් කීවාය.

ඇයට වුවමනා වූයේ ගමන තව තවත් දිගුවන්නටය. " මහා මෝඩයෙක් " ඕ නාරද දෙස බලාගෙන තමාටම මුමුනාගත්තාය. රියේ ඒ සී යන්ත්‍රය නොනවත්වාම  වැඩකළද පාරමී රියේ වීදුරුව පහත්කිරීමට සිතා ස්වීචය එබුවත් එය වැඩ කරන බවක් නොපෙනුනි.

" මේ ශටර් එක ඇරෙන්නේ නැත්ද . . ? " ඇය ඔහුව වැඩිය ගනනකට නොගෙන  ඇසුවාය.

" ම් . . ම් . ඒකනම් දන්නේ නෑ මිස්. අනිත් පැත්තේ ශටර් එක වැඩකරනවා ඇති සමහරවිට. "

" නෑ නෑ ඕන නෑ. වාහනේ වීදුරු ඇරෙනවද නැත්ද කියලවත් දන්නේ නැද්ද ? "

" මම මේ වාහනේ ගරාජ් එකෙන් අරන් එන්න හදනකොටම තමයි මිස්ගේ තාත්තා කතා කරලා මිස්ව එක්කගෙන එන්න කියලා කිව්වේ. මේ වාහනේ අඩුපාඩු ගැන වැඩිය මම හරියට දන්නේ නෑ මිස්. "

" ඔතනින් නවත්තන්න. "

" ඇයි මිස් . . "

" පණ්ඩිත ප්‍රශ්න අහන්නේ නැතිව නවත්තනවද.? "

නාරද රියේ වේගය අඩුකර පාර අයිනට කර නැවැත්වූවේය.  " මේ කෙල්ල මොනවා කරන්න හදනවද මන්දා . " නාරද සිතුවේය.

රිය නැවැත්වූ සැනින් පාරමී රියෙන් බැස ඉදිරි අසුනට විත් හිඳ ගත්තාය.

" හරි යමු. "


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



මේ ළමයි කරන බහුබූත වැඩ. ඒ කෙල්ලව කැබ් එකක් කතාකරලා යවන්නේ නැතිව. පොඩි දුරක්ද. දැන් නමයත් පහුවෙලා. නාරදගේ ෆෝන් එකත් වැඩ නෑ. අනේමන්දා. ගිහින් බලන්න කියලෑ. දසනායක බැල්කනියේ ඇවිදිමින් සිතුවේය.

කිසිදාක තමා සමඟ හැර කිසිවෙකුත් සමඟ මෙතරම් දුරක් තියා කොළඹින් පිටටවත් යවා නැත. නාරද පිළිබඳ අවිස්වාසයක් නැත. එහෙත් අද රටේ ළෝකේ වෙන දේවල් දැක්කම ඒ තරමටම කිසිවෙකුව විස්වාස කළ නොහැකිය.


. . . මතු සම්බන්ධයි . . .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


Sunday, December 18, 2016

පියාපත් ලැබී . . . 11


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . එකොලොස්වෙනි කොටස . . .


කුරුනෑගලට යන අතරමඟ දී විශේෂ යමක් සිදුනොවුනත් විටෙන් විට පාරමීත් චාමිත් නාරදට හින්ට් පාස් කළාය. නමුත් නාරද ඒ කිසිවක් නෑසුනාක් මෙන් තම ගමනේ නිරතවූවේය.

දසනායක සර් කිව්වේ එයාපෝර්ට් එකට ගිහින් මිස්ව ගෙදර එක්කන් එන්න කියලනේ. කුරුනෑගල යන්න ඕන කතාවක් කිව්වේ නෑනේ. මමත් ඔහේ ආවා ඇඳුමක්වත් මාරු කරගන්නේ නැතිව. මදැයි, කොහොමහරි මෙයාලා දැන් හිතන් ඉන්නේ මම එයාලගේ ඩ්‍රයිවර් කියලා. කමක් නෑ ඕන විදියකට හිතාගත්තාවේ. හැබැයි දසනායකගේ දුව නම් නිකන් යක්ශනියක් වගේ වෙලාවකට. මට නම් බයෙත් බෑ. නිකන්හරි අනිත් මිස්ව බස්සලා එන අතරේ මොන හේතුවකට හරි මගේ බෙල්ල මිරිකුවොත්.

නාරද එකවරම කණ්නාඩියෙන් පසුපස බැළුවේය. දසනායක මහතාගේ දුවගේ යහළුවා තමන් දෙස බලාගෙන සිටින අයුරු නාරද හොඳින්ම දුටුවේය. නාරද පසුපස බලනවිටම එක වරම ඇය අහක බලාගත්තාය. ඒ මිස්නම් ටිකක් දඟකාරයි වගේ පෙනුනත් අහිංසක පාටයි. දෙන්නා කොහොම යාළුවෝ වගේ ඉන්නවද දන්නේ නෑ. නාරද ඉක්මන් ගමනින් කුරුනෑගල බලා ඉගිලුනේය.

යන අතරමඟ ගැහැණු ළමයින්ට ඔවුන්ගේ ළෝක වල ඉන්න ඉඩහැර නාරද කඩිනමින් ගමන නිමාකරලීම ගැන සිතුවේය. සති අන්තයේ දිනයක් බැවින් වාහන තදබදය තරමක් දුරට අඩු නිසා ගමන ඉක්මන්කිරීමට  හැකියාවක් ලැබීම සහනයකි. කෙසේ හෝ සිතුවාටත් වඩා අඩු කාලයකින්  ඔවුන් කුරුනෑගලට ලඟාවූවෝය. අතරමඟදී වරින් වර නාරද කණ්නාඩියෙන් පසුපස බැලුවත් තමන්දෙස කෙනෙකු බලා සිටින බව ඔහුට ඒ තරමටම දැනුනේ නැත.

" එහෙනම් කෙල්ලේ පරිස්සමෙන් හොඳද..? අපි ගිහින් එන්නම් " පාරමී චාමි දෙස බලාගෙන කීවාය.

" මම පරිස්සම් වෙන්නම්, උඹ පරිස්සමට ගෙදර යන්න ඕන. තේරුණාද ? ගිය ගමන් මට කෝල් එකක් දීපන් හොඳද. මොනවා උනත් මට උඹව ආපහු තනියම යවන්න මොකද්ද වගේ. " චාමි පාරමීගේ අත අල්ලාගෙන කීවාය.

" එහෙනම් උඹ වරෙන් ආපහු මාව බස්සන්න. " දෙදෙනාම මහ හඬින් හිනැහුනෝය.

දෙදෙනාගේ කයිය දෙස නාරද බලාඋන්නේ හිතේ තරහිනි.

" මෙයාලට වෙලාව ගැන ගානක්වත් නෑ. ආවා වගේම දුරක් ආයෙත් යන්න තියෙනවා. අනේ මන්දා. " නාරද සිතුවේය.

" මේ ඒක නෙමෙයි. මම බලාගෙන උඹ එනගමනුත් සැරෙන් සැරේ ඩ්‍රයිවරයා දිහා ඇහැ දානවා. හැන්ඩියා නේද බං. "

" මේ විකාර නැතුව ඉඳින් චාමි."

" විකාර නෙමෙයි බං. මට නම් අනන්තවත් හිතෙනවා මේ වගේ ජොබ් එකකට මොන එහෙකට ආවද කියලා. ඌට ඩ්‍රයිවර් ජොබ් එක ගැලපෙන්නේ නෑ. " චාමි වාහනයට හේත්තු වී සිටින නාරද දෙස බලාගෙන කීවාය.

" මට පේන්නේ උඹට හිත ගිහින් වගේ. "

" හිත කොහෙද එක තැනක. ඒක පා..වෙනවා. " දෙදෙනාගේ කැකිරි පැලිල්ලට නාරදද ඔවුන් දෙස බැලුවේය.

" අන්න අර මනුස්සයත් බලනවා. ඇහෙනවද දන්නෙත් නෑ. එහෙනම් මම ගිහින් එන්නම් චාමි." දෙදෙනාම සෙමෙන් යලිත් වාහනය අසලට ආවෝය.

වාහනයේ දොර හැර නගින කෙනා දුටු නාරද උඩවිසිවුණි. දසනායකගේ දුව යයි සිතා සිටි කෙනා වැරදී ඇති බව නාරදට වැටහුනේය. " ඒ කියන්නේ දෙන්නා මාව අන්දලා. " නාරද සිතුවේය.

" මොකද නිකන් තක්බීරි වෙලා වගේ බලන්නේ. මේ මිස්ව පරිස්සමින් එක්ක යන්න ඕන. තේරුණාද ? " චාමි නාරද දෙස බලාගෙන කීවාය.

" ඔ ඔවු මිස්. . " නාරද පාරමී දෙසත් චාමි දෙසත් මාරුවෙන් මාරුවට බලමින් පිලිතුරු දුන්නේය.

චාමිගෙන් සමුගත් පාරමී රියේ පසුපස අසුනට බරවූවාය. රිය නොපෙනී යනතුරුම චාමි පාරමී ගිය දෙස බලාගෙන උන්නාය. " මට හිතට මොකද්දෝ අමුත්තක් දැනෙනවා. . . බලමුකෝ . . " චාමි සිතමින් නිවස තුළට ගියාය.






         ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


නාරද රිය කොළඹ දෙසට දාවනය අරඹා තිබුණි. පාරමී කවුළු තුලින් අවට පහුවෙන මහා රූස්ස ගස් දෙස ඇස් යොමාන කල්පනාවක නිමග්නව උන්නාය. ඇතැම්විට තම සිත පාලනය කරගැනීමට නාරද මෙන්ම පාරමීද උත්සාහ ගන්නවා වන්නට පුළුවන. කෙසේ වෙතත් නාරද නම් යම්තාක් දුරට දෙලොවක් අතර සැරි සරමින් උන්නේය. ඔවුනොවුන් දෙස නොබැලීමට දෙදෙනාම තම සිත්හී පොරොන්දු පිට පොරොන්දු දී විලංඟු ලා ගත්තෝය.

" මේ ළමයි තාමත් නෑනේ. මොකද මන්දා මේ තරමට ප්‍රමාද. " දුරකතනය අතට ගත් දසනායක නාරදට ඇමතුමක් ගත්තේය.

" හෙලෝ . . "

" හෙලෝ සර් . . "

" නාරද දැං කොහෙද ? "

" සර් අපි දැං කුරුණෑගලින් පිටත්වෙලා පැය කාලක් වගේ වෙනවා. "

" බලන්න නාරද මේ ළමයි කරන හිතුවක්කාර වැඩ. ඒ ළමයව කැබ් එකක් කතාකරලා යවන්න තිබුණනේ. පොඩි දුරක්ද ඔය ළමයා ඔය ගිහින් තියෙන්නේ. "

නාරද සෙමෙන් කණ්නාඩියෙන් පසුපස බැලුවේය. පාරමී දොරට ඔළුව තබාගෙන වීදුරුවෙන් එළිය බලා සිටියාය.

" සර් මම පුළුවන් ඉක්මනට මිස්ව ගෙදරට එක්කන් එන්නම්. "

" නෑ නෑ නාරද. ඉක්මනට නෙමෙයි, පරිස්සමට එන්න. තේරුණාද ? "

" ඔවු සර්. හරි. "

නාරද දුරකතනය ක්‍රියා විරහිත කලේය. ඉක්මනින් ආපසු යායුතුය. නාරද සිතුවේය. පාරේ වාහනද දැන් තරමක් දුරට අඩුය. නාරද රියේ වේගය වැඩි කලේය.






. . . මතු සම්බන්ධයි . . .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴